රූපයට , කාමයට බැඳෙන්නේ වෙස් මූණක්
සතුට, සතුටින් පිළිගත්තොත්, දුක කොහෙන් හෝ තැවරෙන්න බලනවා. එම නිසා ම, භික්ෂුව සතුට, ප්‍රීතිය, පස්සද්ධිය පෙරළා ආයෝජනය කරන්නේ, සමාධිය, උපේක්‍ෂාව උදෙසා මයි.
අවුරුදුත් ගෙවිලා ගියාට,බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාගේ, සිංහල අලුත් අවුරුද්ද යෙදී තිබෙන්නේ අප්‍රේල් දහහතර වෙනිදා නොවේ. භික්ෂුවක් කිනම් මොහොතක හෝ පංච නීවරණයෝ බැහැර කොට, සම්මා සමාධිමත් සිතින් පසුවේ ද, එම සම්මා සමාධිමත් සිතයි, භික්ෂුවකගේ සිංහල අලුත් අවුරුදු මංගල්‍යය වෙන්නේ.
භික්ෂුවකගේ මුළු ජීවිතය ම එවිට, ප්‍රණීත අලුත් අවුරුදු කෑම මේසයක් වෙනවා. එම ප්‍රණීත අලුත් අවුරුදු කෑම මේසයේ පිළුණු වෙන ආහාර නැහැ. එහි තිබෙන්නේ, සති, ධම්ම විචය, වීර්යය, ප්‍රීති, පස්සද්ධි, සමාධි, උපේක්‍ෂා යන ප්‍රණීත අතුරුපස මයි. මෙම ප්‍රණීත අවුරුදු අතුරුපස, භික්ෂුවකට විකාලයේත් වළඳන්න පුළුවනි.
ලෝකයේ රසවත් ම ආහාර තිබෙන්නේ තරු පහේ, තරු හතේ හෝටල්වල නොවේ; එම හෝටල් රස, අවිද්‍යාවේ නීරසයි, පංච නීවරණයන්ගේ රසයයි. භික්ෂුවකගේ පරණ අවුරුදු විදර්ශනාවෙන් විනිවිද දැක, මතු කොට ගන්නා අලුත් අවුරුදු මංගල්‍යයයේ සප්ත බොජ්ඣංග අතුරුපස, සම්මා ඥානයන්ගේ රස නහරයි ශක්තිමත් කොට දෙන්නේ. පින්වත, සම්මා ඥානයෝ ප්‍රමාදීභාවයේ කැවුම්, කිරිබත්, අවුරුදු, ලෝකය තුළ තියලා, අප්‍රමාදීභාවයේ සම්මා විමුක්තියටයි මාර්ගය කියලා දෙන්නේ.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිය දී, දේවදත්තලත් වැඩ සිටියා. සාරිපුත්ත මහ රහතන් වහන්සේ වැඩ සිටිය දී, කෝකාලික භික්ෂුවත් වැඩ සිටියා. අපි ජීවත් වන වර්තමානය ගැන කිනම් කතාවක් ද?
ලෝකයේ හරි හෝ වැරදි සොයන්න යන්න එපා, නොදැනුවත්ව ම ඔබත් වැරදිකරුවෙක් වෙනවා. මේ රාත්‍රියේ භික්ෂුවට ගම්මානය දෙසින් යාන්තමට වේග රිද්ම සංගීත හඬක් ඇසෙනවා. සිංදු කියන්නේ නැති වේග රිද්ම සංගීතයක්. මේ සංගීතය අරක්කු සංගීතයක් වෙන්න බැහැ. අරක්කු සංගීතයක් නම් සිංදු කියනවා. මේ සංගීතය සමහර විට අයිස් මත්ද්‍රව්‍ය සංගීතයක් වෙන්න පුළුවන්. වෙහෙසක්, නිදිමතක් නොදැනෙන අයිස් මත්ද්‍රව්‍ය සංගීත අවසන් වෙන්නේ එළිවෙන උදෑසනයි. ලෝකය නිවැරදි කරන්න අපිට බැහැ. ලෝකය අවිද්‍යාවෙන් උපන් සංස්කාරයන්ගේ පාරාදීසයක්. වර්තමාන සමාජය යැයි කියන්නේ, පින්වත් ජනතාවගේ ආධ්‍යාත්මය මරලා, මිච්ඡා සතුට, විනෝදය දේවත්වයෙන් දකින සමාජයක්.
ලෝකය තුළ දුක සහ සැප යන දෙඅර්ථයන් ම තිබෙනවා. අපි අප්‍රමාදී විය යුතුයි, ධර්මානුකූලව දුකෙන්, සතුට උදුරා ගන්න.
ගෙවී ගිය සිංහල අලුත් අවුරුද්ද සිහියට නගා ගන්න. කිරිබතක් පිස ගන්න වත්කමක් නොතිබිච්ච, සිතේ සතුට අහිමි වෙච්ච, අවුරුදු සතුට උදෙසා සිල් පද බිඳ ගත්ත, ලෝභ, ද්වේශ, මෝහයෝ තර කොට ගත්ත, මොනතරම් නම් පින්වතුන්ලා සමාජය තුළ සිටින්නට ඇති ද? මේ සෑම කෙනෙක් ම සිහියට නගා ගෙන ‘සුවපත් වේවා!’ යැයි, මෙත් වඩන්න. එම මෛත්‍රී සිතත් චිත්තානුපස්සනාවෙන් අනිත්‍ය යැයි දකින්න. ලෝකයාගේ වැරදි, දක්‍ෂයාගේ නිවැරදිභාවය සහ අප්‍රමාදීභාවය උදෙසා ම විය යුතුයි.
රූපයේත් කාමයේත් වෙස් මුහුණු
අපි සිතන තරම් සුන්දර නැහැ.
ලෝකය රූපයේ සහ කාමයේ ආස්වාදය නමැති වෙස් මුහුණු බැඳගෙනයි සිටින්නේ. ආස්වාදයේ කෙටිභාවය නිසා ම, ලෝකය ඉදිරියේ අපි තරගයට පරදිනවා.පරදින ලෝකය ඔබ සුන්දරයි කියලා ගන්න එපා. ඔබ ලෝකයට රැවටිලා යාවි. දුකෙන් පිරි ලෝකය තුළ සම්මා වායාමයන්ගෙන් මතු කොට ගන්නා කුසල් සංස්කාරයෝ මයි, වර්ණය, සැපය, බලයට මාර්ගය වෙන්නේ. දුකේ දී ඔබව හැර නොයන, ඔබේ විශ්වාසවන්ත මිතුරා බවට සම්මා වායාමෝ පත් කොට ගන්න. ඔබ වැටුණොත් පුරුෂ ධෛර්යයෙන් යුතුව නැගී සිටින්න. ඔබව වැට්ටුවේ කවුද කියලා හිතන්න යන්න එපා. ඔබව වැට්ටුවේ වෙන කවුරුවත් ම නොවේ, ඔබගේ ම අකුසලයයි. ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්දේ, ඔබේ ජීවිතය නමැති පැටලුණ නූල් බෝලය, තවදුරටත් ආත්මීය දෘෂ්ටියට ගොදුරක් වෙන්න දෙන්න එපා. අවිද්‍යාව හේතුවෙන් සකස් වන කුසල් සහ අකුසල් සංස්කාරයෝ මුල් කොට ගෙන, ඔබ ලබන දුක් සහ සැප විග්‍රහ කොට ගැනීමට දක්‍ෂ වෙන්න. ඔබ ලබන සැපයේ හිමිකරු ඔබේ කුසල් සංස්කාරයෝ වෙනවා වගේ ම, ඔබ ලබන දුකේ හිමිකරු ද අකුසල් සංස්කාරයෝ මයි. රණ්ඩු වෙන්න දෙයක් නැහැ, අවබෝධයෙන් නිදහස් වෙන්න මයි තිබෙන්නේ.
මේ සවස් යාමයේ භික්ෂුව වැඩ සිටින ප්‍රදේශයට හොඳටෝම වහිනවා. , බක් මහේ අකුණු සක්‍රිය වෙලා, ආකාශයේ තරගයට බෝම්බ පුපුරනවා වගේ අකුණු ගහනවා. බාහිර සතර මහා ධාතුවේ කිපීම්, ධාතු මනසිකාරයෙන් විනිවිද දකිද්දී, අපේ ඇලීම්, ගැටීම් සහ උපේක්‍ෂා විඳීම් සංසිඳී යනවා. එවිට අපි තුළ උපදින්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ සතර මහා ධාතුවෙන් සැදුණ රූපයේ, අනිත්‍ය දැක්ම තුළින් මතු වෙන ධම්මානුපස්සනාවයි
භික්ෂුව මේ ආසනය මත වාඩි වෙලා අකුණු ගහන මහ වැස්සේ ඝෝෂාව, භික්ෂුවගේ ඵස්සය අසලින් චිත්තානුපස්සනාවෙන් අක්‍රිය කරලා, සියලු සංස්කාරයෝ අනිත්‍ය යැයි දකිනවා. එම විදර්ශනාමය දැක්ම, ආධ්‍යාත්මික සහ බාහිර පංච උපාදානස්කන්ධයෝ සියල්ල ම අවිද්‍යාවේ මුදුන් මුලෙන් ම තාවකාලිකව නිදහස් කොට දෙනවා ඔබ රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ ලෝකය බරක් කොට ගන්න එපා. ඔබ ලෝකය බරක් කොට ගත්තොත්, සංස්කාර බර තව, තවත් වැඩි වෙනවා. ඔබට ලෝකය බර වැඩි නම්, ඔබේ ජීවිතයෙන් ලෝකය ගලවා දමන්න. අවිද්‍යාවේ බර ඔබ ගන්න එපා. අවිද්‍යාව මහ මෙරක් වගේ බරක්. පින්වත, අතීත, වර්තමාන, අනාගත පංච උපාදානස්කන්ධයෝ ආහාර කොට ගත් අවිද්‍යාව, පංච නීවරණ ආහාරයන් කෙරෙහි ඇති ලොල්භාවය නිසා ම, ආහාර පාලනයෙන් ගිලිහිලයි සිටින්නේ. එම නිසා ම, අවිද්‍යාව බලාගෙන සිටියදී ම ලොකු මහත් වෙනවා., ඔබේ ඵස්සය අසලින් අවිද්‍යාව ගලවා දමන්න. දැක්කා, ඇසුණා, දැනුණා කියන ඔබේ ඵස්සය, අවිද්‍යාවට විඳින්න දෙන්න එපා. එවිට ලෝකය තාවකාලිකව ඔබෙන් ගැලවිලා යාවි. පාට, පාට සිහින වෙනුවට, සිහින විනිවිද දකින සම්මා ඥානයෝ සම්මා සමාධිමත් පොළොවේ එවිට මුල් අදීවි.
ඔබට සම්මා සම්බුදු සරණයි🙏
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood