Temples of Sri Lanka

සසර ගමනේ බිය දකින ඔබට

කතා වස්තුවක් හරහා අදහස් විමසන්නට ප්රයත්නයක්……
ගෝචරේ භික්ඛවේ, චරථ පෙත්තිකේ විසයෙ ගෝචරේ භික්ඛවේ, චරථං සකේ පෙත්තිකේ විසයේ න ලච්ඡති මාරෝ ඕතාරං, න ලච්ඡති මාරෝ ආරම්මණං ති.”
“සිය පිය සතු විෂයෙහි හැසිරෙන්න. ගෝචර වූ සිය පිය සතු විෂයෙහි හැසිරෙන්නන් මරු අවස්ථාවක් නොලබන්නේය.” මෙය සංයුක්ත නිකායේ සතිපට්ඨාන සංයුත්තයෙහි අම්බපාලි වර්ගයේ සඳහන් සකුණග්ඝී සූත්රයෙහි ඇතුළත් ධර්ම කොටසකි.”
 
දිනක් ගිජුලිහිණියෙක් කැට කුරුල්ලෙකු අල්ලා ගත්තේය. බියගත් කැටකුරුල්ලා මෙසේ කියමින් හැඬීය. “අගෝචර වූ අන්සතු විෂයෙහි හැසුරුණු නිසා මා මේ විපතට පත්විය. සිය පිය සතු විෂයෙහි හැසුරුනේ නම් ගිජුලිහිණියාට මා අල්ලාගත හැකි නොවන්නේය” මේ ඇසූ ගිජුලිහිණියා මෙසේ ඇසුවේය. “කැටකුරුල්ල, නුඹ කුමක් කියන්නේ ද? නුඹේ ගොදුරු වූ සිය පිය සතු විෂය නම් කුමක් ද?” නගුලෙන් සීසාන ලද කුඹුරෙහි කැට නැඟුණු තැනය. කැටකුරුල්ලා කීවේය. එවේලෙහි ‘නුඹ එවැනි තැනකට ගියේ ද මාගෙන් නම් නොමිදෙන්නේ යැයි බලයෙන් මානයට පත්ව සිටි ගිජුලිහිණියා පැවසුවේය. එසේ එසැණින් කැටකුරුල්ලා මුදාහැරියේය. කැට කුරුල්ලා ද නඟුලෙන් සාන ලද කැට නැඟී තැනකට ගොස් ලොකු කැටයකට නැඟ ගත්තේය. ‘ගිජුලිහිණිය, දැන් එන්න’ යි කීවේය. ගිජුලිහිණියා වේගයෙන් කැටකුරුල්ලා වෙත පියඹා ආවේය. ඒ මොහොතෙහි ම කැට කුරුල්ලා ඒ කැටෙහි ම ඇතුළතට රිංගා සැඟව ගියේය. වේගයෙන් පියඹා පැමිණි ගිජුලිහිණියා එහිම ළය හැපී වැටුණේය.
 
තථාගත බුදුරජාණන් වහන්සේ විසින් සතර සතිපට්ඨානය වැඩීමට ආරාධනා කරමින් කැට කුරුල්ලාගේ උපමා කතාව ද ඉදිරිපත් කරමින් මෙම උතුම් සූත්ර දේශනාව පැහැදිලි කර වදාළේය. යම් අයෙක් අගෝචර වූ විෂයෙහි හැසිරෙන්නේ නම් මෙවැනි දෙයක් ම සිදුවන බව තථාගත බුදුරජාණන් වහන්සේ වදාළහ.
එබැවින් අගෝචර ස්ථානයන්හි නො හැසිරෙන්න, අගෝචර වූ, තමාට වූ අයත් නැති විෂයෙහි හැසිරෙන්නා මරණ අවස්ථාවක් ලබන්නේය. මරුට අරමුණක් වන්නේය. අගෝචර වූ අන් අය සතු විෂය යනු කුමක් ද? එනම් මේ පඤ්ච කාමයෝය. එම පඤ්ච කාමයෝ මොනවා ද?
 
“චක්ඛු විඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මානාපා පියරූපා කාමුපසංහිතා රජනීයා” “තමා කැමති සිත සතුටු කරවන ප්රිය වූ කාමයෙන් යුතු ඇලීම් ඇති, ඇසින් ගන්නා රූපයෝය. කනින් අසා දැනගන්නා වූ ශබ්දයෝය. නාසයෙන් දැනගන්නා වූ ගන්ධයෝය. දිවෙන් ලබා ගන්නා වූ රසයන්ය. කයෙන් දැනගන්නා වූ ස්පර්ශයෝය. මේවා අගෝචර වූ මෙරමා අයත් විෂයයි.
ගෝචර වූ සිය පියසතු විෂයෙහි හැසිරෙන්න.ගෝචර වූ සිය පියසතු විෂයෙහි හැසිරෙන්නන්, ගැන මාරයා අවස්ථාවක් ලබන්නේ නැත. මාරයාට අරමුණක් ද ලැබෙන්නේ නැත. මහණ හට ගෝචර වූ සිය පියසතු විෂය කුමක් ද?
 
එනම් සතර සතිපට්ඨානය වැඩීමය. එම සතර සතිපට්ඨානයෝ මොනවා ද?මෙහි මහණ, කයෙහි කායික ඇවතුම් පැවතුම් බලමින් ද කෙලෙස් තවන වීර්ය ඇතිව මනා වූ සිහිනුවණින් යුතුව පඤ්ච ස්කන්ධ නම් වූ ලෝකයෙහි දැඩි ලෝභය සහ දොම්නස දුරුකරමින් වාසය කරයි. කෙලෙස් තවන වීර්ය ඇතිව, මනා සිහි නුවණින් සිතෙහි ස්වභාවය දකිමින් ද පඤ්ච ස්කන්ධ නම් වූ ලෝකයෙහි විෂම ලෝභය සහ දොම්නස දුරුකරමින් වාසය කරයි. කෙලෙස් තවන වීර්ය ඇතිව, මනා සිහි නුවණින් හා නාමරූප ධර්මයන් දකිමින් ද පඤ්ච ස්කන්ධ නම් වූ ලෝකයෙහි විෂම වූ ලෝභය සහ දොම්නස දුරුකරමින් වාසය කරයි. මහණෙනි මෙය මහණහට ගෝචර වූ සිය පිය සතු විෂයයි.
 
මෙහි දී භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා නම් වූ සිවු පිරිසට ම මෙම උතුම් ධර්ම අවවාදය එකසේ ගැළපෙන්නේය. සසර ගමනෙහි බිය දකින හා එම බියකරු වූ සසර ගමනින් අත්මිදීමට කැමති සියලු දෙනාම ගිහි පැවිදි භේදයකින් තොරව මෙම ධර්ම මාර්ගය අනුගමනය කිරීම අවශ්යයයි.
 
අගෝචර ස්ථානයෙහි හැසිරීමෙන් කැට කුරුල්ලාට අත්වෙන්නට ගිය ඉරණමත් අගෝචර ස්ථානය වෙත පැමිණීමෙන් ගිජුලිහිණියාට සිදු වූ ඉරණමත් මෙහි දී පැහැදිලි කරගත යුතුය. කැට කුරුල්ලා අගෝචර ස්ථානයෙහි සහ තමාට නුසුදුසු වූ ආකාරයට හැසිරීමෙන් මහත් විපතකට පත්වන්නට ඉඩ තිබුණි. එනමුත් නුවණින් කල්පනා කොට තමාට ගෝචර වූ ස්ථානයට පැමිණීමෙන් තම ජීවිතය ආරක්ෂා කරගත්තේය. ගිජුලිහිණියා අගෝචර ස්ථානයට පැමිණීමෙන් සහ තමාට සුදුසු නොවන දෙයෙහි යෙදීමෙන් ජීවිත අනතුරකට පත්කර ගත්තාය.
 
