Temples of Sri Lanka

මුදිතා භාවනාවේ ප්‍රතිඵල බොහෝයි

මෛත්‍රිය කරුණාව මුදිතාව උපේක්ෂාව සතර බ්‍රහ්ම විහරණ කියා හඳුන්වන්නේ ඒවා බ්‍රහ්මයන් තුළ පවතින සුවිශේෂී ගුණධර්මයන් නිසයි

මනුෂ්‍යයන් වශයෙන් අප නිතර නිතර බහුල වශයෙන් මේ කරුණු අපේ ජීවිතවල දියුණු කරගත්තොත් මරණින් මතු බ්‍රහ්ම ලෝකයක උපත ලබන්නට අපටත් පුළුවන්

බඹලොව දී තවදුරටත් ධර්ම මාර්ගය දියුණු කරගෙන ධර්මාවබෝධය කරන්න අපට පුළුවන්කම ලැබෙනවා

අන් අයගේ ආර්ථික අධ්‍යාත්මික දියුණුව දැක එය අනුමෝදන් වෙමින් එයට හදවතින්ම ආශිර්වාද කරමින් ඒ කෙරෙහි ඇතිකරගන්නා සතුට මුදිතාව කියා හඳුන්වනවා මුදිතාව නැතිනම් එතන හට ගන්නේ ඊර්ෂ්‍යාව නම් බලවත් දුර්විපාක ගෙන දෙන අකුසල් ස්වභාවයයි නමුත් මුදිතාව ඇති කෙනා තවත් කෙනෙක් ධාර්මිකව ධනය රැස් කරගෙන ඉඩකඩම් ගෙවල් දොරවල් හදාගෙන දියුණු වෙලා ඉන්නකොට ඒ ගැන සතුටු වෙනවා ඒ වගේම අන් අය හොඳින් ඉගෙන ගන්නවා නම් හොද රැකියාවක් කරනවානම් හොඳ සමාජ පිළිගැනීමකට ලක් වෙනවා නම් ලස්සනට ක්‍රමානුකූලව ජීවත් වෙනවා නම් ඒ සෑම කරුණක දී ම සිතේ සතුටක් ඇති කරගන්න අපි දක්ෂ වෙන්න ඕනේ

එවිට අපේ ජීවිතවලට උතුම් පින් රැස්වෙනව එම පින එහි සම්පත් අපටද ලැබීම පිණිසත් කර්මානුරූපව උපකාරී වන අයුරින් පිනක් බවටත් පත්වෙනවා

කුසල් අකුසල් ගැන අවබෝධයක් නැති සමහරු තවත් කෙනෙකුගේ ලස්සන රූපයට ඊර්ෂ්‍යා කරනවා එවැනි අකුසල් සිතිවිලි බැහැර කරලා මුදිතාව ඇති කරගන්නට අපි මහන්සි වෙන්න ඕනෑ ඒඅය තුළ ගුණධර්ම දියුණු වන විටත් අපි ඒ කෙරෙහි සතුටු වෙන්න ඕන ඒ කියන්නේ තව කෙනෙක් හොඳින් දන්පැන් පූජා කරද්දී හොඳ දහම් දැනුමක් ඇති කර ගනිද්දී අපි හදවතින්ම ඇයට හෝ ඔහුට ආශිර්වාද කරන්න ඕන

තව කෙනෙක් මිහිරි හඬින් තෙරුවන් ගුණ කවි කියනවා නම් ලස්සනට ධර්මය දේශනා කරනවා නම් ඒ ගැන සතුටු වෙන්නට ඕනෑ ඒ හැම විටම අප තුළ මුදිතාව දියුණු වෙනවා

භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ අරතිය හෙවත් කුසල් දහම්වල සිත නො ඇලෙන ගතිය දුරු කරගන්න මුදිතාව වඩන්න කියලයි

එය දියුණු කරගත්තොත් කුසල් දහම්වල නිසි පල ලබාගෙන නිරාමිස සතුටින් කාලය ගත කරන්නට පුළුවන් මුදිතාව භාවනාවක් වශයෙන් දියුණු කිරීමෙන් ඇතිකර ගන්නා චිත්ත සමාධිය මුදිතා චේතෝ විමුක්තිය කියා හඳුන්වනවා

මුදිතා චේතෝ විමුක්තියත් මහග්ගත අප්පමාණ යන ක්‍රම දෙකෙන්ම දියුණු කළ හැකියි. මහග්ගත චේතෝ විමුක්තිය ටිකෙන් ටික ප්‍රදේශය පුළුල් කරමින් පැතිර විය හැකියි

අප්පමාණ චේතෝ විමුක්තියේ දී පළමුව තමන්ට මුදිතාව වඩා ඉන් පසු උතුරු දිශාව ආදී ආදි වශයෙන් දස දිසාවටම මුදිතාව පැතිර වන්නට පුළුවන් ඒ තුළින් මුදවාගත් ධ්‍යාන පිහිටා විදර්ශනා වඩා මාර්ගඵල අවබෝධ කරගන්නටත් හැකියාව ඇති බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා

එම නිසා අපි කවුරුත් එදිනෙදා ජීවිතයේ දී මුදිතාව දියුණු කර ගැනීමටත් භාවනාවක් වශයෙන් ප්‍රගුණ කරගැනීමටත් උත්සාහවත් වීම ඉතා වටිනවා.

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X