සංසාරික පැවැත්මට කුසලය
චේතනාහං භික්ඛවේ කම්මං වදාමි” යනුවෙන් දක්වන පරිදි චේනනා පූර්ව වශයෙන් තිදොරින් සිදුවන ක්‍රියාකර්ම වශයෙන් හඳුන්වනු ලැබේ.
පින් – පාප , කුසල – අකුසල සංකල්ප වර්ග කරන්නේ සිතිවිලි අනුවය.
සාමාන්‍ය ක්‍රමයට අනුව චේතනාවේ ස්වභාව මත කර්ම, කුසල සහ අකුසල වශයෙන් ද බෙදනු ලැබේ. නමුත් කුසල – අකුසල පුඤ්ඤ – පාප යන වචන හතර මගින් පුද්ගලයෙකුගේ ක්‍රියාව සම්බන්ධ ඉතා සියුම් වර්ගීකරණයක් ඉදිරිපත් කරයි.
පුණ්‍ය – පාප සහ අකුසල එක් කොටසටත් කුසලය තවත් කොටසකටත් බෙදිය හැකිය. එසේ ම පුණ්‍ය සහ කුසල එක් අංශයකටත් පාප සහ අකුසල තවත් අංශයකටත් ඇතුළත් කළ හැකි ය. එයම හොඳ සහ නරක වශයෙන් ද හැඳින්විය හැකි ය.
මෙහිදී අප සලකා බලන්නේ මෙම සංකල්පය බුදුසමයේ මූලික ඉගැන්වීම් සමඟ කෙසේ සම්බන්ධ කරන්නේ ද යන්නයි.
බුදුරජාණන් වහන්සේ සම්‍යක් සම්බුද්ධත්වයෙන් අපේක්ෂා කළේ දුක්ඛ සමුදය තේරුම් ගැනීම සහ දුක්ඛ නිරෝධය අවබෝධ කර ගැනීම ය. දුක්ඛ සමුදය හෙවත් දුකට හේතුවන කරුණු පිළිබඳ, සූත්‍ර රාශියකම දැක්වේ. ඉපදීමේ පටන්සිදුවන සමස්ත ක්‍රියාවලිය සහ පුද්ගලයා තුළ පවතින කාමාදි තෘෂ්ණාව, දුක්ඛ සම්භවයට හේතු වේ. එසේ නම් මූලික සංකල්පවලින් දුක්ඛ සම්භවයට අදාළ වන්නේ මොනවාදැයි තේරුම් ගත හැකිය. ඉපදීමත් මරණයත් සිදුවන සමස්ත ක්‍රියාවලිය සසර පැවැත්ම වශයෙන් ද නම් කළ හැකිය.
“අනමතග්ගෝයං භික්ඛවේ සංසාරො – පුබ්බාකෝටි න පඤ්ඤායති” යනුවෙන් දක්වා ඇති පරිදි සත්ත්වයා දුක් විඳින්නේ කෙළවරක් නොපෙනෙන සසර උපදින බැවිනි. සසර පවතිනුයේ පුනර්භවය මත ය. පුනර්භවයට හේතුවනුයේ උපාදානයයි. මේ නිසා මරණින් පසු නැවත ප්‍රතිසන්ධියක් ලැබීම සඳහා අප විසින් කරනු ලබන යම් ක්‍රියාවක් අදාළ වන්නේ නම් ඒ සියල්ල දුක්ඛ සමුදයට හේතු වෙයි.
දුක්ඛ නිරෝධය යනුවෙන් අදහස් කරන්නේ සපුරා දුකින් බැහැර වීම හෙවත් සංසාරික පැවැත්ම අවසන් කිරීමයි. මේ සඳහා පුනර්භවයට හේතුවන සියලු ක්‍රියාවන්ගෙන් බැහැර විය යුතුය. පුනර්භවය සිදුවන්නේ අපේක්ෂා සහිතව ක්‍රියාකිරීම නිසාය. මෙහි අපේක්ෂාව උපාදානය වශයෙන් ද හැඳින්විය හැකිය. උපාදානය සිදුවන්නේ සිතෙහි පවතින චේතනාවන්ට සාපේක්ෂකව ය. පංච කාමයන් සහ භවයන් සම්බන්ධ අපේක්ෂාව පුනර්භවය සිදු කරයි. අපේක්ෂා විරහිත වීම හෙවත් ලෝභ, ද්වේෂ, මෝහ ආදී අකුසල ක්‍රමානුකූලව ඉවත් කරමින් කුසල මූල වර්ධනය කරගත හැකි නම් එය සංසාරික පැවැත්මේ අවසානයට හෙවත් දුක්ඛ නිරෝධයට හේතු වෙයි. මේ අනුව පින, පව සහ අකුසලය සාංසාරික පැවැත්ම තුළින් දුක්ඛ සමුදයටත් කුසලය මානසික සක්‍යතා වර්ධනය කිරීම නිසා විමුක්තියටත් අදාළ වන බව පෙනේ.
මෙම සංකල්පවල ස්වභාවය පැහැදිලි කර ගැනීමෙන් මේ තත්ත්වය තේරුම් ගත හැකි ය.
පින හා පව ද, අකුසලය ද සසර පැවැත්මට හේතු වෙයි. කුසලය සසරින් එතෙර වීම සඳහා ය. තෘෂ්ණාව නිසා පින, පව සහ අකුසලය හට ගැනීමෙන් පුද්ගලයා සාංසාරික වශයෙන් විවිධ භවයන්හි උපත ලැබීමත්, ඊට අනුගතව දුක්ඛ දෝමනස්සයන්ට පත්වීමත් සිදුවෙයි.
භව පච්චයා ජාති, ජාති පච්චයා ජරා, මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාසා සම්භවන්ති, ඒවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හෝති
භවගාමී වුව ද පුද්ගලයාට පින අවශ්‍ය ය. දුගතිගාමි වන්නේ, පව හෝ අකුසලය නිසා ය. සුගතියත්, දුගතියත් භවයයි. භවය යනු ‘වීම’ හෝ පැවැත්මයි. එනම් සාංසාරික වශයෙන් අත්ථපටිලාභය හෙවත් විවිධ ආත්මයන්හි ප්‍රතිසන්ධිය ලැබීමයි. මේ නිසා සුගතිගාමී වීම පිණිස පින අවශ්‍ය වුවද පරමාර්ථ වශයෙන් සදාකාලික සුගතියක් හෝ දුගතියක් නැත. යම් තැනක පැවැත්මක් වෙත් ද එම සියලු ස්ථාන දුක්ඛ සම්භවයට හේතු වේ. වරක් එක් දෙවියෙක් බුදුරදුන් වෙත පැමිණ කාලය ගතවෙමින් මරණය ළං වන බවත්, සැප ගෙන දෙන පින්කළ යුතුªබවත් ප්‍රකාශ කළ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සසර දික්වීමට හේතුවන පින්කිරීමට වඩා ලෝකයෙන් එතෙර වීම සඳහා කුසල්හි යෙදීම වැදගත් බවයි. (සංයුත්ත නිකාය උපනීයත සූත්‍රය)
මෙයින් අදහස් කරන්නේ පින් නොකළ යුතු බවක් නොවේ. පව් හෝ අකුසල් සිදු වීමෙන් සංසාරික ප්‍රවාහයට එක්වන්නේ, අමිහිරි අත්දැකීම් සහිතව ය. මිහිරි අත්දැකීම් ලැබීමට අපේක්ෂා කරන්නේ නම් පිනෙහි නියුක්ත විය යුතු ය.
