සෑම වසරකම පාහේ එළඹෙන සැප්තැම්බර් මස 17 වැනිදාට විවිධමය වූ වටිනාකම් සහිත හැදෑරීම් මූලික වටිනාකමක් හිමි ය. එහිලා ඉතා වටිනා වූ පරිචයන් සතරක් පිළිබඳ ශ්‍රී ලාංකික අප සැමට හැදෑරීමට හැකි යැයි හැඟේ. ඊට හේතුව මෙරට ජනතාවගේ දැඩි අවධානයක් ලත් චරිතයන් සතරක් අද වැනි දිනෙක උපත ලබා සිටීම ය. නමුත් ඔවුන් සතර දෙනා සතර දිසාවක ස්වකීය ආස්ථානයෙහි සංස්කෘතිකම ය සහ දේශපාලනික වශයෙන් කළ කී දෑ මෙන්ම එහිලා ඔවුන්ගේ සාර්ථක අසාර්ථක බව, දෑ හිතකාමීත්වය ප්‍රමාණ කිරීමට උත්සහ ගැනීමත් කාලීන වටිනාකමක් ගනී. ඔවුන් සතර දෙනාගෙන් දෙදෙනෙක් දේශපාලන වංශයෙහි ප්‍රකට ය. අයෙක් මෙරට පළමු නාමික විධායක ජනාධිපතිවරයා වූ විලියම් ගොපල්ලවයන් ය. අනෙක් තැන වනාහි මෙරට පළමු විධායක ජනාධිපති ධූරය හෙබවූ ජේ. ආර්. ජයවර්ධනයන් ය. අද දිනම උත්පත්තිය සටහන් කළ තෙවැන්නා වනාහි මෙරටේ අනතීත කාලය වෙනුවෙන් අතීත කාලය තුළ කැපීපෙනෙන අමිල මෙහෙවරක යෙදුණු මෙරට ‘ජල විදුලියේ පියා’ යැයි විරුද ලත් ඩී. ජේ. විමලසුරේන්ද්‍රයන් ය.
නමුත් මෙම සටහන විෂයෙහි මා හුවාදක්වනුයේ මේ තිදෙනාටම වසර ගණනාවකට කලින් උපන්, වසර ගණනාවකටම කලින් ජීවන ගමන නිමා කළ සුචරිතයක් ය. අදින් වසර 158කට පෙරාතුව උපන් හෙතෙම නාමාත්‍රයකින් ලොව දිනූ යුග පුරුෂයෙකි. අදටත් මෙරට වුව සෑම දිස්ත්‍රික්කයකම ප්‍රතිරුවක් තැනෙමින් ගරු බුහුමන් ලබන ලාංකිකයෙක් සිටී නම් ඒ එතුමන් ය. මෙරට ස්වීය ජාතිකත්වය ලෝ තලයේ සුපූජිත කරමින් විදෙස් රටවල පවා අදටත් ප්‍රතිමා, සිත්තම් මැද සබහුමානිත මෙරට එකම ‘සංස්කෘතික මිනිසා’ ඔහු ය.
‘ජාතියේ පියා’ ලෙසින් මහාමාන්‍ය ඩී. එස්. සේනානායකයන් දේශීය ඉතිහාසය තුළ අවතංස වුවද ඊට මද කලකට පෙරාතුව උපන් ශ්‍රීමත් අනගාරික දම්පල්හු මෙරට මෑත ඉතිහාසයේ සිටි ‘ජාතිකත්වයේ පියා’ ලෙස හැඳින්වීම වරදක් නැත. දොන් ඩේවිඩ් හේවාවිතාරණ ලෙසින් ඉපිද අනගාරික ධර්මපාලතුමන් ලෙසින් සලෝක බහුමාන ලබා සිරි දේවමිත්ත ධම්මපාල ස්ථවිරයාණන් වහන්සේ ලෙසින් අපවත් වී වදාළ මේ සුචරිතය, මෑත ඉතිහාසයේ ජීවමාන සාක්ෂි සටහන් ශේෂ කොට නික්ම ගිය එකම බෝසත් චරිතයදැයි හැඟෙන තරම් ය. අප මහා තිලෝගුරු ගෞතම බුදු රදුන් හට ද හැරවුම් පරිචමය උත්පත්ති තුනක් තිබු බව අපි දනිමු. ගිහි ගෙයෙහි කාම සුඛල්ලිකව වෙසුණු සමයේ සිදුහත් කුමර උත්පත්තිය, විමුක්ති මාර්ගස්ථ වූ සමයේ සිදුහත් තවුස් තෙම සේම සියලු කෙලෙසුන් නසා ශ්‍රී සම්බුද්ධත්වයේ සිට මහා පරිනිර්වාණය දක්වාම ආයු වැළඳූ ගෞතම බුදුරජාණන් වහන්සේ ලෙසින පූජනීය තෙවත් සිරිතකි. අප මෑත ඉතිහාසයේ දක්නා දම්පල්හු ද එවැනිම සුචරිතයකි. නමුත් මේ ආරම්භයක් අවසානයක් නො මිනිත සසර ගමනේ දම්පල්තුමන් ද තව යා යුතු දුරක් ඇත. එහෙත් ඉඳුරාම පැවසිය හැක්කේ අපට පෙර හෙතෙම ඒ ගමන නිමවන බව ය.
ධර්මපාලතුමන්ගේ ජීවනය පිළිබඳ ශ්‍රී ලාංකික අප මෙන්ම ලෝක ප්‍රජාව ද නොදන්නා යමක් නැති තරම් ය. එතුමන්ගේ මව්පියන්ගේ සිට, කුල දරු ජීවනය, බ්‍රහ්මචර්යාව සහ ප්‍රවෘජාව යන සියල්ලම පිළිබඳ අපි කුඩාම අවදියේ සිට කියවා, හදාරා උගත ඇත්තෙමු. එහෙයින් මෙහිලා මා උඩෘත කරනුයේ ‘දම්පල් දර්ශනය, චින්තයන සහ නූතන වර්තමානිකයා’ යන ප්‍රස්තුතයයි.
දම්පල්තුමන්ගේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමවේදය තත්කාලීන සිංහලයා හෝ, තත්කාලීන ලාංකිකයා අනුමත නොකළක් යැයි ප්‍රකට ය. ඊට පැහැදිලි හේතුව ඒ වන විටත් අධිරාජ්‍යවාදී සෙවණැලි මත්තෙ පරපෝෂිතව වෙසුණු නිද්‍රාශීලී ලාංකිකයන් මතින් විතින් උනමන්තක නින්දක එකල පසුවීම ය. එහෙත් දම්පල්තුමන් තමා වටා එක්රැස් කරගන්නා දෙස් විදෙස් සත් පුරුෂ ජන සන්ධානය සමගින් ස්වකීය නොනිමි සටන් ක්‍රියාමාර්ගය ගෙන ගියේ නින්දක පසුවූ දැයක් ආධ්‍යාත්මිකව ශක්තිමත් කරමින්, දුසිරිතෙන් සිරිතක තැන්පත් කරවීමටත්, ජාත්‍යන්තර සබඳතාවේ මුදුන්පත්ව භෞතික මෙන්ම ආධ්‍යාත්මික නිදහසක් ද මෙරටට හිමිකරදීමේ පරම නිමල සුදාරක සිතුවිල්ලෙනි. ජීවිතයේ වින්දිත යෞවනය අවසන් වන්නටත් ප්‍රථම එතුමන් උතුරු සළුවට සමුදෙමින් කසාවතට සමීප වීම අරඹනුයේ අනගාරික ජීවිතයක වටිනාකම ඔස්සේ සියලු බැඳිම් ප්‍රහීන කරන්නෙකුට සටන් මගට පිවිසීම පහසු නිසා බැව් මම සිතමි. එතුමන්ගේ සටන ඉංග්‍රීසින් හෝ මිෂනාරීන් සමග නොව, සත්‍ය දැක දැකත් නින්දක පසු වූ නිද්‍රාශීලීන් මෙන්ම බෞද්ධ උරුමය කෙලසමින් සිටි භාරතීය පාපතරයන් වෙනුවෙනි. එනිසා ස්වාධීනව සහ ආත්ම විභූතියකින් නැගී සිටීමට එතුමාගේ අනගාරික බ්‍රහ්මචර්යාව මහත් ශක්තියක් වන්නට ඇත.
