Temples of Sri Lanka

පැවැත්ම නිමැවෙන්නේ මෙහෙමයි…

දැකීම තුල සිත මුසපත් කර ගන්නා පෘථග්ජනයෝ එයට වඩ වඩාත් ඇලුම් කරති. ඇතැම් විට ප්‍රිය වූ දෑ කරා ක්ෂණයකින් ආකර්ශනය වීම ඇති කර ගන්නා මිනිසුන් විවිධ ගැටලුකාරී තත්ත්වයන්ට ද මුහුණ දෙයි.

සැබෑ සුන්දරත්වය කුමක්ද යන්න වටහා ගන්නට බුදු දහම ඇසුරින් කරුණු අවබෝධ කර ගැනීමට අප වඩ අඩාත් උනන්දු විය යුතුයි.

බුදු දහමේ දැක්වෙන සැබෑ ලස්සන නම්,
පුද්ගලයාගේ ආධ්‍යාත්මික හා බාහිර වශයෙන් ඇතිවිය යුතු පාරිශුද්ධතාවයි.

අපි හැමවිටම යම් දේක ලස්සන අපේක්ෂා කරනවා වගේම හැඩ වැඩ බලාපොරොත්තු වෙනවා.

පසුව එයටම රැවටෙනවා.මෙය සනාතනික දෙයක්.

අපි හැමවිටම අපේ කෙලෙස් සහිත ගතිය නිසා අපේ ඉඳුරන් පිනවීමට නිරන්තර උත්සාහයක් ගන්නවා. ඇහැට ග‍ැටෙන රූපය ලස්සන නම් එය අපේය කියා අයිතිකරගන්නයි අපි බලාපොරොත්තු වන්නේ. ස්ත්‍රී රූපය හා ඊට ඉලක්ක වන පුරුෂ රූපය අන්‍යෝන්‍ය වශයෙන් ක්‍රියා කරන ආකාරය බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා.

උන්වහන්සේ පෙන්වා දෙන ආකාරයට මේ ලෝකයේ ස්ත්‍රී රූපය තරම් පුරුෂයාගේ සිත ඇද බැඳ ගන්නා තවත් දෙයක් නැහැ.
මේ ලස්සනයි කියන රූපය නිසා බොහෝ දෙනා නොයෙක් විපත්තීන්ට ද ගොදුරු වෙනවා. සමහරවිට ජීවිත නසා ගැනීම පවා සිදු කරනවා. මෙම කරුණ කොතරම් සනාතනිකද කිවහොත් සද්ධර්මාලංකාරයේ එන ස්වර්ණතිලකා කථා වස්තුවේදී ස්වර්ණතිලකාගේ ය්රූපශෝභාව ඇගේ ජීවිතය විනාශ වීමට තරම් හේතු වුණේ ඇය අපේක්ෂා කරන පුරුෂයෝ හත්දෙනෙක් ම එක් අයෙකුට එක් අයෙක් නොදෙවෙනිව තරගකාරීව ඇය අත්පත්කර ගැනීමට ඉදිරිපත්වුණු නිසයි.

බුදුරජාණන් වහන්සේ සැබෑ ලස්සන අත්දැක්කාද?

ඔව්.උන් වහන්සේ යථාර්ථයෙන්ම සැබෑ ලස්සන අත්දැක තිබුණු ශාස්තෘවරයෙක්. සියලුම ආශාවන් ධර්මයන් ක්ෂය කළ උත්තමයකු වශයෙන්, උන්වහන්සේ දකින ලස්සන පෘතග්ජන මිනිසා දකින ලස්සනට වඩා හාත්පසින්ම වෙනස් වූවක්.

උන්වහන්සේ ලස්සන ලෙස දැක වදාළේ යථාර්ථයයි. අප දකින ලස්සන තාවකාලික බවත් වැදගත්ම දේ නම්, මේ බාහිර රුවට අපි තවදුරටත් නොරැවටී සිටීම බවත් තමන්ගේම හෘදසාක්ෂියෙන් විමසා බැලීම වටිනාම තත්වයක් බවට හේතු ඇතිවම පැහැදිලි කලා..

එය සත්තජටිල කියන සූත්‍ර දේශනාවෙන් මනාව පැහැදිලි වනවා.
බුදුරජාණන්වහන්සේ එයින් පෙන්වාදී තිබෙන්නේ හැමවිටම ලෝකය දෙස බලනවිට ඔවුන්ට පෙනෙන්නේ එහි යථාර්ථය නොවන බවයි. හරියට අව්කණ්ණාඩියකින් බාහිර පරිසරය දකිනවිට කණ්ණාඩියේ කාචයේ ඇති වර්ණයෙන් ඒ සියල්ල පෙනෙනවා වගෙයි. ඒත් පරිසරයේ ඇති ඇත්ත වර්ණය පෙනෙන්නේ නැහැ.
පුද්ගලයාගේ අභ්‍යන්තරය ලස්සන වන ආකාරය පිළිබඳව බුදු දහමෙන් ලබාදී තිබෙන චරිත නිර්දේශ කවරේද?
මේ තත්ත්වයෙන් අත්මිදීමට අවශ්‍ය වැඩ පිළිවෙළ හෙවත් නිර්දේශ බුදුරජාණන්වහන්සේ පියවර හතරකින් පැහැදිලි කර දෙනවා.

අපි සමාජයේ ජීවත් වනවිට එක් එක් උදවිය දැකලා ඔවුන් ගැන හදිසි තීන්දු තීරණවලට එනවා. එහිදී අපි දකින්නේ ඔවුන්ගේ බාහිර පෙනුමයි. මෙය වර්තමානයේ බොහෝ සැදැහැති බෞද්ධයෝ අත්විඳින කරුණක්. උදාහරණයක් ලෙස ගත්තම හදිසියේ බාහිරින් පැමිණි හිමිනමක් ලෙස පෙනී සිටින අයෙකු දැක ඒ අයගේ සිවුරේ වර්ණය, ගමන බිමන, ශරීරයේ රූපශෝභාව දිහා බලලා හදිසියේ මහත් පැහැදීමක් ඇතිකර ගත්තොත්…. ඒ දක්වා තමන් ඇසුරු කළ පන්සල විහාරස්ථානය, එහි වැඩ වසන ස්වාමීන් උවහන්සේ අත්හරිනවා. අලුත් හිමියන්ට අලුතෙන් ආවාස ගෙවල් පවා ඉදිකරලා පන්සලකුත් ඉදිකරනවා.

එහෙත් කලක් යනවිට පිළිවෙත් දැක කළකිරී. අලුත් පන්සල අත් හරිනවා. විවිධ ගැටලු ප්‍රශ්න රැසකුත් ඇති කර ගන්නවා.
ඒ නිස බාහිර පෙනුම හෝ රුව දුටු පමණින් වසඟ නොවී බුද්ධිමත්ව ක්‍රියා කරන්න ඕන.

මේ තත්වය සඳහා වැදගත්ම වන්නේ දහමට අනුව කටයුතු කිරීමයි.
පුද්ගලයාගේ සිල්වත් බව හෝ බව මැනිය හැක්කේ ඒ පුද්ගලයා සමඟ දීර්ඝ කාලයක් ඇසුරු කිරීමෙන්.

අපි දන්නවා පුද්ගලයකුගෙ ජීවන පැවැත්මෙහි පාරිශුද්ධත්වය ගැන විවිධ අවස්ථාවල විවිධ විවේචන වගේම ඇගයීම් ඉදිරිපත් වෙනවා.

ඒත් බුදුරජාණන්වහන‍්සේ පෙන්වා දෙන්නේ යම් භික්ෂුවක් හෝ ගිහියෙක්, උපාසකයෙක්, උපාසිකාවක් වෙනත් කවර පුද්ගලයෙකුගේ වුව ද ජීවන පැවැත්මේ පිරිසිදු බව හෝ අපිරිසිදු බව එහෙමත් නැත්නම් ජීවන පැවැත්මේ සරු නිසරු බව එක්වරම කෙනෙකුට තීරණය කරන්නට බැරි බවයි.

පුද්ගලයාගේ එලොව හා මෙලොව ජීවිතවල පැවැත්ම ලස්සන කර ගැනීම සඳහා සිදු කළ යුතු දෑ පිලිබඳව කතා කලොත්… පුද්ගලයා කලණ මිතුරකුසේ ඇසුරට යොමු කරගන්න අවශ්‍ය වෙනවා. සැබෑ කලණ මිතුරා හඳුනා ගැනීමට නම් තමන්ට ඒ පිළිබඳ ධර්මානුකූලව දැනුමක් තිබීම අවශ්‍යයි.
සත්පුරුෂයන්ගේ ඇසුරට යොමුවීම අවශ්‍යයි. ඒ තුළින් සමාජයේ යහපැවැත්මට අවශ්‍ය සත්පුරුෂ ගුණධර්ම තම ජීවිතයට හුරුකර ගැනීමට පුළුවන් වෙනවා.
තෙවනුව යෝනිසෝමනසිකාරය හෙවත් ශක්තිමත්ව ක්‍රියා කළ යුතු වනවා. මෙහිදී වැදගත් වන්නේ මානසික සංවරයයි. එනම් පුද්ගලයා බණට භාවනාවට යොමුවූ අයෙක් වීමත් අවශ්‍ය වනවා.
අවසාන වශයෙන් ජීවිතය හැම විටම ධර්ම ප්‍රතිපත්තියෙන් ඔපවත් කරගත යුතු වනවා. මෙයින් අදහස් කරන්නේ දහමෙන් තොර ජීවිතයක් ඔහුට නොමැති බවයි. ඒ කියන්නේ

කරණී‍යමෙත්ත සූත්‍රයෙන් පෙන්වා දෙන්නේ තම ජීවිතයට උතුම් ගුණාංග ඒකරාශී කර ගැනීමයි.

ඒ අනුව හැකියාව, ඍජුබව, සුවච බව, මෘදු බව, නිහතමානී බව, සැහැල්ලු බව ආදී චරිත ලක්ෂණ රැසක් අපේ ජීවිතවලට ඈඳා ගන්නට හැකි බව එයින් මනාවට පහදනවා.

ධර්මය මූලික කර ගත් ප්‍රතිපත්තිමය පැවැත්මක් උරුම කර ගනිමින්,ජිවිතය සාර්ථක ලෙස අත් විදිමින්.. මානුශීය මෙහෙවරක් සමාජග කරන්නටද දායකත්වයක් ලබා දෙමු.

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood

You might also like
en English
X
X