පුඤ්ඤානි පර ලෝක ස්මිං
පතිට්ඨාහොන්ති පාණිනං
ඉධ නන්දති පෙච්ච නන්දති
කතපුඤ්ඤෝ උභයත්ත නන්දති
මනසා චෙ පසන්නේන භාසති වා කරෝතිවා
තතෝනං සුඛමන්වේති ඡායාව අන්‍යායිනි
ගිහී භූතස්සපි උපකාරානි පුඤ්ඤානි
පබ්බජිතස්සපි උපකාරානි පුඤ්ඤානි
යනාදී ඉගැන්වීම් වලින් පැහැදිලි කරන්නේ පුණ්‍ය ඵලය සුඛාස්වාදය පිණිස හේතුවන බවයි. එහෙත් පින් කිරීමෙන් පමණක් දුක්ඛ නිරෝධය ලැබිය නොහැකිය. (දුකින් එතෙර විය නොහැකි ය)
පුඤ්ඤ පාප පහීණස්ස නත්ථි ජාගරතො භයං
සාංසාරික පැවැත්ම අහෝසි කිරීමට නම් පින්පව් දෙකම නැති කළ යුතුය. කුසලය, විමුක්තිය පිණිස හේතු වේ. අංගුත්තර නිකායේ දසක නිපාතයේ දී කුසල හැකියාවන්හි අවසාන ප්‍රතිඵලය අරහත්වය බව පැහැදිලි කර ඇත.
‘දසාංගෙහි සමන්නාගතො අරහාති වුච්චතී’
එසේ ම දස කුසල ධර්ම සම්පූර්ණ කරන පුද්ගලයා කෙලෙසුන් ප්‍රහිණ කරන අයුරු, එහි තවදුරටත් දැක්වේ.
“ දසහි ධම්මෙහි සමන්නාගතං පුරිසං පුග්ගලං පඤ්ඤාපෙමි සම්පඤ්ඤ කුසලං පරම කුසලං”
මෙම විග්‍රහයන්ට අනුව දුක්ඛ නිරෝධය පිණිස ඒකායන මාර්ගය, කුසල්හි නියුක්ත වීමය.
කුසල චේතනාවන්හි ධනාත්මක වර්ධනය අකුසල චෛතසිකයන්ගෙන් මනස වියුක්ත කිරීමේ ක්‍රමවේදයයි. එබැවින් රාගය නැතිවන විට, ද්වේෂය සහ මෝහය නැති වන විට, කුසලයේ උපරිම වර්ධනය තුළින් විමුක්තිය අවබෝධ කර ගත හැකිය.
“සබ්බා කුසලධම්මේ පහීනෙ
ඛෝ මහා රාජ , තථාගතො කුසලධම්ම සමන්නාගතො හෝතී”
සියලු අකුසල ධර්ම ප්‍රහීණය කරන ලද තථාගතයන් වහන්සේ කුසල ධර්මවලින් සමන්විත වෙයි. මෙයින් අදහස් කරන්නේ, සාංසාරික පැවැත්ම සඳහා හේතුවන සියලු ආකාර ක්‍රියාවන්ගෙන් තථාගතයන් වහන්සේ වෙන් වී ඇති අතර, විමුක්තිලාභී වෙති යන්නයි. ලෞකික ඵල අපේක්ෂාවෙන් තොරව නිර්වාණාවබෝධය පිණිස ක්‍රියාකිරීම, කුසලය වැඩීමයි. හිරි ඔතප් දෙකින් යුක්තව ක්‍රියාත්මක වීම සඳහා පුද්ගලයා පොළොඹවන්නේ කුසලයයි.
මේ අනුව කුසලය සාංසාරික පැවැත්ම අහෝසි කරන ක්‍රියාමාර්ගය ලෙස හැඳින්විය හැකිය. නිවන් මග අප්‍රකට කරන්නේ අකුසල කර්මයි. හැම විට ම අකුසලයක් පවක් නොවුන ද කුසලයට ප්‍රතිවිරුද්ධ නිසා සාංසාරික පැවැත්ම දීර්ඝ කිරීමට හේතු වේ. මේ අනුව දුක්ඛ සමුදය පින, පව හා අකුසලය පදනම් කරගෙන හටගන්නා අයුරුත් දුක්ඛ නිරෝධය පිණිස කුසලයෙහි වර්ධනය උපයෝගී වන අයුරුත් පැහැදිලි වේ.
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood