සමාජ සබඳතා සංවර්ධනය කරන ගිහි පැවිදි බැඳීම්
භික්‍ෂූන් වහන්සේ වස් විසීමේ චාරිත‍්‍රය බුද්ධ කාලයේ සිට පැවත එන්නකි. සංචාරක ජීවිතයක් ගත කළ භික්‍ෂූන් වහන්සේ, වැසි කාලයේ දී එක තැනක වාසය කරමින් බණ භාවනා කිරීම මෙම කාලයේ දී සිදු විය. බොහෝ භික්‍ෂූන් වහන්සේ දායක පින්වතුන්ගේ සිවුපසය ලබාගෙන ඔවුන්ට ද අවවාද අනුශාසනා කරමින් තමන්ගේ විමුක්තිය සලසා ගැනීමට මෙම කාලය යොදාගත්හ. එක තැනක සෑහෙන කාලයක් ගත කිරීම සහ ගිහි පින්වතුන් නිතර ඇසුරු කරන්නට ලැබීම නිසා මෙම කාලයේ දෙපිරිස අතර සම්බන්ධතා වැඩි විය. බුද්ධ කාලයේ දී ආරම්භ වූ මෙම චාරිත‍්‍රය අද දක්වාම සිදු කරන අතර, ගිහි පින්වතුන් වැඩිපුරම විහාරස්ථාන වෙත ගොස් පුණ්‍ය කටයුතුවල නිරත වන්නේ, මෙම වස් කාලයේදී ය.
නිතර භික්‍ෂූන් වහන්සේ හමුවීම, දන්දීම, පුද පූජා පැවැත්වීම, වන්දනා කිරීම ආදිය, වෙනදාට වඩා සිදුවන හෙයින්, වස් කාලයේ දී ගිහි පැවිදි සම්බන්ධය වඩාත් තහවුරු වෙයි.
බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයන් වන භික්‍ෂූන් වහන්සේ අතීතයේ සිටම තම ජීවිතය පොදු ජනයාගේ යහපත වෙනුවෙන් කැප කළ පිරිසක් වූහ. තම පෞද්ගලික ජීවිතයේ අවශ්‍යතාවන්ට වඩා සමාජ සේවයට මුල් තැන දෙමින් කටයුතු කිරීම, උන්වහන්සේ සතු වගකීමක් විය. ‘බොහෝ දෙනාගේ හිතසුව පිණිස චාරිකාවේ හැසිරෙන්න’ යන බුද්ධ අවවාදය පිළිගත් භික්‍ෂූන් වහන්සේට, ආරක්‍ෂා කිරීමට ධනයක් නොවී ය. වාසය කිරීමට ස්ථිර ආවාසයක් නොවී ය. ගිහි ජීවිතය හා සම්බන්ධ වගකීම් වලින් නිදහස් වූ උන්වහන්සේට පොදුජන යහපත වෙනුවෙන් කැපවීමට කිසි බාධාවක් නොවී ය. ගිහියාට බරක් නොවෙමින්, ඔහු දෙන සිවුපසය ලබාගනිමින් ජීවත් වූ භික්‍ෂූන් වහන්සේ මහණදම් පුරමින් තමාගේ විමුක්තිය සළසාගත් අතර, ගිහියාගේ ආධ්‍යාත්මික දියුණුව ඇතිකිරීමට ද කටයුතු කළහ. මෙසේ පැවිද්දා, ගිහියාගේ සිවුපසයෙන් යැපුණු අතර, ඔහුගේ ජීවිතය සාර්ථක කරගැනීම සඳහා අවවාද අනුශාසනා කිරීම තම යුතුකම සේ සළකා කටයුතු කළ හෙයින්, දෙපිරිස අතර සමීප සම්බන්ධයක් ඇති විය.
වෙදකම් කිරීම, ඡ්‍යොතිෂ කටයුතු කරදීම, සෙත් ශාන්ති කරදීම ආදී කටයුතු නිසා, භික්‍ෂුව වෙත ගිහි ජනයාගේ පැමිණීම වෙනදාට වඩා වැඩි විය. අධ්‍යාපන මධ්‍යස්ථානයක් වශයෙන් ද පන්සල කටයුතු කළ නිසා, ලාංකික සමජයේ මෙම ගිහි පැවිදි බැඳීම තවත් දැඩි විය. වර්තමානයේ වූවද ගිහි ජනයාගේ ආධ්‍යාත්මික ගුණධර්ම දියුණු කර ගැනීමට මෙන්ම ලෞකික ජීවිතයේ සාර්ථකත්වය ඇති කර ගැනීමට, භික්‍ෂු සමාජයේ ඇසුර අවශ්‍ය වෙයි. ගිහියාගේ සහ පැවිද්දාගේ මෙම සියලු අරමුණු, පරමාර්ථ නිසි අයුරින් ඉටුකර ගත හැකි වන්නේ, ඔවුනොවුන් අතර මනා සම්බන්ධතාවක් පැවතුණුහොත් පමණි.
බෞද්ධ සමාජයේ ගිහි පැවිදි සියලු දෙනාගේම ප‍්‍රධානම අරමුණ වන්නේ සසර දුකින් මිඳීමය. නමුත් ඊට පළමුව මෙලොව ජීවිතය සාර්ථක කර ගැනීමට ගිහියා උත්සාහ කළ යුතු ය. ඒ සඳහා ඔහුට අවශ්‍ය ධර්මානුකූල මඟ පෙන්වීම ලබාදීම, පැවිද්දාගේ යුතුකම වෙයි. පැවිද්දා විසින් ලබා දිය යුතු මෙම මඟ පෙන්වීම කුමක්දැයි, බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් අයුරු, සිඟාලෝවාද සූත‍්‍රයෙහි දැක්වෙයි. ඒ අනුව ගිහි ජනයා වෙනුවෙන් අනුකම්පාවෙන් යුතුව පැවිද්දකු විසින් ඉටු කරනු ලබන, ඉටු කළ යුතු, සේවා මෙසේ ය.
1. පවෙන් වැළැක්වීම
2. කුසළ කර්මයන්හි යෙදවීම
3. සෙත් පැතීම
4. නොදන්නා දෙය ඉගැන්වීම
5. දැන සිටින දෙය පුහුණු කරවීම
6. සුගතියට මග කියා දීම
ගිහියාට පස්පව්, දස අකුසල් ආදියෙහි අනිසි විපාක පෙන්වා දෙමින්, ඔහු දන් දීම, සිල් රැකීම, භාවනා කිරීම, ආදී පුණ්‍ය කටයුතු වල යොදවනු ලබන්නේ භික්‍ෂූන් වහන්සේ ය. එසේම උපතේ පටන් මරණය දක්වාම ජීවිතයේ විවිධ අවස්ථාවන්හිදී තම දායකයන්ට සෙත් පැතීම උන්වහන්සේගේ සිරිතකි.
දරුවකු මවුකුසින් බිහිවීමට ආසන්න වන විට සෙත් පිරිත් කියවා ගන්නා අතර, පසුව නම් තැබීම, ඉඳුල් කට ගෑම, කන් විදීම, අකුරු කියවීම, විවාහය, නව නිවෙසකට ගෙවැදීම, රැකියා සඳහා පිටත්වීම, නව ව්‍යාපාර ආරම්භ කිරීම, ආදී බොහෝ වැදගත් අවස්ථාවන්හිදී ආගමික චාරිත‍්‍ර වලට මුල්තැන දෙමින් ඒවා සිදුකිරීම, වර්තමානයේ වූවද දැකගත හැකි ය.
එසේම මෙම අවස්ථාවන්හිදී භික්‍ෂූන් වහන්සේගේ ආශිර්වාදය ලබාගැනීම බොහෝ සෙයින්ම සිදු වෙයි. උන්වහන්සේ ද එවැනි අවස්ථාවන්වලදී දායකයන්ට සෙත් පැතීම තම යුතුකම සේ සලකති. ඈත අතීතයේ සිටම ගිහි ජනයාට ලෝකය, ජීවිතය පිළිබඳ ;මන්ම හොඳ නරක පිළිබඳද කියාදෙනු ලැබුයේ, පැවිදි උතුමන් විසිනි.
