මෝහය පිළිබඳව විමසමු…
අකුසල්වලට මූලය වන්නේ ලෝභය, ද්වේෂය හා මෝහය වේ. කුසලය වන්නේ දසකුසල් බවත් ඒ කුසලයට මූලය වන්නේ අලෝභය අද්වේෂය හා අමෝහය බවත් දනිමු.ධර්මයෙහි අවෙච්චප්පසාදයට මේ අවබෝධයෙහි ඇති ප්‍රායෝගිකත්වය පැහැදිලි කරන සැරියුත් හිමියෝ මෙසේ සඳහන් කරති.
“ඇවැත්නි, යම් කලෙක පටන් ආර්යශ්රාවකයා මෙසේ අකුසලය දනී ද, මෙසේ අකුසලමූලය දනී ද, මෙසේ කුසලය දනී ද, මෙසේ කුසලමූලය දනී ද හෙතෙම හැම අයුරින් රාගානුසය නැති කොට පටිඝානුසය දුරුකොට “මම වෙමි” යන මානානුසය නසා අවිද්‍යාව හැර විද්‍යාව උපදවා මේ අත්බැව්හිදීම දුක් කෙළවර කරන්නෙක් වෙයි. ඇවැත්නි, මෙපමණකින් ද ආර්යශ්‍රාවක තෙමේ සම්‍යග්දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. ධර්මයෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ සද්ධර්මයට පැමිණියේ වෙයි.”
එසේ නම් සද්ධර්මයට අයත් වන පමණට හෝ කුසලමූල හා අකුසලමූල හඳුනාගත යුතුය. මෙහි විශේෂ අවධානය යොමු කරන්නේ අමෝහය හා මෝහය පිළිබඳවයි. ලෝභය හා ද්වේෂයට මුල් වන්නේද “මෝහය” බැවින් ඒ දෙකත් සමගම සාකච්ඡා කරමු.
ලෝභයත් – ද්වේෂයත් තම සිතෙහි මතු වනවිට දැනගැනීමට පහසුය. එහෙත් මෝහය තමා තුළින් පහසුවෙන් පැහැදිලිව පෙනෙන්නේ නැත. සුඛවින්දනයක් අත්දකින විට ලෝභය මතුවෙයි. දුක්ඛවින්දනයක් අත්දකින විට ද්වේෂය මතු වෙයි. මෙය පැහැදිලිව දැනේ. සැපද නොවන දුක්ද නොවන විඳීමක් (අදුක්ඛමසුඛවෙදනා) දැනෙන විට මතු වන්නේ මෝහයයි. අදුක්ඛමසුඛ වින්දනයත් මෝහයත් දෙකම පහසුවෙන් වැටහෙන්නේ නැත. මේ ලිපිය එය වටහා ගැනීමට කරන උත්සාහයකි.
මේ කරුණ පහදාගත යුත්තේ ඇයි?
ලෝභයත්, ද්වේෂයත්, මෝහයත්, අලෝභයත්, අද්වේෂයත්, අමෝහයත් කර්ම බිහිවීමට හේතු කාරක වේ. ලෝභ, ද්වේෂ, මෝහ සහිත කර්මවලින් දෙවිවරු නොපැණෙති. මනුෂ්‍යයෝ නොපැණෙති. යම් බඳු අනෙක් සුගතීහු නොපැණෙති. එහෙත් ඒ අකුසල කර්මවලින් නිරය පැණෙයි. තිරිසන් යෝනිය පැණෙයි. ප්‍රේතවිෂය පැණෙයි. අනෙක් කිසියම් දුගතීහු පැණෙති. තතු එසේ නම් මේ කරුණ පුද්ගලයා විසින් සැලකිල්ලට ගනු ලැබිය යුතුමය.
සියලු සසර පැවතුම් සැකසෙන්නේ ඉන්ද්රියානුසාරීව ලබන වින්දන අත්දැකීම් ක්‍රම හැටියටමය. සුව, දුක්, නොදුක්, නොසුව වින්දනයන්හි බැඳෙමින් ලෝභ, ද්වේෂ, මෝහ වශයෙන් පැනනඟින සිතිවිලිවලට ඔහේ ක්‍රියාත්මක වීමට ඉඩදී සිටීම දහම් මග නොවඩන සාමාන්‍ය පුද්ගලයාගේ ස්වභාවයයි. එවන් දිවිය දුගතියට විවෘත වූවකි. “දහම නොදත් පුහුදුන් පුද්ගලයා ද දහම දත් ආර්ය ශ්රාවකයා ද සුඛවේදනා ද විඳිති. දුක්ඛවේදනා ද විඳිති.
අදුක්ඛමසුඛවේදනා ද විඳිති. එහෙත් ආර්ය ශ්රාවකයා පුහුදුනාගෙන් වෙනස් වේ. සමාන නොවේ. ඒ වෙනස කුමක්ද? පුහුදුන් පුද්ගලයා දුක් වේදනාවක් ස්පර්ශ කරන විට ශෝක කරයි. ක්ලාන්ත වෙයි. වැලපෙයි. පපුවේ අත් ගසා හඬයි. මුළාවට පැමිණෙයි. කායික වශයෙන් ද චෛතසික වශයෙන් ද දුක් වේදනා දෙකක් විඳියි. දුක් වේදනාවෙන් වූ ක්‍රෝධ ඇති ඔහුට පටිඝානුසය උපදියි. දුක් වේදනා ඇති ඔහු අභිනන්දනය කරන්නේ කම් සැපතයි. ඒ කුමක් නිසාද? පුහුදුන් පුද්ගලයා කම්සුවයෙන් තොර දුක්වේදනා දුරුකිරීමක් නොදන්නා බැවිනි. (න භික්ඛවෙ පජානාති අස්සුතවා පුථුජ්ජනො අඤ්ඤත්ර කාමසුඛා දුක්ඛාය වෙදනාය නිස්සරණං) කාමසුඛය අභිනන්දනය කරන ඔහුට සුඛවේදනාවෙන් වන රාගානුසය උපදියි. වින්දනයේ සමුදයත්, අස්තයත්, ආශ්වාදයත්, ආදීනවයත්, නිස්සරණයත් තතු සේ නොදන්නා බැවින් අවිජ්ජානුසය උපදියි. එහෙයින් සුඛවේදනාවක් විඳින්නේ කෙලෙස් හා සංයුක්තවම විඳියි. දුක්ඛ වේදනාව ද කෙලෙසුන් හා සංයුක්තවම විඳියි. අදුක්ඛමසුඛ වේදනාව ද කෙලෙසුන් හා සංයුක්තවම විඳියි. ඒ නිසා ජාති, ජරා, මරණ, ශෝක පරිදේව දුක් දොම්නස් උපායාස යන සියලු දුකින් යුක්ත වූයේ වෙයි.” දුගතිභයට විවෘත වූ ජීවිතයක් වන්නේ ඒ නිසා ය. නාමමාත්ර බෞද්ධ කමෙන් පමණක් මේ අවදානමෙන් මිදීමක් නැත. මේ පිළිබඳව වැටහීමක් පුද්ගලයාට තිබිය යුත්තේ ඒ නිසාමය.
දුගතිභය විමුක්ත වන්නට නම්….
ගිහි වේවා පැවිදි වේවා බෞද්ධකම ප්‍රතිඥා කරන්නේ නම් මේ කරුණු සැලකිල්ලට ගතයුතු මය. “මම බෞද්ධයෙක්මි” යි සැබෑ ලෙස ප්‍රතිඥා කරන්නට නම් ආත්ම ප්රත්යවේක්ෂණයෙන් යොනිසෝමනසිකාරයෙන් කටයුතු කිරීමක් අවශ්‍යමය. ලෝභය, ද්වේෂය හා මෝහය යටපත් කරගෙන පින් දහම් කරන ලෙස නිතර පින්කම් කටයුතු වලදී සිහිපත් කළත් “කොපමණකින් පුද්ගලයා ආමෝහයෙන් යුක්ත වේද” යන්න එතරම් පැහැදිලි කෙරෙන බවක් පෙනෙන්නට නැත. ඒ පිළිබඳව කියැවෙන්නේ “කර්මය හා කර්මඵලය අදහන නුවණින් යුක්ත වන්න” වැනි සරල හැඳින්වීමක් වශයෙන් පමණි. ඒ හැඳින්වීම කම්මස්සකතාසම්මාදිට්ඨියට අයත්වන සීමාව බැවින් දහමට එකඟ වන නමුත් ඒ සීමාව තුළ ඇත්තේ ආස්‍රව සහිත (සාසවා) පින් පැත්තට නැඹුරු වූ (පුඤ්ඤභාගියා) සසර සැප විපාකවලට හේතු වන (උපධිවෙපක්කා) ස්වභාවය පමණි. දුගතිභයින් හාත්පසින් විමුක්ත වූ සම්බෝධිපරායණ මනසක් සඳහා එය ප්‍රමාණවත් නොවේ. ඉන් අදහස් වන්නේ මාර්ග සම්මාදිට්ඨිය උදෙසා එය පදනම් වන නමුත් ප්‍රමාණවත් නොවන බවය.
ආස්‍රව සහිත, පින් පැත්තට නැඹුරු වූ, සසර සැපවිපාක පැත්තට හේතු වන සම්මාදිට්ඨිය තිබුණාට ම පුද්ගලයෙක් කාම ව්‍යාපාද විහිංසා සංකල්පනාවන්ගෙන් මිදීමක් ඇතැයි දන්නේ නැත. පංචකාමයෙන් ම දුක් මගහරවා ගත හැකි යැයි ඔහු සිතන බැවිනි. නෙක්ඛම්ම අව්‍යාපාද අවිහිංසා සංකල්පනා පවතිතොත් පවතින්නේ ලජ්ජාව හා භය යන ලෝකපාලක ධර්මයන්ට සීමා වූ ප්‍රමාණයට පමණි. වරදට ඇති හුදු ලජ්ජාව හා භය පිරිහී යාමට ඉඩ වැඩිය. ඒ නිසා නෙක්ඛම්ම අව්‍යාපාද අවිහිංසා සංකල්පනාවන් ලෝකෝත්තර මාර්ගාංගයක් වශයෙන් පිබිදෙන්නට තරම් සම්මාදිට්ඨියක් අවශ්‍ය ය. එය පිබිදෙන්නේ ‘කයම මම වෙමි” යන පටු සීමාව ඉක්මවා රූපකායයත් නාමකායයත් දෙකක් බව හඳුනා ගැනීමෙනි. ආනාපානසතිය වැනි භාවනාවක් තුළින් සමාධිමත් බව හඳුනාගන්නා විට රූපීමය වූ මේ කය සතරමහා භූතරූපයන්ගෙන් සැදුම් ලද මව්පිය සබඳතාවෙන් හටගත්, ආහාරයෙන් පෝෂණය වන, අනිත්‍ය වූ, ඉලීම් පිරිමැදීම් වශයෙන් පවත්වාගතයුතු, බිඳී විසිරී යන ධර්මයක් බව පැහැදිලි කරගත හැකියි. ස්පර්ශ විඳීම් හැඳිනීම් චේතනා සහිත විඤ්ඤාණ ශක්තිය මේ සිරුරෙහි බැස සිටින බවත්, එහි ප්‍රතිබද්ධව ඇති බවත් දැනගත හැකියි. රූපකායය මෙන්ම නාමකායය ද “මම” නොවේ. “මම” යනු නාමරූප ක්‍රියාකාරීත්වය තුළ නිශ්චිත අන්තර්ගතයක් නොව අරමුණු සංජානනයේදී ඇතැයි මවාගන්නා සංකල්පීය මාත්‍රයක් පමණි.
එවන් අවබෝධයක් ඇති තැන සමාහිතයෙන් ලබන ප්‍රීති සුවය නිසා පංචකාමයෙන් තොර අකුසලයෙන් තොර සැපතක් ඇති බව අත්දකියි. චේතනාමය වශයෙන් පංචකාමය පිළිබඳ ස්ථීරවම සංයමයක් බලාපොරොත්තු විය හැක්කේ මේ අවබෝධය ඇති තැනයි. කාමයෙහි සංයමය ඇති පමණට ව්‍යාපාද විහිංසා සංකල්ප ද අඩුවෙයි. තුන්දොර සංවරයට එය පදනම් වෙයි. දුගතිභය විමුක්ත මනසක් සැකසෙන්නට පදනම වැටෙන්නේ මේ ආකාරයටයි.
පුද්ගලයා කැමති වන්නේ ඉන්ද්‍රියානුසාරී අත්දැකීම් ලබමින් අරමුණු සමීපයෙහි හැසිරීමටයි. සොම්නසට හේතු වන රූපයක් දැක ඒ සමීපයෙහි හැසිරෙයි. දොම්නසට හේතු වන රූපයක් දැක ඒ සමීපයෙහි හැසිරෙයි. උපේක්ෂාවට හේතු වන රූපයක් දැක ඒ සමීපයෙහි හැසිරෙයි. මේ ආකාරයෙන් ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම යන සවැදෑරුම් අරමුණු සම්බන්ධයෙන්ම සොම්නස්, දොම්නස්, උපේක්ෂා වශයෙන් සමීපයෙහි හැසිරෙයි. (උපවිචරති) ප්‍රිය අරමුණෙහි සුබවේදනා සහිත බැවින් සොම්නස් වෙයි. අප්‍රිය අරමුණෙහි දුක්ඛවේදනා සහිත බැවින් දොම්නස් වෙයි. මේ දෙතැන්හිදී ද ලෝභය හා ද්වේෂය පිළිවෙළින් ප්‍රකට වන අතර මෝහය ද පවතියි. ප්‍රිය අප්‍රිය විශේෂයක් නැති අරමුණෙහි අදුක්ඛමසුඛවේදනා සහිත බැවින් ඇලීම් ගැටීම් නැතත් මෝහය ප්රකටව පවතියි.
තෙරුවන් සරණයි.🙏
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood