Temples of Sri Lanka

ඔබේ සිතත් මේ වගේ ද

සිත කියන්නේ මහා පුදුම දෙයක්. මේ ලෝකයේ සියලු ම දෙනා මේ හිත අභියස වසඟ වෙලා . හැම කෙනෙක් ම මෙහෙයවන්නේ, හැම දෙයක් ම හසුරවන්න වුවමනා කරන බලය යොදවන්නේමේ සිත.
බුදුරජාණන් වහන්සේ සිත ගැන මෙලෙස දේශනා කොට වදාළා.

 

“මහණෙනි, දමනය නොකළ විට, රැක නොගත් විට, සංවර නොකළ විට මහත් විපත පිණිස පවතින්නා වූ යමක් ඇද්ද? මේ සිත තරම් දමනය නොකළ විට, රැක නොගත් විට, සංවර නොකළ විට මහත් විපත පිණිස පවතින්නා වූ වෙන දෙයක් මා දකින්නේ නැහැ” කියලා”

 

එහෙම නම් මේ හිත දහම තුළ හසුරුවා නොගෙන තිබීම අනතුරුදායක බව අමුතුවෙන් කියන්න ඕන නෑ.
මේ ගාථාව දෙස මදකට බලන්න.

 

“සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝදපනං
ඒතං බුද්ධානසාසනං”

 

සියලු පව් නොකිරීමත්, කුසල් රැස් කරගැනීමත්, තම සිත පිරිසිදු කර ගැනීමත්, යන මෙය බුදුවරයන් වහන්සේලාගේ අනුශාසනාවයි.”
බුද්ධ ශාසනය තුළ බොහෝ දෙනෙක් පැවිදි වුණේ දමනය නොවුණු සිත දමනය කර ගැනීම පිණිස. සංවර නොවුණු සිත සංවර කර ගැනීම පිණිස. රැක නොගත් සිත රැක ගැනීම පිණිස. බුදුරජාණන් වහන්සේගේ කාලේ බොහෝ භික්ෂූන් වහන්සේලා ‘සිත’ ජය ගත්තා. ඒ ජය ගැනීම කළේ අප්රමාදය නිසා ම යි. කාම අරමුණුවල වැටෙද්දී, කැමති කැමති අරමුණුවල බැසගනිද්දී එයින් බැහැර කොට සතර සතිපට්ඨානයේ නැවත නැවත පිහිටුවා ගන්නට දක්ෂ කෙනා විතරයි මේ සිත ජය ගන්නේ. ධම්මපදයේ චිත්ත වර්ගයේ තිබෙන ගාථාවන් කියවද්දී සිත ගැන මොන තරම් ගැඹුරු ලෙස විස්තර කර තිබේද කියලා වටහා ගන්න පුළුවන්.

 

සිත අරමුණක් පාසා සැලෙනවා. ඒ වගේම කිසිම කලක සිත නම් විශ්වාස කරන්නට හොඳ නෑ. වෙලාවකට මේ සිත ඉතාමත් ශාන්තයි.
එතකොට අප මේ සිතට රැවටෙනවා. ආයෙ කලබල වෙන එකක් නෑ කියල හිතනවා. නමුත් ඊළඟ මොහොතේ මේ සිත විසිරෙනවා. සිත සංවර වෙලා තියෙන කොට අපට හිතෙන්නෙ ආයෙත් නම්, මේ සිත කිලිටි වෙන එකක් නෑ කියලයි. නමුත් අපටත් හොරාම සිත වෙනස් වෙනවා. කිලිටි වෙලා යනවා. සිත කියන්නේ චපල දෙයක්. මේ චපල වූ සිත නිසාමයි අපට මේ සසරේ මෙතරම් දුරක් ගෙව ගෙවා පැමිණෙන්නට සිද්ධ වුණේ. තවදුරටත් සසරේ යන්නට සිද්ධ වන්නේත් සිතේ චපලකම නිසාමයි.