එසේම ලාංකික සමාජයේ නූතන බටහිර අධ්‍යාපන ක‍්‍රමය ආරම්භ වීමට පෙර අධ්‍යාපනික මධ්‍යස්ථානය වූයේ ද පන්සලයි. ගුරුවරයාගේ කාර්යය ද භික්‍ෂූන් වහන්සේගෙන් ඉටු වූ නිසා උන්වහන්සේට ලැබුණු සමාජ ගෞරවය තව තවත් වැඩි විය. මෙලොව ජීවිතය සාර්ථක කර ගැනීමේ මාර්ගය මෙන්ම පරලොව ජීවිතය සාර්ථක කර ගැනීමේ මාර්ගය ද ගිහියාට කියාදීම පැවිද්දාගේ වගකීම වෙයි. නරක, තිරිසන්, ප්‍රේත ආදී දුගතිවලින් මිදී, දිව්‍ය මානුෂික සැප සම්පත් ලබා ගැනීමේ මාර්ගය පෙන්වා දෙනුයේ ද භික්‍ෂූන් වහන්සේ විසිනි. මෙවැනි ප‍්‍රශංසනීය සේවා රාශියක් වර්තමානයේ වූව ද, උන්වහන්සේ වෙතින් ඉටු වෙයි.
විහාරස්ථානය සහ භික්‍ෂූන් වහන්සේ වෙනුවෙන් දායකයා තම කය වෙහෙසා කළ යුතු වැඩ කොටසක් ද වෙයි. විහාරස්ථාන ඉදිකිරීම්, ශුද්ධ පවිත‍්‍ර කිරීම්, උත්සව කටයුතු සංවිධානය කිරීම්, වාර්ෂිකව හෝ මාසිකව කරන පින්කම් සංවිධානය කිරීම්, අලුත්වැඩියා කිරීම් ආදී කටයුතුවලදී ගිහියා විසින් තම ශ‍්‍රමය කැප කළ යුතු වෙයි. එසේම අවශ්‍ය අවස්ථාවලදී වැඳුම් පිදුම් කිරීම, උපස්ථාන කිරීම ආදී කටයුතු වලද යෙදිය යුතු ය. මෙම සෑම කටයුත්තක්ම ශ‍්‍රද්ධාවෙන් යුතුව, භික්‍ෂූන් වහන්සේ පිළිබඳ ගෞරවයෙන් යුතුව, සිය කැමැත්තෙන්ම ඉටුකර දිය යුතු ය. ඒ වෙනුවෙන් කිසියම් ලාභයක් කීර්ති ප‍්‍රශංසාවක් බලාපොරොත්තු නොවිය යුතු ය. අලසකමෙන් තොරව, ඒ සියල්ල තම යුතුකම් සේ සළකා, අමනාපයකින් තොරව සිය කායික ශ‍්‍රමය අවශ්‍ය මොහොතේ දී විහාරස්ථානයට ලබා දිය යුතු ය.
ඉහත සඳහන් කරුණු පිළිබඳ ද ගිහියාගේ අවධානය යොමුවිය යුතු ය. දුර්වලතා තමන් තුළ ද ඇත්නම්, ඒවා මඟහරවා ගත යුතු ය. ගිහි පැවිදි, දෙපිරිසම, තම යුතුකම් හා වගකීම් මැනවින් අවබෝධ කරගෙන, ඒවා හොඳින් ඉටු කළ යුතු ය. දෙපිරිස අතර අන්‍යෝන්‍ය අවබෝධය, සුහදශීලී බව, සහයෝගය වර්ධනය කරගත යුතු ය. භික්‍ෂුව, ගිහියාගේ ආර්ථික, සාමාජීය සහ ආධ්‍යාත්මික දියුණුව ඇති කිරීම සඳහා අවශ්‍ය නිවැරැදිව මඟ පෙන්වීම කළ යුතු ය. ගිහියා ද උන්වහන්සේ වෙනුවෙන් තම යුතුකම් ඉටු කරමින්, විහාරස්ථානයෙන් ඈත් නොවී, හැකි තරම් දැහැමි දිවි පෙවෙතක් ගත කිරීමට වෙර දැරිය යුතු ය. මෙසේ කටයුතු කළහොත්, ගිහි පැවිදි සම්බන්ධතාව මැනවින් තහවුරු වී, ආදර්ශවත් සදාචාරාත්මක සමාජයක් ගොඩනැංවිය හැකි ය.
සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood