Temples of Sri Lanka

සිතේ ඒකාග්‍රතාවය ඉතා වැදගත්

සමාධිය හෙවත් ඒකාග්‍රතාවය යනු කුසල විතර්ක මත සිත මනා ව පිහිටුවා ගැනීමේ අවස්ථාවයි. මෙකී සමාධිය අකුසල සමාධි, කුසල සමාධි වශයෙන් දෙයාකාර වේ. අකූසල විතර්කය මත එනම් ලෝභ, ද්වේශ, මෝහ යන මූලයන්ගේ මූලිකත්වයෙන් උපදින සෑම අකුසල් සිතක් පාසා උපදින ඒකාග්‍රතාවය අකුසල සමාධියයි.

මෙකී අකුසල් සමාධිය පංචනීවරණ උපක්ලේශයන්ගේ ස්ථිර පැවැත්මට හේතුවකි. කුසල සමාධි යනු අලෝභ, අද්වේශ, අමෝහ, යන මුලයන්ගේ මූලිකත්වයෙන් උපදින කුසල් විපාක ක්‍රියා යන සෑම සිතක් පාසා හටගන්නා ඒකාග්‍රතා අතරින් කුසල් සිත් සමග උපදින ඒකාග්‍රතාවයයි.

මෙකී කුසල සමාධි, කාමාවචර සමාධි, රූපාවචර සමාධි, අරූපාවචර සමාධි, ලෝකෝත්තර සමාධි වශයෙන් සතර ආකාර වේ.

I කාමාවචර සමාධිය: කාමාවචර භූමියෙහි පවත්නා කාම ශෝභන කුසල් සිත් අට සමග උපදින ඒකාග්‍රතාවය කාමාවචර කුසල සමාධියයි.

II රූපාවචර සමාධිය: රූපාවචර භූමියෙහි පවත්නා කුසල ධ්‍යාන සිත් හතරෙහි උපදින ඒකාග්‍රතාව රූපාවචර සමාධියයි.

III අරූපාවචර සමාධිය: අරූපාවචර භූමියෙහි පවත්නා කුසල ධ්‍යාන සිත් හතරෙහි උපදින ඒකාග්‍රතාවය අරූපාවචර සමාධියයි.

IV ලෝකෝත්තර සමාධිය

ලෝකෝත්තර භූමියෙහි වූ ලෝකෝත්තර කුසල් සිත්හි උපදිනා ඒකාග්‍රතාවය ලෝකෝත්තර සමාධියයි. මෙකී සමාධීන් හා සමාධීන්හි ලක්ෂණ ධම්මසංගණි ප්‍රකරණයේ දී බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක.

“චිත්තස්ස ඨිති, සණ්ඨිති, අවට්ඨිති, අවිසාහාරො, අවික්ඛෙපො, අවිසාහටමානසතා, සමථො, සමාධින්‍ද්‍රිය, සමාධිබලං සම්මා සමාධි”

චිත්තස්ස ඨිති: කුසලාරම්මණයෙහි සිත නො සැලී පවත්නා ස්වභාවය ඨිති ලක්ෂණයෙහි යුක්ත වූ සමාධියයි.
සණ්ඨිති: කුසල් සිත සමග එකට උපදින සියලු පරමාර්ථ ධර්මයන් කුසලාරම්මණය තුළ ම මනා ව පිඬු කොට පිහිටීමේ ස්වභාවය සණ්ඨිති ලක්ෂණයෙන් යුක්ත වූ සමාධියයි.
අවට්ඨිති: කුසලාරම්මණයෙහි සිත බහුල වශයෙන් බොහෝ වේලාවක් නො සැලී පවත්නා ස්වභාවය අවට්ඨිති ලක්ෂණයෙන් යුක්ත වූ සමාධියයි. කුසලාරම්මණයට බැසගෙන නැවත නැවත එම අරමුණට පිවිසෙමින් ඒ තුළ මනා ව පවත්නා ස්වභාවය එනම් ශ්‍රද්ධා, සති, සමාධි, ප්‍රඥා යන ධර්මතා හතරින් ම මනා ව කුසලාරම්මණයෙහි එල්ලී පැවතීමයි. දෙගොඩ තලා ගලා බසිනා සැඩ පහරක් දෙබෑ කරගෙන ගමන් ගන්නා වීර පුරුෂයෙකු සේ කුසල සමාධියට බාධා කරන අකුසල විතර්කයන් දෙබෑ කරමින් ඒ කුසලාරම්මණයට පිවිසීමේ චිත්ත ප්‍රසාදය ශ්‍රද්ධාවයි. කුසල විතර්කය මත මනා ව සිහිය පිහිටුවාගැනීම සතියයි. ඒ කුසලාරම්මණයෙහි ම සිත එකඟ කරගැනීම සමාධියයි.
තණ්හා, දිට්ඨි, අවිජ්ජා යන ක්ලේශයන් යටපත් කර කුසලාරම්මණය තුළට නුවණින් පිවිසීම ප්‍රඥාවයි. මෙකී ධර්මතා හතරින් කුසලාරම්මණයට පිවිසීම අවට්ඨිති ලක්ෂණයෙන් යුක්ත වූ සමාධියයි.