එතුමන් තරම් සංස්කෘතිකම ය මිනිසෙක් මම මෙරට අතීත – අනතීත ඉතිහාසයේ නොදකිමි. කුඩාම අවදියේ පටන් හික්කඩුවේ සුමංගල හිමි වැනි මහා යතිවරුන් සේවනයේ උගත් පාලි – සංස්කෘති ප්‍රාචීන භාෂා දැනුම සහ වඩවා ගත් දේශමාමකත්වයත්, මිගෙට්ටුවත්තේ ගුණානන්ද වාදිභසිංහයාණන්ගේ පංචවාද හමුවේ උගත් දේශ අනාගත දිශානතිය පිළිබඳ මනා අවබෝධයත් පාලිතව උකහා ගනිමින් උතුරු සළුවෙන් කසාවතට සමීපස්ථ මාර්ගයක් තුළ දෙස් විදෙස් ඕනෑම ධරණියක සෘජුව සිටගෙන සිය හඬ සිංහල – ඉංග්‍රීසි දෙමාධ්‍යයෙන්ම චතුරව පැවසීමෙහිලා එතුමන් ප්‍රකට කළ ජාතික පෞරුෂත්වය අද්‍යතන ලාංකිකයන්ටත් වඩා යුරෝපීය සහ නැගෙනහිර ආසියාතික රටවල විද්‍යාර්ථීන් හට භූමිකා ප්‍රවර්ධන මූලාශ්‍රයක් වී ඇත. බෞද්ධ ඉගැන්වීම් අතර ප්‍රමුඛ අත්තූපනායක ධර්ම පර්යායේ වාචාර්ථ්‍යයෙන්ම තැන්පත් වෙමින්, නිර්ලෝභීත්වය තමා සන්තක වූ සියල්ල මෙරට ශාස්ත්‍රීය නවෝදයට සහ ශිෂ්ට සභ්‍යත්ව පුනරුදය වෙනුවෙන් දන් දුන් එතුමෝ, කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා සහ බ්ලැවැට්ස්කි මැතිණිය ප්‍රමුඛ විදෙස් සුහිතුන් මෙන්ම වලිසිංහ හරිශ්චන්ද්‍රයන්, බාරෝන් ජයතිලකයන් වැනි දේශීය සුධීමතුන්ට ද පුරෝගාමී මගක් තනමින් අඩි තැබු කේසර ලීලාව සර්වකාලීනව ප්‍රෞඩ ය.
දම්පල්තුමන් එකල සිටි නිර්වින්දන ජාතීන් යළි පිබිදවීය. රටක් දැයක් සුපෝෂණය කළ ගවයාගේ පවා දිරන මලකුණක් බුදීමට තරම් ‘සිංහලයා ගොන් තඩියෙකු නොවිය යුතු’ යැයි එඩි පෑ ඔහු ‘රහමෙර බොන්නා වසලයෙක්’, ‘ගව මස් කන්නා වසලයෙක්’ යනුවෙන් කියාපෑමට, එය සිය ගමන් මගට තේමාගත කරගැනීමට තරම් ආත්මීය ධෛර්යයකින් හෙබි විය. අවිහිංසාව, දේශීයත්වය, ශාසන ලැදියාව, හර භාෂාත්මක සුපෝෂණය මෙන්ම ජාත්‍යන්තර සුහදතාව එතුමන්ගේ ගමන්මගෙහි පියවර මූලයන් විය.
‘ජාත්‍යන්තර’ යන වචනයෙහි මුඛ්‍ය අර්ථන වනාහී ජාතීන් අතර යන්න ය. නොඑසේනම් අද මෙන් රටකින් තව රටක් පිළිබඳ සානුකම්පිත වීම, වහල් භාවය නොදැනෙන සේ පරිත්‍යාගරූපී ඈඳාගැනීම් සිදුකිරීම හෝ ලෝක නායකයන් එකට එක්වී කමින් බොමින් විනෝද වීම ජාත්‍යන්තරය ලෙස හඳුන්වනු වෙනුවට දම්පල්තුමන් වැනි සුචරිත ක්‍රියාත්මක කළ ‘ජාත්‍යන්තරීය චින්තනය’ සොයා කියැවීම වර්තමානිකයාට ලාංකික භූමියේ ගෙවමින් සිටින අභිවෘද්ධිය විතැන් වීමෙන් පෙරට පැමිණීමට ද මහත් රුකුලක් විය හැකිය.
ආචාර්ය නන්දා මාලනියන් ගයන මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ගැයූ දම්පල් සමරු ගීතයේ එක් අලංකාරික යෙදුමක් ඇත. එනම්, ‘බුද්ධ භූමියට බුදු හිමි ගෙන ගිය පිංවතාණෝ ය’ යනුවෙනි. බුදුන් උපන් දේශය භාරතය බව නොරහසකි. නමුත් භාරතීය පවිටු සහචරයන් ද බුද්ධ භූමින් අඳුරු කරමින්, ඉතිහාසය අනුභව කොට වර්තමානයෙන් අනාගතයක් කෙලෙසීමට දැරූ ප්‍රයත්නය අසමත් කරමින් බුදුන් උපන් බිමෙහි යළි බුද්ධ දර්ශනය ස්ථාපනය කිරීමෙහිලා ද ප්‍රමුඛත්වයක් ගෙන ශ්‍රමයෙන්, ධනයෙන් මෙන්ම ප්‍රායෝගික චින්තනයෙන් ද විකුම් පෑ කේසර සිහ රූපය වූයේ දම්පල් තුමන් ය. අදටත් දම්පල්තුමන් ලාංකිකයන්ට මතක් වන්නේ වසරකට වරක් වුවද භාරතීයන් ඔහු හැකි සැම විටම අභිනන්දනීය පුදන්නේ ඒ කෘතවේදීත්වය උදෙසා ය.
දම්පල්තුමන් හඬ දුන්නේ මෙරට පිබිදෙමින් තිබූ සංකර සිරිතට ය. දෙවන පෑතිස් රජුගෙන් පසු මෙරට ඉතිහාසයේ සිට අද දක්වාම අසල්වැසි භාරතය සමග සාර්ථකම සංවර්ධිත සබැඳි බවක් ගොඩනැගූ ලාංකිකයෙක් වෙත් ද එම ගෞරවය ද දම්පල්හු දිනති. රට රටවල මහ බුදු බණ දෙසමින් ගමන් කළ අනගාරික ධර්මපාලතුමන්, ලෝකයක් පුබුදු කළේ බුදු මගෙහි පිහිටුවමින් සත්‍ය, විමුක්තිය සොයා යන්නට කියාදෙමින් මිස බලහත්කාරයෙන් ඔවුන් තිසරණ සහිත වූ පංච ශීලයෙහි පිහිටුවා නොවැ. මෙරට වුවද තත්කාලීන භික්ෂු සමාජයේ පවා ලෝකයට පෙනෙන්නට වූ අශෝභන හිඩැස් වැසීමට එතුමන් පියවර ගත්තේය. භික්ෂූන් විෂයෙහි මුදල් අකැප බව එතුමන් මතු කළත්, වරෙක සංගීතය වැනි කලාවක් භික්ෂූන් හට කැපදැයි පැන නැගුණ සඳක ධර්මපාලතුමන් රාගයෙන් විරාගෙන් තොර රාග උපදපවන ශිල්පීන් සංගීත ශාන්තියෙන් අයෙක්ට ශ්‍රවණ සත්කාරයක් ලබාදීම භික්ෂුවකට අකැප නැතැයි පවසමින් පවා තම ප්‍රායෝගික බව ස්ඵුට කළේය. එනිසා ඔහු එදවස, හිරු බසින මෙරටට හිරු නොබසින රටක සෙවණැල්ලෙන් මිදීමේ සටන් මගට පෙරමුණ ගත් යාවත්කාලීනම ප්‍රායෝගික මිනිසා ද විය.
රසට ලොල්ව මතින් විතින් මත් වෙන, ගව මසින් රස නහර සනන වයෝවෘද්ධ අ’මන රූපකයන් ඉන් මිදීම පසෙකලා අනාගත පරපුර සුපෝෂණය කරමින් ගුණයෙන් නැණයෙන් සුසැඳි සුරු විරු හුරුකම් දරන ඉංග්‍රීසි හැකි, නමුත් අධිරාජ්‍යවාදය විරුද්ධව නැගී සිටින අනාගයක් බිහිකිරීම උදෙසා එතුමන් මෙරට පළමු දේශ හිතෛෂී අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ද කළේය. කොළඹ ආනන්ද, නාලන්න, ආනන්ද බාලිකා වැනි විදුහල් මෙන්ම ගාල්ල මහින්ද, මාතර රාහුල, නුවර ධර්මරාජ, කුරුණෑගල මලියදේව වැනි පසුකාලීනව පෙරට එන බෞද්ධ පාසැල් පවා නිර්මාණය කිරීමෙන් එතුමන් ප්‍රකට කළ අනාගතවාදී මෙහෙවර එතුමන්ගේ හැරයෑමෙන් පසු පවා යක්කඩුවේ ප්‍රඥාරාම හිමියන්, බාරොන් ජයතිලකයන් වැනි දේශිය ගිහි පැවිදි සුහිත්හු ද අනුගමනය කළහ.
එනිසාවෙන් වෙන කවරදාටත් වඩා පුනරුදයක අවශ්‍යතාව මතුවී ඇති අද දවසක තාරුණ්‍යය ප්‍රමුඛ ලාංකීක වර්තමානිකයන් ‘අනගාරික ධර්මපාල චින්තය සහ දර්ශනය’ අනුව යමින් එහිලා හදාරමින්, කළ හැකි උපරිමය දේශීය සුබසිද්ධිය වෙනුවෙන් කැප කිරීම කාලීන ය. ධර්මපාල තුමන් රට හැර යනවිටත්, මෙරට ඉංග්‍රීසි ආධිපත්‍යයෙන් භෞතිකව නිදහස් වීමේ සටන දිනන යුරු පෙන්වාලමින් සිටිමුත් ඔහු වැනි දේශ හිතෛෂී නියම නායකයන් අහිමි කරගත් දැයක් අදටත් අධිරාජ්‍යවාදී ආධ්‍යාත්මයක වහල් සිරකරුවන් වී සිටින බව පැවසීම සාවද්‍ය නැතැයි හැඟේ.
සිරි දේවමිත්ත දම්මපාල හිමිපාණන් නමින් උන්වහන්සේ භාරත සෙවණක බෝසත් පරිචයල් නිමා කරන සඳක පවා යළිත් මෙරට නූපදිත්වා යනුවෙන් පවා පැතුවේ ද උගතාට, මතදරන්නාට සහ සමාජීය ශෝධකයන්ට අද මෙන්ම එදත් මෙරට නිසි තැනක් නොතිබි නිසාවෙන් විය හැකිය. එනිසා දම්පල් සුචරිතය පරිශීලනය කරන අයෙකුට ‘උගතුන් රට හැර යෑම’ යන වත්මන් අර්බුදයට ද සාධනීය පිළිතුරක් ඇතැයි සිතේ.
අකාශ් තාරුක පෙරේරා