Temples of Sri Lanka

සුගතියට යන්න මහා දේවල් ඕනෙ නෑ

බොහෝ ඈත අතීතයේ ඉඳන්ම පැවතගෙන එන ඉතා පැරණි සිරිතක් තමයි අතුපතු ගෑම. තමාගේ කය පිරිසිදු කම වගේම තමා වෙසෙන නිවස හා අවට පරිසරය පිරිසිදු කමත් තමන්ගේ ජීවිතයට බොහෝ සේ බලපෑම් ඇති කරනවා.

 

 

වාසය කරන පිරිස නොයෙක් ලෙඩ දුක් වලට මුහුණ පාන පරිසරය අවලස්සන වීම දෙවිවරුන්ගේ ද ඇති නො ඇල්ම මානසිකව ලැබෙන නොසතුට ආදී නොයෙකුත් පාඩු අතුපතු නො ගෑමෙන් සිදු වෙනවා.

ඉතා යහපත් පුණ්‍යභූමි වල වාසය කරන පැවිදි උතුමන් හා තම ජීවිතයේ යහපත පිරිසිදුකම පිළිබඳව හිතන ජනතාවද දවස ආරම්භ වන හිමිදිරිය දවස නිමා වන හවස් කාලයේත් පුරුද්දක් විදිහට දවසට දෙවරක් තමා වෙසෙන තැන පිරිසිදු කිරීම කරනවා

හොඳ සිරිතක් එහෙත් මේ ලෝකයේ බොහෝ දෙනෙකු තුළ අතුගෑම පිළිබඳව සිතේ උපන් කිසිම සතුටක් නැහැ.

එවන් උදවිය අතුපතු ගාන්නේ ලෝකයාගෙන් තමා වෙත එන අපවාද ගැරහීම් අවශ්‍යතාවය ආදී ගැන සිතා මිසක ඒ තමන්ට ලාභයක් යැයි සිතාගෙන නොවෙයි.

 

 

මේ දේවල් වල වටිනාකම මනාව දැන සිටි අපේ වැඩිහිටියන් තම බාල මුණුපුරන්ට ආඩම්බරයෙන් යුතුව පෙන්වා දුන්නේ තමා සිටින තැන ඉතා හොඳින් අතුපතු ගා පිරිසිදුව තබා ගන්නා විට ඒ පවුල්වල සතුට සමගිය යහපත් වූ දියුණුව සැලසෙන බවයි.

මේ මොන තරම් සත්‍යයක් ද කියලා වැටහෙන්නේ අපගේ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය ඉගෙන ගන්නා විටයි.

අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාළ උතුම් සද්ධර්මය කොටසක් ඇතුළත් පරිවාර පාලියෙහි කරුණු පහ බැගින් වු කොටස් දෙකක් අතුගෑමෙන් ලැබෙන ආනිශංස ලෙස දක්වලා තිබෙනවා එම කරුණු මෙසේයි….

 

 

තමා සතුටු වෙනවා, දකින අනුන් සතුටු වෙනවා, දෙවිවරුන් සතුටු වෙනවා තමා ලස්සන වන පුණ්‍ය කර්ම රැස් වෙනවා, මරණින් මතු සුගතියේ උපදිනවා, එහි දැක්වෙන අනිත් කරුණු පහ පහත විදිහටයි…

තමා සතුටු වෙනවා, දකින අනුන් සතුටු වෙනවා, දෙවිවරුන් සතුටු වෙනවා, බාල පරපුර එය දැක පුරුදු වෙනවා,ශාස්තෘන් වහන්සේගේ අනුශාසනාව කරන්නෙක් බවට පත්වෙනවා…

මේ ආකාරයට අපගේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමා අධ්‍යාත්මික හා බාහිර පිරිසිදු කම ගැනත් තමා තුළ තිබිය යුතු ගුණ ධර්ම ගැනත් ඒවා තමාටත් අන් ලෝකයාටත් බලපාන අයුරුත් අපට පෙන්වා දෙන්නේ විෂ්මිත ආකාරයෙන්.

 

මේ කරුණු ගැන යම් පිරිසක් මෙලෙසින්ම දන්නේ නම් පිරිසිදු කිරීම ගැන බොහෝ තැන්වල උදේ හවස හටගන්නා අර්බුදකාරී ස්වභාවයන් ද පහව යනවා.

 

වර්තමානයේ බොහෝ පුණ්‍ය භූමි වලත් හිමිදිරියෙම අවදිව සියලු තැන් අමදින්නේ වැඩහිටි ස්වාමීන් වහන්සේලා …බොහෝ නිවෙස්වල උදේම අවදිවෙලා ඇමදීම ද කොට අන් සියලු ගෙදරදොර කටයුතු කරන්නේ අහිංසක අම්මා… මෙයට හේතුව කුමක්දැයි විමසා බලන කෙනෙකුට හොඳින්ම වැටහෙන කරුණක් වන්නේ අපගේ ශාස්තෘන් වහන්සේ පෙන්වා වදාළ මෙම උතුම් කරුණු නොදන්නා පිරිසක් වර්තමානයේ බහුල ලෙස වාසය කරන බවයි .

 

පිරිසිදු කිරීම් ආදී නොයෙක් කටයුතු සඳහා අපගේ භාග්‍යවතුන් වහන්සේ ඉතා ලස්සන වචනයක් දහමෙහි පෙන්වා දීලා තියෙනවා …එනම් “වත පිළිවෙත” යන්නයි.