අවිසාහාරො: උද්ධච්ච, විචිකිච්ඡා ස්වභාවයෙන් ප්‍රතිපක්ෂ වූ සමාධි ලක්ෂණය අවිසාහාරයි.
අවික්ඛෙපො: උද්ධච්ච, විචිකිච්ඡා සහගත ස්වභාවයෙන් අතමිදුණු සමාධිය අවික්ඛෙප සමාධියයි.
අවිසාහටමානසතා: සෑම අරමුණක ම සිත විසිරී පවත්නා ස්වභාවය උද්ධච්ච ලක්ෂණයෙන් ද, වැඩෙන සමාධිය ගැන සැක උපදවා ගැනීමේ විචිකිච්ඡා ලක්ෂණයෙන් ද යන දෙයාකාරයෙන් ම ඔබිනොබ දුවන පනින සිතින් බැහැර වූ සමාධිය අවිසාහටමානසතා සමාධියයි. අළු ගොඩකට ගලක් ගැසීමේ දී අළු විසිරී යන්නාක් මෙන් ද ගසක් මුදුනේ බඳින ලද ධජයක් සුළඟින් නිරතූරු ව ලෙලදෙන්නාක් මෙන් ද සිතේ විසිරී පවත්නා ස්වභාවය උදධච්ච ලක්ෂණයයි. මිරිඟුවකට මංමුළා වන්නා සේ නිරන්තරයෙන් වැඩෙන සමාධි ගුණය කෙරෙහි අවිද්‍යාවෙන් මුළාවට පත් ව එය තණ්හා, දිට්ඨි වශයෙන් ග්‍රහණය කර ගැනීම නිසා ඒ තුළ සැක සාංකා ඉපදවීමේ ස්වභාවය විචිකිච්ඡාවයි. මෙකී ලක්ෂණයෙන් බැහැර ව වැඩෙන සමාධිය අවිසාහටමානසතා සමාධියයි.
සමථො: පක්‍ද්චනීවරණ ධර්මයන් සංසිඳවීම, මනා ව සංසිඳවීම හෙවත් පරිකර්ම වශයෙන්, උපචාර වශයෙන්, අර්පණා වශයෙන් හා අෂ්ටසමාපත්ති වශයෙන් සිතේ ඇති වන ඒකාග්‍රතාව සමථ සමාධියයි.

සමථ භාවනාවට අනුව ඒ ඒ කර්මස්ථානයන්ට අනුකූල ව මෙකී පරිකර්ම සමාධිය විවිධාකාරයෙන් ප්‍රකට වේ.

උපචාර සමාධිය: පරිකර්ම සමාධියෙන් බලසම්පන්න වූ යෝගාවචරයා ඒ පරිකර්ම සමාධිය පැය දෙක, තුන දක්වා වැඩීම හේතු කරගෙන ආලෝක නිමිති සහිත ව උපදින බලවත් සමාධිය උපචාර සමාධියයි. මෙකී සමාධිය කාම ශෝභන කුසල් සිත් සමග උපදී. විශේෂයෙන් ම උපචාර සමාධියේ දී සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත වීමත්, විතර්ක, විචාර ආදි ධ්‍යානාංග ප්‍රකට වීමත් යෝගාවචරයාට නුවණින් දැකිය හැකි ය.

