සොඳුරු බව වඩන දැහැමි කත
බෞද්ධ ආගමික සංස්කෘතියක් ඇති පරිසරයක හැදී වැඩෙන අපේ රටේ සෑම අයකුම කුඩා කල සිට සංයමයට පුරුදු වූ ජාතියකි. ආදරය, සෙනෙහස, දයාව, අනුකම්පාව, අන් අයට ගරු කිරීම වැඩිහිටි අයට ගරු කිරීම ආගමික චාරිත්ර ආදී ආගමික ගුණ ධර්ම හා සාමාජික ගුණ ධර්ම අපේ සංස්කෘතිය විසින් කුඩා කාලයේ සිට ම පරපුරට ලබා දීම සිදු වන්නේ නිරායාසයෙනි.
දරුවන් වැඩිහිටියන් යටතේ සිටින යෞවනයන් බවට පත්වන්නේ නිසි කල වයස එළඹීමටත් පෙර ය. නූතන තාක්ෂණික ලෝකයට ළමයින් විවෘත වීමත් සමඟ ඔවුන් මව්පියන්ට වඩා ලෝකය පිළිබඳ සියල්ල දන්නා බව සිතමින් කටයුතු ආරම්භ කිරීම එයට හේතුව බව සමාජය දෙස විමසීමෙන් පැහැදිලි වේ.
ඒ සිතිවිල්ල අනුව කටයුතු කිරීමත් සමඟ යෞවන වියට පත්වන්නා හට අමතක වන කාරණය නම් අපේ හෙළ සංස්කෘතිය යි.
කාන්තාවන් පිළිබඳ මෙහිදී සාකච්ඡා කිරීමට බලාපොරෝත්තු වන හෙයින් ඔවුන්ගේ සංවර භාවය කෙතරම් ප්රයෝජන ද යන්න විමසා බලමු.
කාන්තාවකගේ ලස්සන රූපයෙන් පමණක් ලැබෙන දෙයක් නොව එය හදවතේ ඇති ගුණ ධර්ම සමඟ බැඳී පවතින්නකි. සැබෑම සුන්දරත්වය කාන්තාවගේ සංවරශීලී බව සමඟ මතුවී පෙනෙන්නකි. ජීවිතයේ කුමන වයසක සිටියත් ඔබට හිමි සමාජ භූමිකාවක් ඇත. සිසු, යෞවන, බිරිඳ, මව, අත්තම්මා යන කුමන හෝ භූමිකාවක ඔබ මේ වන විට පසුවනවා ඇත.
මෙම භූමිකාවලදී ඔබ හැසිරිය යුතු ආකාරයක් අපේ සංසකෘතිය තුළ පෙන්වා දී ඇත. මෙරටට බෞද්ධ සංස්කෘතික දායාදයන් ලැබුණු හෙළයේ ශ්රේෂ්ඨතම කාලයක් තුල අප අපේ සුන්දර බව මෙන් ම අපේ අභිමානය රැක ගනිමින් නූතන ලෝකය සමග ගනු දෙනු කිරීමට සාවධානය යොමු කළ යුතු ය.
අවවාදයට වඩා ආදර්ශය උතුම් යන ආප්තෝපදේශයට අනුව අප සෑම විටම අපේ භූමිකාවට අදාළව කටයුතු කිරීමට දක්ෂ විය යුතු ය.
මව් භූමිකාව සාර්ථක වීමට නම් ඊට අදාළ නිවැරැදි හැසිරීම්වල නිරත විය යුතු ය. දරුවන් සෑම විටම තම වැඩිහිටියන් අනුකරණය කරන පිරිසක් වේ. එබැවින් තම දරුවන් ඉදිරියේ දී පමණක් නොව සෑම අවස්ථාවක දී ම තමාගේ හැසිරීම පිළිබඳව සැලකිලිමත් ව වැඩ කිරීමට යුහුසුලු විය යුතු ය.
මෙහිදී මව් භූමිකාවට අදාළ ව සංවරශීලී බව ඉතාම වැදගත් කාරණාවකි. තමන්ගේ රූපය ඉස්මතු වීම කෙරෙහි අවදානය යොමු කරමින් තම භූමිකාවට නොගැළපෙන අයුරින් අසංවර වීම තුළ කටයුතු කරනු ලබන්නේ නම්, කිසි දිනෙක තම දියණියට මඟ පෙන්වීමට තමාට ආත්ම ශක්තියක් නොලැබී යනු ඇත.