 

සිත රැකගැනීම ලේසි දෙයක් නෙවෙයි. මහත් වීරියක් වුවමනයි. මේ සිත රැකගන්නේ නුවණැති කෙනෙක්මයි. නුවණැති කෙනා අකුසල් හඳුනාගෙන බැහැර කරනවා. කුසල් දියුණු කරනවා. කුසලයේ ම සිත පිහිටුවනවා. ඒ තුළින් තමයි මේ සිත ආරක්ෂා කර ගන්නට පුළුවන් වන්නේ. අකුසල්වලින් බේරාගෙන කුසලයේ ම සිත පිහිටුවාගෙන ඉන්නවා කියන්නෙ මහා ආනුභාව සම්පන්න දේකටයි. එබඳු කෙනෙක් තමන්ගේ ජීවිතය ඉතාමත් සාර්ථක කර ගන්නවා.
වතුරෙන් ගොඩට ගත් මත්ස්යයන් ඔබ දැකල ඇති. ඔවුන් ඉන්නෙ හරි අමාරුවෙන්. හරිම පීඩාවෙන්. උඩ පැන පැන දඟලනවා. වතුර නැති නිසාමයි දඟලන්නෙ. මේ සිතත් සැප ලැබෙන වෙලාවට සැප රඳවගන්න දඟලනවා. දුක් ලැබෙන වෙලාවට දුකින් පැන යන්න දඟලනවා. හරිම විසිරීමකින් පවතිනවා. ඉතාමත් ම කලබලයි. මහත් පීඩාවකින් යුක්තයි. මේ වගේ දඟලන සිත නැවත නැවතත් ඇදිලා යන්නෙ වතුර ලැබෙන වෙලාවට සතුටු වෙන මාළුවා වගේ කාම අරමුණුවලටම යි. ඒ කාම අරමුණුවලට හසුවුණ කෙනා ලෙහෙසියෙන් ගැලවෙන්නෙ නෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළේ කාම අරමුණු කියන්නේ මාරයාගේ තොණ්ඩුව
. ඒ මාර උගුලට හසුවෙන්නෙ හිතේ ඇති මේ ස්වභාවය හඳුනා නොගත්කෙනයි. හිතේ මෙම ලක්ෂණය හඳුනා ගත් කෙනා හෙමින් හෙමින් මේ සිත දමනය කරනවා.

 

මේ සිත ආස කරන දේවල පැටලෙන්නෙ ගහක එතෙන වැලක් වගේ. ආස කරන අරමුණුවල මේ සිත ගිලෙන්නෙ දිය සුළියකට හසුවන රොඩු කැබැල්ලක් වගේ. මේ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය තුළින් විතරමයි සිතට රැකවරණයක් ලබාගන්න තියෙන්නෙ. සිත රැකගත යුතු ආකාරය මෙතරම් පැහැදිලි ලෙස ලෝකයේ වෙන කිසිම කෙනෙක් කියා දීලා නැහැ.
ඒ නිසා අපට මේ සිතේ ස්වභාවය ඉතාම පැහැදිලිව දකින්න පුළුවන් වෙන්නෙ ශ්රී සද්ධර්මය තුළින් පමණයි. සිත ගැන කල්පනාවෙන් ඉන්නවා. නොමග යන කොට වහාම සුමඟට යොමු කරගන්නවා. කල්පනාවෙන් නොසිටියොත් මේ සිත විසින් පුද්ගලයා නිරයට ම ඇදගෙන යනතුරු දැනගන්නට ලැබෙන්නෙ නැහැ.

 

අප හිතනවාට වඩා මේ සිතේ ස්වභාවය තේරුම් ගන්නා එක ඉතාමත් දුෂ්කරයි. අප මොනතරම් මේ සිතට රැවටෙනවා ද? එහෙම රැවටෙන්නේ මේ හිතේ ස්වභාවය හඳුනා ගන්නට ඇති අපහසුව නිසාමයි. සිත අතට හසුවන එකක් නොවේ. සිහියෙන්මයි, වීරියෙන්මයි, නුවණින්මයි සිතේ ස්වභාවය අල්ලා ගන්නට තියෙන්නේ. එහෙම වන්නේ සිත සියුම් නිසයි. නමුත් බුද්ධිමත් කෙනා සිත කිලුටු වීම නිසා ජීවිතය කිලුටු වන ආකාරය හොඳීන් තේරුම් ගන්නවා. ඒ නිසා අකුසල්වලට සිත ඩැහැගන්නට ඉඩ තියන්නෙ නැහැ. ඔහු සිත රැක ගන්නවා. එහෙම රැක ගන්න සිත තමයි නිවන් මග තුළ යොදවන්නේ.

 

බුදුරජාණන් වහන්සේ තමයි පළමුවෙන් ම මේ සිත ජය අරගෙන ලෝකය ඉදිරියේ අභිමානවත් ලෙස නැගී හිටියේ. සිතට වසඟ වූ ලෝකයට මෙය අදහාගත නොහැකි තරම් අසිරිමත් දෙයක්. සාමාන්යයෙන් සසරේ ගමන් කරන ජීවිත තුළ තියෙන්නේ අවබෝධයක් නැතිකමයි. ඒ නිසා හැම තිස්සේ ම ඒ අවබෝධයක් නැතිකම නම් වූ අඳුරට තමයි සත්ත්වයා ඇදී යන්නේ. එයින් නිදහස් වන්නට නම්, අවබෝධයක් ලැබිය යුතුයි.
බුදුරජාණන් වහන්සේ දඹදිව් තලය සිසාරා පා ගමනින් වැඩම කරමින් ධර්ම දේශනා කොට වදාළේ මේ සිත ජයගැනීම පිණිසයි. මේ සිත දමනය කිරීම පිණිසයි. සිත වසඟ කළ සියල්ලෙන් ම නිදහස් වීම පිණිසයි. බුදුරජාණන් වහන්සේගේ එම ධර්ම දේශනාවලින් මිනිසුන් ලැබූ ආධ්යාත්ම ශක්තිය විස්මය ජනකයි. සිත ජය ගත නොහැකි ව, පසුබට ව සිටි ජනයා එම සිත ජය ගැනීම තුළින් අභිමානවත් ලෙස නැගී සිටියා. එසේ සිදු නොවුණේ නම් ලෝකයේ කිසිදාක රහතන් වහන්සේලා බිහිවන්නේ නැහැ. රහතන් වහන්සේලා යනු සිත දමනය කළ, සිත ජයගත්, සිතට වසඟ නොවූ අභිමානවත් චරිත සංවර්ධනයක් ඇති කරගත් මනුෂ්ය රත්නයන් හැටියටයි ලොව දිස්වන්නේ.

 

එනිසා ඒ සඳහා යන මාර්ගය බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් විට ලොව අලුත් ම යුගයක් උදාවුණා.
බුදුරජාණන් වහන්සේ සිහිය පිහිටුවීම ගැන වදාළ දෙසුමක චිත්තානුපස්සනාව නමින් භාවනාවක් උගන්වා තිබෙනවා. එම භාවනාවෙහි සිත ගැන හොඳට පහදා දෙනවා.
සිහියෙන් ඉන්න කෙනෙකුට මේ සිත නොයෙක් ආසාවල පැටලී ඒ හේතුවෙන් කිලිටි වෙද්දී හොඳීන් හඳුනාගන්න පුළුවන්. එම කිලිටි බවෙන් සිත බේරා ගන්නත් පුළුවන්. සමහර අවස්ථාවල දී හිතට ද්වේෂය ඇතිවෙනවා. එතකොට මේ සිතේ ඉතාම මායාකාරී විදිහට මෙම ද්වේෂය නිර්මාණය වෙනවා. සිත ගැන කල්පනාවෙන් නොසිටියොත් ද්වේෂය නැමැති අකුසලයේ ගොදුරක් බවට ඔහු පත්වෙන්නේ ඔහුටත් නොදැනීමයි.

 

ඒ වගේම භය, තැතිගැනීම, සැකය, ඊර්ෂ්යාව, බද්ධ වෛරය, අනුන්ට අපහාස කිරීම, අනුන් හෙළා දැකීම ආදී නොයෙක් අකුසල් මේ සිතේ හටගන්නවා. එබඳු අකුසල් නිසා නොමග යන ජීවිත මොන තරම් තියෙනවාද? මේ නිසා අපි මෙම මායාකාරී චිත්ත ස්වභාවයට හසු නොවී ධර්මය තුළින් මෙම සිත උදාර තත්වයට ගොඩනඟමු. මෙවැනි ළාමක සිතක් ධර්මය තුළ දමනය කරගෙන නිවන් මගට යොමු කරන්නට ඇත්නම් මොන තරම් වාසනාවක් ද?
ඒ වාසනාව වැඩ් ඈතක නොයවන්නට සිතත් සමග හිතවත් වෙමු…..දැහම් සිතින් ඇරයුම්…

 

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood
You might also like
en English
X
X