අර්පණා සමාධිය: උපචාර සමාධිය වශයෙන් වැඩුණු සිත තව තවත් පැය ගණන් වශී කිරීම හේතු කරගෙන ලැබුණු සමාධි ආලෝකය හෙවත් පටිභාග නිමිත්ත උපකාරයෙන් ධ්‍යානාංගයන් ගෙන් මනා ව ප්‍රකට වන අර්පණා සමාධිය යෝගාවචරයාට නුවණින් දැකිය හැකි ය. මෙකී අර්පණා සමාධිය රූපාවචර අර්පණා, අරූපාවචර අර්පණා, ලෝකෝත්තර අර්පණා වශයෙන් තුන් ආකාර වේ. රූපාවචර කුශල වශයෙන් ඒ ඒ භාවනා අරමුණුවලින් උපදින ප්‍රථම ධ්‍යාන, දුතියධ්‍යාන ආදි ධ්‍යානයන් රූපාවචර අර්පණා නම් වේ. ආකාශ කසිණය හැර සෙසු කසිණ අරමුණකින් පරිකර්ම උපචාර වශයෙන් සමාධිගත කරගත් යෝගාවචර තෙමේ රූපාවචර අර්පණා සමාධිය උපදවා ඉන් අනතුරු ව රූපයේ ආදීනව දකිමින් අරූපයේ ආනිශංස ප්‍රත්‍යවේක්ෂාවෙන් ආකාසානඤ්චායතන ආදී ධ්‍යානයන් උපදවාගැනීම අරූපාවචර අර්පණා නම් වේ.

සමථ වශයෙන්, විපස්සනා වශයෙන් හෝ සුද්ධ විපස්සනායානික වශයෙන් සිත දියුණු කරගත් යෝගාවචර තෙමේ සෝළස විපස්සනා ඤාණයන්ගේ කෙළවර උපදවා ගන්නා සෝතාපත්ති මාර්ග ආදි මාර්ග සමාධීන් ලෝකෝත්තර අර්පණාවයි.

එසේ අර්ථ රසයත් ධර්ම රසයත් වැඩෙන යෝගාවචරයාගේ සන්තානය තුළ තරුණ ප්‍රීතිය හටගනී. එසේ හටගත් තරුණ ප්‍රීතිය මුහුකුරා යෑමෙන් ශරීරය පුරා විහිදී යන ඵරණ ප්‍රීති, උද්වෙගා ප්‍රීති අහසට ඔසවන්නාක් මෙන් ඇති වන්නා වූ ප්‍රීතිය “පීති ජායති” නම් වේ. එසේ නාම කය තුළ හටගන්නා ප්‍රීතිය ශරීරය පුරා පැතිරී යෑමෙන් ඇති වූ පස්සද්ධි රසය “කායො පස්සම්භති” නම් වේ. අඛණ්ඩ ව පහළ වූ ප්‍රීතිය සෝමනස්ස සහගත කුසල් සිත් පරම්පරාවන් නිසා නාම කයේ සංසිඳීමත් එකී චින්තනයන්ගේ බලයෙන් උපදනා චිත්තජ රූපයන් ශරීරය පුරා පැතිරී යෑම හේතුවෙන් රූප කයේ පස්සද්ධිය ද යන සැහැල්ලු බව “පස්සද්ධ කායෝ හෝති” නම් වේ. මෙසේ වැඩෙන පස්සද්ධිය හේතු කරගෙන මානසික සුවය සහ කායික සුවය හෙවත් සැප වේදනාව “සුඛං වේදියති” නම් වේ. එකී සැප වේදනාව බහුල වශයෙන් ප්‍රගුණ කිරීම හේතුවෙන් ඇති වන ඒකාග්‍රතා බලය “සමාධි” නම් වේ.

සමාධිය දියුණු කිරීමට උපකාරක ධර්ම
වත්‍ථු විසද කිරියතා 2. ඉන්‍ද්‍රිය සමත්තපටිපාදනතා 3. නිමිත්ත කුසලතා 4. සමයෙ චිත්තස්ස පග්ගණ්හනතා 5. සමයෙ චිත්තස්ස නිග්ගණ්හනතා 6. සමයෙ චිත්තස්ස සම්පහංසනතා 7. සමයෙ අජ්ඣුපෙක්ඛණතා 8. අසමාහිත පුග්ගල පරිවජ්ජනතා 9. සමාහිත පුග්ගල සේවනතා 10. ධ්‍යානවිමොක්ඛ පච්චවෙක්ඛණතා 11. තදධිමුත්තතා
වත්‍ථු විසද කිරියතා
සමාධිය දියුණු කිරීමට කැමැති

යෝගාවචර තෙමේ ආධ්‍යාත්මික හා බාහිර වස්තුන් කෙරෙහි පිරිසිදු භාවය පළමුව ඇති කර ගත යුතු ය.

සමයෙ චිත්තස්ස නිග්ගණ්හනතාසිත දුබල වන කල්හි එයට නිගරු කරමින් ඒ ඒ අවස්ථාවන්හි චිත්ත බලය පිහිටුවා ගැනීමයි.
යෝගාවචර තෙමේ භාවනා පුහුණුව ලබන කල්හි රාග, ද්වේශ ආදී ලාමක ක්ලේශ ධර්මයන් ගෙන් භාවනා අරමුණ දුබල කරන මොහොතේ දී සිත දුබල බව ඇති කරන ඒ අකුසලයන් හඳුනාගෙන ඒවාට නිගරු කරමින් සසර භය, ක්ලේශයන්ගේ භය, ආදීනව සිහි කොට සිත නැවත නැවත භාවනා අරමුණෙහි පිහිටුවා ගැනීම සමාධි භාවනාවට උපකාරක ධර්මයකි.

සමයෙ චිත්තස්ස සම්පහංසනතා
සතුටු කළ යුතු අවස්ථාවන්හි දී සිත සතුටු කරවන බවයි. භාවනාවට බැසගත් යෝගාවචර තෙමේ සෑම භාවනා ආසනයක් අවසානයේ දී ම ඒ භාවනාව තුළින් ලැබූ සතුට හා ආනිසංස හඳුනාගෙන සිත නැවත නැවත සතුටු කරවමින් ඉදිරියට රැගෙන යෑම කළ යුතුයි. එසේ කිරීමත් සමාධියට උපකාරක ධර්මයකි.

සමයෙ අජ්ඣුපෙක්ඛණතා
සමව පවත්නා කල්හි සිත මධ්‍යස්ථ වන බවයි. මනා ව අරමුණෙහි සිත පිහිටුවා ගත් විට එය හැකිළීමක් හෝ වික්‍ෂේප බවක් හෝ ආශ්වාද සහිත බවක් හෝ යන භාවනාවට බාධා කරන සිතිවිලිවලින් බැහැර ව එම අරමුණෙහි ම සිත ශාන්ත ව එක දිගට පවත්වාගෙන යෑමයි. සමාධිය වැඩෙන අවස්ථාවේ දී හා වැඩීමෙන් අනතුරුවත් ඒ සමාධිය තුළ ම බැසගෙන එක දිගට එහි පැය ගණන් සිත පිහිටුවා ගැනීම සමාධියට උපකාරක ධර්මයකි.

අසමාහිත පුග්ගල පරිවජ්ජනතා
භාවනාවට අකැමැති, සමාධි ගුණයට අකැමැති සමාධිගුණයක් නො වඩන, සමාධියට නිග්‍රහ, අවමන් කරන, වැඩෙන සමාධියට බාධා කරන පුද්ගලයන්ගේ ඇසුරින් බැහැර කිරීම සමාධියට තවත් උපකාරක ධර්මයකි.

සමාහිත පුග්ගල සේවනතා
භාවනාවට කැමැති, සමාධි ගුණයට කැමැති, සමාධි ගුණයන් වඩනා සමාධි ගුණය ගැන වර්ණනා කරන, වැඩෙන සමාධියට උපකාර කරන පුද්ගලයන් ඇසුරු කිරීම සමාධියට තවත් උපකාරක ධර්මයකි.

ඣාන විමොක්ඛ පච්චවෙක්ඛණතා
ධ්‍යාන මාර්ග ඵල ධර්මයන් ප්‍රත්‍යවේක්ෂා කරන බවයි. ගැඹුරු සමාධිය උපදවා ගත් ධ්‍යාන, මාර්ග ඵල ඔබට ඇත්තේ නම් විශේෂයෙන් ම ධ්‍යාන ගුණයන්හි මනාව ප්‍රගුණ බවක්, වශී බවක් හදාගත් යෝගාවචර තෙමේ නිරන්තරයෙන් ම එකී ධ්‍යානයන්ට සමවැදී සමවතින් නැඟී සිටීම නිතර නිතර පුහුණු කළ යුතුයි. මෙය සමාධිය දියුණු කරගැනීමට තවත් උපකාරක ධර්මයකි.

තදධිමුත්තතා
සමාධිය දියුණු කරගැනීමට බැසගත්, දියුණු කර ගත් සිතක් ඇති බව සමාධියට තවත් උපකාරක ධර්මයකි.

මේ දහම් කරුණු ඔබගේ සිත් තුළ වැඩේවා….🙏

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X