 

වත් පිළිවෙත් හරියට පුරන්නේ නැති කෙනාගෙ සීලය පරිපූර්ණ නොවේ .

සිල් පිරිසිදු නැති මෝඩ කෙනා දුකින් අත්මිදෙන්නේ නැහැ. එනම් වත්පිළිවෙත් යනු සෘජුවම නිවනට බලපාන දෙයක්.

පාලියෙන් වත්තං යන වචනයට සිංහලට හැරවෙන්නේ කලයුතු දෙය යනුවෙන් ..

නිවසක යම් සියලු දෙනා කල් වේලා ඇතිව අවදි වීම ඉතා වටිනා දෙයක්. එය දියුණුව කැමති අයට ඉතා ප්‍රයෝජනවත්. මෙහිදී විශේෂයෙන් සැලකිය යුතු කාරණයක් වන්නේ ඕනෑම නිවසක බිරිඳට මවට බොහෝ කටයුතු තිබෙනවා. ඒ නිසා අපගේ දහමට අනුව කල් වේලා ඇතිව අවදි වීම තම පවුලේ දියුණුවට සෘජුවම බල පෑමක් ඇති කරනවා.

 

එසේම පාසල් යන දරුවන්, රැකියාවක් කරන්නන්, විවාහක කාන්තා පිරිමි කවුරුවත් කවුරුන් වුවත් තමාගේ පෞද්ගලික බොහෝ කටයුතු තමා විසින්ම නිසි ලෙස පිළිවෙළකට කරගැනීම තමාගේත් අන් අයගේ පහසුව පිණිස දියුණුව පිණිස හේතු වෙනවා .

නිවසක බිරිඳ යම් රැකියාවක් යම් කටයුත්තක් සඳහා නිවසින් බැහැර යනවා වුවද ,නොවූවද ආදරණීය තම ස්වාමියා නිවසින් බැහැර යන සෑම අවස්ථාවන්හිදී රාත්‍රියේ නින්දට යන්න පෙර ඉතා ගෞරවයෙන් යුතුව වන්දනා කිරීම පවුලේ සමගියට ආදරය රැක ගැනීමට මනා පිටුවහලක් වේ .පැරණි බෞද්ධ සිරිත් විරිත් එසේම දරුදැරියන් ද මේ අයුරින් උදේ හවස මවුපියන්ට වන්දනා කිරීමට උනන්දු කරවිය යුතුයි.

 

මේ වටිනා පැරණි සුසිරිත් වර්තමාන සමාජය පිළිකුලෙන් යුතුව බැහැර කිරීම නිසා එහි විපාක තදින්ම විඳිනා බොහෝ අය අපට මේ සමාජය තුළ ඕනෑතරම් දැක ගන්නට පුළුවන්.

මේවාද මේ වත් පිළිවෙත් වලට ම අයත් කාරණා වෙනවා

වර්තමානයේ පුන්‍ය භූමියකට ගියහම ඉඳලක් කොස්සක් අතට අරගෙන එම පුණ්‍ය භූමිය ගෞරවයෙන් යුතුව පින සලකා අතුපතු ගාන කෙනෙකු දැකීම කොතරම් දුර්ලභද..

 

ඉදලක් කොස්සක් නැතිව වුවත් පින් බිමකට ගිය විට එහි තැන තැන වැටී ඇති බෝපත් වෙනත් අපද්‍රව්‍ය බැහැර කිරීමෙන් ඉතා විශාල පිනක් සිදුකර ගත හැකි බව දන්නේ කීයෙන් කී දෙනාද…

ඇත්තෙන්ම බොහෝ දෙනා පින් කරගන්න කියා වන්දනාවේ යෙදී ඇතත් බොහෝ තැන් වල පින් අතහැර බොහෝ මුදල්ද වැය කරමින් යන ගමනේ අකුසල් ම රැස් කරනවා ..

එයට හේතුව වත්පිළිවෙත් නොදන්නා කමයි .

පින් බිමකින් රැස් කරගත යුතුව ඇත්තේ පින් නොවේද ? එසේ තිබියදී පින් බිමකින් පව් රැස් කර ගැනීම මොන තරම් අනුවන කමක්ද? කිසිම වියදමක් නැතිව පින් දහම් රැස්කර ගත හැකිව තිබියදීත් නුවණ නොමැතිකමින් ඇතැම් අය පෙර කී අයුරින් කොතරම් පව් රැස් කර ගන්නවාද? යහපත් දේවල් වලින් ඉතා දරුණු ලෙස පිරිහී ගිය ලෝකයේ අද අපට ඉතා දුකසේ දිවි ගෙවන්නට සිදු වෙලා තියෙනවා.

 

තමාගේ මරණයෙන් පසු සුගතියක උපත කරා තමා යන බව දන්නා කෙනෙකු සොයා ගැනීම මොනතරම් දුෂ්කරයි ද ?

එනිසා මෙය උතුම් කරුණු සිත්හි තබා ගනිමින් වත් පිළිවෙත් මනාකොට සිදු කිරීමෙන් අප්‍රමාණ පින් පල රැස්කරගෙන සුගතිය කරා යන්නට ඒ පිනෙන් ම සසරෙන් නිදහස් වන්නට අධිෂ්ඨාන කරගන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා!!!

 

 

සහෝදරත්වයෙන් එක්වෙමු!

©️ Buddhist Brotherhood

You might also like
en English
X
X