සසර ගමනෙහි ඇති බියකරු බව අවබෝධ කරගෙන එම සසරින් ඉවත්වීමට වෙරදරන භික්ෂුවක් හෝ කවර නම් අයෙක් වූව ද අගෝචර සිත අගෝචර අරමුණ, අගෝචර සංසේවනය මැනවින් දැන ගැනීම අවශ්යයයි.
සිත කැමති, සිත පිනවන ප්රිය ලෙසින් අල්ලා ගන්නා වූ කාමයන්ගෙන් ඇස, කන, නාසය, දිව සහ කය ආරක්ෂා කර ගැනීමට දක්ෂ විය යුතුය. රූපයක් කෙරේ සිතේ පවත්නා ඇලීම සහ ගැටීම කාමයකි. මෙම කාමයෙන් යුතු සිත, එම රූපය කෙරේ ඇති ඇලීම සහ බැඳීම නිසා රාග, දෝස, මෝහ ආදී කෙලෙස් ඇතිකර ගනී. ඒ අකුසල චිත්තයෝය. මෙම අකුසල චිත්තයන් ක්රියාත්මක වීමෙන් සතර අපායට වැටෙයි. දුක් විඳිමින් සසර ගමන දීර්ඝ වෙයි. මෙය මරුවාට අවස්ථාවක් ලෙස ද මරුවාට අරමුණක් ලෙස ද විස්තර කෙරිණ. සිත මුල්කොට ගෙන ඇසින් ඇළුන රූපය නිසා, රාගයෙන් හෝ ලෝභයෙන් බැඳේ. එය තමා සතු කරගන්නට දරන උත්සාහයේ දී වේදනා විඳී. වරෙක දුකට පත්වෙයි. අභිජ්ඣාව නම් වූ විෂම ලෝභයට සහ දොම්නසට පත්වෙයි. ඇලී, බැඳී එම රූපය තාවකාලිකව තමා සතු කරගත්ත ද, එම රූපය නම් වූ සංස්කාර වස්තුවෙහි ඇති අන්තර්ගත ස්වභාවය අනුව අනිත්ය ස්වභාවයට පත්වන විට සෝක පරිදේව දුක්ඛ දෝමනස්සයන්ට පත්වෙයි. ඇළුන සහ සිතින් බැඳුන රූපය හ්හ්හ්නොලැබී යන විට ද්වේෂයට පත්වෙයි. තමාට ද අන් අයට ද විපත් කිරීමට සැරසෙයි. මෙම මාර්ගය පස්පව් දස අකුසල් දක්වා විහි දී ගමන් කළ හැකිය.
 
කාමයෙහි බැඳුන තැනැත්තාට හොඳ නරක හෝ කුසල් අකුසල් මඟ අමතක වෙයි. මගේය, මමය, සදාකාලිකයි, ස්ථිරයි ආදී වශයෙන් සිතින් අල්ලා ගත් අරමුණෙහිම ඇලෙයි, බැඳෙයි. අකුසල් කර්ම රැස් කිරීමට මාර්ගයට නොදැනුවත් ම වැටෙයි. මේ ලෙසින් කනින් ද නැහැයෙන් ද, දිවෙන් ද කයින් ද කාමයන්ට ඇලීම සහ බැඳීමම ගැටීමට මුලකි. එයම දුක් ගොඩක මුලාරම්භය මෙන් ම දුක රැගෙන යාමේ මාර්ගයයි. දුක මැනවින් තේරුම් ගන්නා දුකට හේතුවන විෂයෙහි ම හැසිරීම අනුවණ කමකි. දුක මැනවින් ගන්නා විසින් කළ යුත්තේ දුකෙන් නිදහස්වීමේ මඟ දැන එම මාර්ගයෙහි ගමන් කිරීමය.
පඤ්ච කාමයෝ දුක්ගෙන දෙන බව ඉතාම පැහැදිලියි. සතුටක් ලෙස අභාවිත සිතකට දැනුන ද සැබැවින් ම ලබා ඇත්තේ ද පැමිණ ඇත්තේ ද සතුටක් නොව දුක් ගොඩක් ම බව සතිය හෙවත් මනා වූ සිහිනුවණ පවත්වා ගැනීම පුරුදු කරන කවර නම් අයෙකුට වූව ද වැටහේ.
 
මේ නිසා සතර සතිපට්ඨානය වැඩිය යුතු බව පැහැදිලි කෙරිණ. කායික හැසිරීම් ද ආශ්වාසය ද ප්රශ්වාසය ද ඇතැයි ද සත්වයෙක් හෝ පුද්ගලයෙක් නැතැයි ද දැනගනී. මෙම අවබෝධය නම් වූ නුවණ පහළ වන තෙක් අනිච්ච, දුක්ඛ, අනාත්ම, ඔස්සේ විදර්ශනා සිත වඩයි. කිසිවක් මමය, මාගේය කියා අල්ලා නොගනී. උපාදානය කර නොගනී. තණ්හා දිට්ඨියෙන් තොරව වාසය කරයි.
 
සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood
You might also like
en English
X
X