බුදුන්වහන්සේ වරෙක දේශනා කරන්නේ ලෝකයේ දේවල් තුනක් වැසී තිබීම නිසා බැබළීමට පත් වන අතර තවත් දේවල් තුනක් විවෘත වීම නිසා බැබළීමට පත් වන බවයි.
“තීණීමානී භික්ඛවේ පටිච්ඡාන්නානි වහනති නො විවටාති
මාතුගාමෝ භික්ඛවේ පටිච්ඡන්නෝ වහති නො විවටො”
මහණෙනි කාන්තාව බබළන්නේ වැසුණු තරමට ය. විවෘත වූ තරමට ඇයගේ බැබළීමක් නැත. යනුවෙන් ඒ බව පටිච්ඡන්න සූත්රයේ දී දක්වා ඇත. මේ අනුව බුද්ධ දේශනාව වන්නේ කාන්තාව වනාහී සැබැවින් ම ලස්සන හෝ අන් අයගේ ආකර්ෂණය ඇති කර ගැනීමට නම් සංවර බව ඇති කරගත යුතු බවයි.
ඇඳුමෙන් පැළඳුමෙන් මූලිකව සංවර වීම ප්රධාන වන අතර කායික වාචසික හැසිරීම්වල දී ද සංවර වීම කාන්තාව බැබළීමට හේතුවක් වේ.
පූර්ව ජන්මවලදී කළ පුණ්ය විපාක නිසා මෙම ආත්මයේ දී ආකර්ශනීය රූපයක් ලැබී තිබෙන්නට ඇත. අප එම රූපය වැරැදි ලෙස භවිත කොට අන් අයගේ රාගය ඉස්මතු නොකළ යුතු ය. එසේ වූ විට නැවත භවයක එම රූපය තමාට නොලැබී යාම මෙන්ම මෙලොව වශයෙන් සමාජය තුළ අප්රිය කාන්තාවක් මෙන් ම අප කීර්තියට පත් කෙනකු බවට පත්වේ.
තම තමන්ගේ වයසට හා ඒ ඒ අදාළ ස්ථානයන්ට අනුව හෙළ කුළ කතුන්ගේ ඇඳුම පැළඳුම හැසිරීම වෙනස් ව පවත්වාගෙන යාම එදා සිට ම පැවතගෙන එන ලද්දකි.
හෙළ කුළ කත අද සැබැවින් ම සංකර වී ඇති බවක් සමාජය තුළ අපට දැක ගත හැකි ය. බෞද්ධ සංස්කෘතියට උරුමකම් කියන අභිමානවත් ඓතිහාසික ගමන් මාර්ගයක් ඇති පරපුරක් ලෙස අපි ඉතාම භාග්යවන්තයෝ වෙමු. එය, ඉදිරි පරපුර වෙත දායාද කරමින් උදාර ජාතියක් ලෙස නැවත පෙළ ගැසෙන්නට කාලය එළැඹී ඇති බව පෙනී යයි.
සමාජයේ වැඩි වගකීමක් පැවරී ඇත්තේ කාන්තා පරපුර වෙත ය. එහිදී මව් භුමිකාව ප්රධාන තැනක් ගනී. වර්තමාන දැඩි ආර්ථික අපහසුතා නිසාවෙන් මව්වරුන් විශාල ප්රමාණයක් මුදල් ඉපයීමේ කාර්යයේ නියැළෙමින් ජීවිත අරගලයක යෙදෙයි. ඒ අතර තුර ලැබෙන විවේකය තුළ ද ධර්මය අධ්යනයක යෙදෙමින් භාවනාවක නියැළී කටයුතු කරමින් ආධ්යාත්මික ජීවිතයක නියැළෙන්නට තරම් මානසික සන්සුන් භාවයක් නොමැත. එසේ ම තමන් ඇසුරු කරන සමාජය තුළ ද එවැනි පරිසරයක් නොමැති බැවින් ආගමික හෝ සංස්කෘතික දියුණුවක් සඳහා කටයුතු කරන්නට තමාට ද හැකියාවක් නැත.
එහෙත් මේ සියලු දේ නිසි ලෙස කළමනාකරණය කර ගනිමින් කටයුතු කරන්නේ නම්, ඉතා සතුටින් හා සැනසීමෙන් පූර්ණ වූ ද, සියල්ලන්ගේ ම යහපත් ආකර්ශනය දිනාගෙන සමාජය තුළ ඉතා සාර්ථක ජීවිතයක් ගත කිරීමට ඈට හැකියාව ඇත.
සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood