*තිසරණය තුළ නොසෙල්වී සිටීමට උප ක්ලේශයෝ බැහැර කරමු*
මේ කරුණ දිහා අපි, අපට සාපේක්ශ වශයෙන් දකින්නට උත්සාහ කරමු .
කෙනෙක් ඉන්නවා එයා අතින් යම් වරදක් සිද්ධ වෙනවා. එයා කල්පනා කරනවා මගේ අතින් වැරැද්දක් සිද්ධ වුණා තමයි. හැබැයි අනිත් අය කවුරුත් මේක දැන ගත්තේ නැත්තං හොඳයි කියලා. ළාමක ආශාව කියන්නේ අන්න ඒ වගේ අකුසල්වලට. නමුත් එහෙම හිටියට අනිත් අය එයා අතින් සිද්ධ වෙච්ච වැරැද්ද ගැන දැන ගන්නවා. ඊට පස්සේ එයාට කේන්ති යනවා. මේ අය මගේ වරද දැන ගත්තා නේද කියලා. අන්න ඒ කේන්තියත් අමනාපයකත් තමයි උපක්ලේශයන් බවට පත් වන්නේ ….
අපි අපිම විදියට බලලා මේ කාරණාව වෙත විපරමින් බැලුවොත් අපට මෙය වටහා ගන්නට බැරි වෙන්නේ නැහැ.
දැන් මේ වගේ දේවල් අපට සිද්ද වෙන්න පුළුවන්ද? බැරිද?
සිද්ධ වෙන්න පුළුවන්. අන්න එතකොට මේ වගේ වෙලාවකට,මේවා උප ක්ලේශ කියල දන්නේ නැත්නම්, මොකද වෙන්නේ?
මේවා දුරු කරගන්න බැරුව යනවා. මේවා උපක්ලේශ කියලා දැනගන්න නම්, අපට වඩා වැදගත් වෙන්නේ වෙන්නේ මොකද්ද ?අපිට දහම් දැනුම ඕන. ඒ වගේම සිහි නුවනින් වාසය කරන්නත් ඕන. එතකොට මේ වගේ උප ක්ලේශ හටගන්න කොට අපට තේරෙනවා මගේ ළඟ උපක්ලේශයක් තියෙනවා කියලා. එතකොට එයා උපක්ලේශයට කැමති වෙන්නෙ නැහැනෙ. ඇයි ඒ උපක්ලේශයට කැමති වෙන්නෙ නැත්තෙ. එතකොට පිරිසක් අතර එයාට ලැබෙන ප්‍රියශීලි බව නැති වෙලා යන නිසා. අමනාපයක් අහිතවත් බවක් ඇති වෙන නිසා එයා උපක්ලේශය පවත්වන්න කැමති වෙන්නේ නැහැ. අන්න එයා කැමතියි දුරු කරගන්න මේක.
උපක්ලේශයක් කියලා දන්න කෙනා තමන් තුළ තියෙනවා කියලා දැන ගන්නකොට එයාට ඒ උපක්ලේෂ දුරු කර ගන්න ආසාවක් ඉපදෙනවා. මේ විදිහට දුරුකර ගන්න කැමති වෙන කෙනා ඒ සඳහා වෑයම් කරනවා. වෑයම් කරනකොට වීරිය ඉපදෙනවා. අන්න එතකොට මේ උප ක්ලේශ දුරු කරගන්න පුළුවන්කම ලැබෙනවා.
මේ උපක්ලේශයන් සිතේ තබාගෙන ජීවිතය ගත කරන තාක්කල්, අපට රාග ද්වේශ මෝහ වලින් බැට කකා සසර ගමන යන්නට සිදු වෙනවා. උපක්ලේශයන් ලෙස හඳුනාගෙන, බැහැර කරන කෙනාට අත්වන ඉරණම මොකක්ද? ඔහු අරමුණු තුළ රාගය ඇති වන ආකාරයට සුබ වශයෙන් සිහි කරන්නේ නැහැ. සුබ වශයෙන් අරමුණු සිහි කරන්නේ නැති නිසා රාගයට ඔහුගේ සිත ගිල ගන්න බැරුව යනවා. අන්න ඒ තැනැත්තා මරණයට පත්වෙන්නේ රාගය නැතුව .ද්වේශය නැතුව. මෝහය නැතුව. උපක්ලේශ නැතුව. කිලිටි සිතක් නැතිව. හිත කිලුටු වෙන ඒ උපක්ලේශ පිළිබඳ වත්ථූපම සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා දෙනවා.
මොනවාගෙන්ද සිතක් කිලුටු වන්නේ ?
තමන් සතු දේ තමා ළඟම තබා ගන්නටත් අනුන් සතු දේ තමන් සතු කර ගන්නටත් ලෝභ කම ඇති වෙනවා අන්න ඒක සිතට කිලුටක්. ද්වේශය ඇති වෙනවා අන්න ඒකත් සිතට කිලුටක්. ක්‍රෝධය ඇති වෙනවා. අන්න ඒකත් සිතට කිලුටක්. වෛර බැඳ ගැනීම ඇතිවෙනවා ඒකත් සිතට කිලුටක්. අනුන්ගේ ගුණවත් කම් මතුවෙද්දී යටපත්කොට මකලා දානවා, ඉරිසියාව ඇති වෙනව, තමන්ගෙ දෙයක් තව කෙනෙක් පාවිච්චි කරනවට අකමැතිකම, මසුරුකම ඇති වෙනවා ,ගුණවතුන් හැටියට පෙනී ඉන්නවා, කපටිකම ඇතිවෙනවා, සාධාරණ අදහස් වලට විරුද්ධව දැඩිව ඉන්නවා, තරඟයට වැඩ කරනවා, අහංකාරකමින් ඉන්නවා, අධික අහංකාරකමින් ඉන්නවා, හිතට අරගෙන ඉදිමී ගිය ස්වභාවයකින් ඉන්නවා, බාහිර කටයුතු පෙරට ගෙන ධර්මයේ හැසිරීම ප්‍රමාද කරනවා, මේ සියල්ලම සිතට කිලුටක්. මේ කිළුටු ස්වභාවය නිසාම අපට බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීම ට එන්න බැහැ. අන්න ඒ අනතුර අපි හඳුන ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ ගුණ වශයෙන් හඳුනාගන්න කැමති වෙන කෙනා මේ උප ක්ලේශ ඒ ඒ තැන හඳුනාගෙන බැහැර කළ යුතුයි නේද ?සිත කිලුටු කරවන ඒ අකුසල් හොඳින් ඉගෙනගෙන බැහැර කරමින් ඉන්න කෙනාට ඒවා ප්‍රහාණය වෙලා ගියා කියන වැටහීම් ඇති වෙනවා. අන්න ඒ කෙනාට භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීම ට පත්වන්නට හැකි බව වත්ථූපම සූත්‍රයේ දී භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා.
ඒ වගේමයි ඒ ශ්‍රාවකයා සද්ධර්මය කියන්නේ මොකක්ද කියලත් අවබෝධයෙන් ම හඳුනාගෙන සද්ධර්මය ගැනත් නොසෙල්වෙන පැහැදීම කින් යුක්ත වෙනවා. ඒ වගේම ඒ ශ්‍රාවකයා සංඝරත්නය කියන්නේ කවුද කියලත් අවබෝධයෙන් ම හඳුනාගෙන ශ්‍රාවක සංඝරත්නය ගැනත් නොසෙල්වෙන පැහැදීම කින් යුක්ත වෙනවා. අන්න ඒ කෙනාට ලැබෙන ලාභය තමයි අනේ මාත් බුදු සමිදාණන් කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයකින් යුක්ත කෙනෙක් නේද කියලා මහත් සතුටට පත් වෙන්න පුළුවන් කම.
එසේම ඒ ශ්‍රද්ධා ලාභය ලැබූ කෙනාට මුළු බුද්ධ ශාසනය ම උපකාරය පිහිට පිළිසරණ ලබන්නට යම් කලෙක හැකි වෙනවා. ඒ නිසා අචල ප්‍රසාදයකින් යුතුව ශ්‍රද්ධාවට පැමිණීමට මේ උප ක්ලේශ මයි බැහැර කළ යුත්තේ සියලු දෙනාම මේ ධර්මය තුළ හික්මීමෙන් කටයුතු කරමින් තිසරණය තුල නොසෙල්වී සිටීමට උපක්ලේශයන් බැහැර කිරීමට අදිටන් කර ගනිමු .
සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood