Temples of Sri Lanka

සත්‍ය ධර්මය ගුරු තනතුරේ තබා කටයුතු කරමු

මේ ලෝක දැක්ම වැඩියෙන්ම සමපාත වෙන්නේ බෞද්ධ දර්ශනය සමඟ ය.

සිද්ධාර්ථ ගෞතමයණන් වහන්සේ අප වැඩි වශයෙන්ම ගරු කරන ආගමික නායකයා ය. බෞද්ධාගම අපට වැඩියෙන්ම එකඟ විය හැකි ආගමක්ය.

බෞද්ධයකු නොවුනද, සිද්ධාර්ථ ගෞතම නැමති මනුෂ්‍යත්වයෙන් උසස් ගුන පිරි මිනිසා බොහෝ දෙනා කියන ආකාරයට “බුද්ධත්වය” නම් තත්වයට පත් වුනාය යන කියමන මත පිහිටා බැලුවොත් , බුද්ධත්වය කියා කියන තත්වයක් ගැනද සිහියට පෑමිනේ.

සාමාන්‍ය සිතීමට අනුව නම්, සිද්ධාර්ථ ගෞතම යනු මම, ඔබ වැනි ම මිනිසෙකි. මිනිසා සිතීමේ හැකියාව ලැබූ දා පටන් තමන් ජීවත් වන ලෝකයේ ස්වභාවයත්, තමන්ගේ පැවැත්මේ අර්ථයත් තේරුම් ගැනීමට ගත් උත්සාහයේ සන්ධිස්ථානයක් සටහන් කල තවත් එක් පුද්ගලයෙකි.

ඔහුත්, තව බොහෝ චින්තකයන් සේම, මනුෂ්‍යය සංහතියට යමක් දායාද කල යුග පුරුෂයෙකි. ඔහුගේ ඉගැන්වීම් සමඟ අපට එකඟ නොවන්නට තැනක් නැති තරම්ය.

කිසිම පුද්ගලයෙකුට තනිව හෝ කිසිම ආගමික ග්‍රන්ථයකට තනිව හෝ පැහැදිළි කිරීමට තරම් අප ජීවත් වන විශ්වය හා අපගේ පැවැත්ම යන කාරණා සරළ නැත.

මනුස්ස සංහතියට ඇති විනාශ වී යාමට එරෙහිව කාටවත් පිළිතුරු හරි ආකාරව වටහාගැනීමට බැරි බව අපි දනිමු.

ලොව්තුරා බුදුන් වහන්සේ සහ එවැනි තවත් බොහෝ චින්තකයන් කලේ ඔවුන් උපන් සමාජයන් වල, සංස්කෘතීන් වල එකල පාරම්පරිකව ආරක්ෂා වෙමින් පැවතුනු විශ්වාස, මතවාද, ආකල්ප වලට අභියෝග කරමින්, ලෝක දැක්මක් නිර්මාණය කරගැන්මට උත්සාහ කිරීමයි. සම්ප්‍රදාය මත යැපෙන නිවට වහලුන් සේ ක්‍රියා කරනවා වෙනුවට ඔවුහු ස්වාධීන පුද්ගලයෝ වූහ. ගඟ ගලනා අතට පහසුවෙන් පීනා යාම වෙනුවට, අපහසුවෙන් තනිවම උඩුගං බලා පීනීම තෝරාගත් යුග පුරුෂයන් වූහ.

අපත් කල යුත්තේ ඔවුන්ගේ දැක්මහා ක්‍රමය අනුගමනය කිරීම තුල එහි ඇති සත්‍යය අත් දකිමින් නිවැරදි මාවතක් සොයනු මිස , අපේ සම්ප්‍රදාය කොටසක් කරගෙන අන්ධයන් සේ ඒවා රැකීම නොවේ…

තමන් කිසිවක් නොදන්නා බවින් ඇරඹුම සනිටුහන් වන්නේ නම්..
දෙවනුව, තමන්ට කිසිවක් ගැන සියයට සියයක් නිශ්චිත විය නොහැකි බව සිතන්නට පෙලඹෙයි.
තෙවනුව, මනුෂ්‍යයකු වීමට නම් සම්ප්‍රදායෙන් සහ සංස්කෘතියෙන් තමන්ට උගන්වනු ලැබූ සියලූම දේ බැහැර කොට, එකින් එක ප්‍රශ්න කරමින් තම ලෝක දැක්ම අලුතෙන් ගොඬනඟා ගත යුතු බව කල්පනා කරයි.
සිව්වනුව, ඒ කාර්යය කිරීමේදී තමන්ට මුහුණ දීමට සිටින ලොකුම ප්‍රතිවාදියා හෙවත් තමා ඉදිරියේ ඇති විශාලතම බාධකය ලෙස වෙන කවුරුත් කිසිවක් නොව “මම” ම බව වටහා ගනී.

මේ නිසාම,මෙතුවක් කාලයකට තමා තේරුම් ගෙන ඇති දේ අනුව, මගේ චින්තනය හැඩගස්වා ගැනීමට තෝරාගෙන ඇති මේ ක්‍රමය පිලිබඳවඔබ විශ්වාස තබයි.

සාම්ප්‍රදාය රැකීම ප්‍රතික්ෂේප කරයි. කෙනෙකු සාම්ප්‍රදාය රැකීම සාධාරණ වන්නේද, සහේතුක වන්නේද ඒ කෙනා සියල්ල සර්ව සම්පූර්ණ යුටෝපියාවක ජීවත් වේ නම් පමණි. මම උපන් ලෝකය, සමාජය, සංස්කෘතිය මම උපන් ආකාරයට වඩා දශමයකින් හෝ වඩා හොඳ තැනක් කරන්නේ කෙසේද කියා කල්පනා කිරීම මිස, මා උපන් ආකාරයටම එය අනාගත පරපුරට උරුම කර දීමේ අරමුණක් ඔබ තුලින් පහල කල යුතුද නැත.

සැමටම යෝජනා කරන්නේ කිසිම මතවාදයක, වහලෙකු නොවන ලෙසය. කිසිම මතවාදීමය සංකේතයක් නොපළඳින ලෙසය. කිසිම කණ්ඩායම් නාමයක් සමඟ හැඟීම් බරව නොබැඳෙන ලෙසය. එසේ කරන්නා ඔහුට නොදැනීම ඔහු බැඳෙන කුමක් හෝ ඒ දෙය මඟින් මෙහෙයවනු ලබන අන්ධයෙක්, නැත්නම් සිත් පිත් නැති රොබෝ කෙනෙක් බවට පත් වීමට ඉතා විශාල ඉඩක් ඇත.

ලෝක දැක්මක් යනු කඩේකට ගොහින් ඇඳුමක් තෝරාගන්නවා සේ මුළුමනින්ම තෝරා ගැනීමට හැකි දෙයක් නොවේ. ලෝක දැක්ම “පැකේජ්” තෝරාගෙන, මේක මට හොඳා, මේකෙ ඔක්කොම හරි, කියා අදහා ගැනීම තනිව සිතන්නට බුද්ධියක් නැති කම්මැලි, මන්ද බුද්ධික ක්‍රියාවකි.

තමන්ගේ ලෝක දැක්ම තමන්ගේ විය යුතුය. එය තමන් විසින් පියවරෙන් පියවර ගොඬනඟා ගන්නා ලද එකක් විය යුතුය. තමන් විසින් සාදා ගන්නා ඒ ලෝක දැක්ම තුළ තමන්ට අසන්නට ලැබෙන, කියවන්නට ලැබෙන සිද්ධාර්ථ ගෞතමගේ අදහස් තිබිය හැක. ජේසුස් ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම් තිබිය හැක. ඇරිස්ටෝටල්, ප්ලේටෝ, නිට්ෂේගේ අදහස් තිබිය හැකිය. තම පියාගේ මවගේ අදහස් තිබිය හැකිය.

මේ සියල්ලෙන්, තමා උපන්දා සිට ඇසූ දුටු දේවල් වලින් තමන්ගේම ලෝක දැක්මක් සාදා ගැනීම හැම “බුද්ධියක් ඇති මිනිසෙකුගේම” අනිවාර්ය අංගයක් බව විශ්වාස කරන්න.

එසේම, යම් මොහොතක තමන් දරනා අදහස්, මතවාද වලට විරුද්ධ තොරතුරු, සාක්ෂි වලට විවෘත වීමත්, තමන් සිටිනා තැන වැරදි බව දුටු විගස කිසිදු පැකිලීමකින් තොරව ගිනියම් වූ යකඩයකින් අත ගන්නවා සේ එසැනින් තමන්ගේ අදහස් අතහැර දැමීමත් බුද්ධිමත් මනුෂ්‍යයකු වීමට අවැසි ප්‍රධානම ගති ලක්ෂණයක් බවට සිත පුහුණු කරන්න.

අදහස් වෙනස් කර නොගන්නා පුද්ගලයා සහ ඇවිදින මළමිනියක් අතර වෙනසක් නැත.

තමා ජීවත් වන යථාර්තය ගැන හෝ ජීවිතය ගැන ප්‍රශ්නයක් ආ කල, දුවගෙන දුවගෙන ගොස් ගෙදර මේසය උඩ ඇති තමන්ගේ දෙමව්පියන්ගෙන් උරුම වූ ආගමික ග්‍රන්ථයේ ඇති පිළිතුර ඇද බානා බුද්ධිමය අලසයෙකුගෙන් කුමන නම් පලක් ඇත්ද? ඒ කොයි තරම් පහසු, කම්මැලි, මෝඩ ක්‍රමයක්ද?

ඔබ කවදා හෝ කිසියම් හෝ චින්තකයෙකු සමඟ ආදරයෙන් වෙළෙයි නම්, ඔහුගේ ඉගැන්වීම් සියයට සියයක් තමන් විසින් පිළිගන්නවා යැයි සිතයි නම්, ඒ දිනය ඔබගේ බුද්ධිමය සියදිවිනසාගැනීම සනිටුහන් වන දිනයයි. මිනිස් ඉතිහාසය පුරා ජීවත් වූ කිසිම මනුෂ්‍යයෙකු සර්ව සම්පූර්ණ නැත. කිසිදු මනුෂ්‍යයයෙක් සම්පුර්ණයෙන් තාර්කික නැත. කිසිදු මනුෂ්‍යයයෙකු චින්තනයේදී “නිදහස්” නැත.

සිද්ධාර්ථ ගෞතම හෝ ජේසුස් ක්‍රිස්තුස් හෝ වෙනයම් දාර්ශනිකයෙකු හෝ කවුරුන් හෝ, යමක් ගැන නිවැරදි බව දුටු විට ඔහුව අගය කරනවා සේම, යමක් ගැන වැරදි බව දුටු විට එය ප්‍රතික්ෂේප කිරීමෙන් ඔබගේ ජීවිතයට යහපත් බලපෑමක් ඇති කල ඒ මනුෂ්‍යයා මෝඩයෙකු බව නොකියවේ. ඉන් කියවෙන්නේ ඔහුද ඔබ මෙන්ම මනුෂ්‍යයකු බවයි. ඔහුත්, ඔබ මෙන්ම මනුෂ්‍යයකු වී, ඔබ තරම්ම අපහසුවෙන්, මහන්සි වී මේ ලෝකය හා ජීවිතය තේරුම් ගැනීමට උත්සාහ කලා නම්, එය කොපමණ නම් උතුම් ව්‍යායාමයක්ද? එහි උතුම් බව ඇත්තේම, ඔහු ඔබ මෙන්ම සාමාන්‍යය මනුෂ්‍යයකු වීම නිසාම නොවේද?

මනුෂ්‍යයකු, මනුෂ්‍යයකු වීමට නම්, චින්තකයන්ට ආදරය කිරීමෙන් හා සාම්ප්‍රදාය රැකීමේ උන්මාදයෙන් මිදීමද,සත්‍ය ගරු කිරීමද, තමන්ගේ ප්‍රධානම කාර්‍යන් බව තේරුම් ගැනීමද අනිවාර්ය බව සිතීම වැදගත් ය.

ගඟ යන අතට ගහගෙන යාමට දර කොටයකට වුවද හැකිය. නමුත් උඩුගං බලා පීනීමට හැක්කේ පණ ගැහෙනා මනුෂ්‍යයකුට පමණි.

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X