Temples of Sri Lanka

උතුම් වප් පුන් පොහෝදා අදයි

සෑම මාසයකට ආවේණික සුන්දරත්වයක් ලැබී ඇත. එම සුන්දරත්වය පාරිසරික වෙනස්කම් අතින් මෙන් ම එම මාසයට වැදගත්කමක් ලබා දෙන පොහොය දිනයෙන් ද ලැබෙනු ඇත. ගමයි පන්සලයි යා කෙරෙන පිංකම් රැසක් අතරින් මහානිසංස දෙන පිංකමක් ලෙස කඨින මහා පිංකම හැඳින්විය හැකියි. ගමත් පන්සලත් යා කරනු ලබන මෙම කඨින පූජෝත්සව වප් පුන් පොහොය ට පසු සිදු වේ.

 

 

මෙම පිංකම අධ්‍යාත්මික වශයෙන් සැනසීමක් ලබා දෙන බැවින් සෑම ගමකම ලොකු කුඩා සෑම බෞද්ධයෙක් ම මෙම මහා පුණ්‍යෝත්සවය ට දායක වෙති. මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කළ පසු ථුපාරාමයට භික්ෂූන් වහන්සේ කැඳවා විනය සංගායනාවක් පැවැත්වූයේත් අද වන් වූ වප් පුන් පොහොය දිනයේ දී යි. ලංකාවේ පිරිසිදු බුදු දහම දිගුකල් පැවතීම සඳහා දේවානම්පියතිස්ස රජුගේ ඉල්ලීම පරිදි එය එසේ සිදු කරන ලදී. බුදුරජාණන් වහන්සේ දෙව්ලොව සිට සංකස්ස පුරයට බැසීම සිදු වූයේ ද වූයේ ද වප් පුන් පොහෝ දිනක යි. ඒ දුටු අනන්ත අප්‍රමාණ සැදැහැවත්

 

බෞද්ධයින් සාධුනාද දෙමින් බුද්ධාලම්භන ප්‍රීතිය භුක්ති වින්දහ.

 

අනාගතයේ දී බුදු වන මෛත්‍රී බෝධිසත්වයාණන් වහන්සේ පන්සියයක් පිරිවර සමඟ පැවිදි බිමට ඇතුළත් වීම ද අද වන් වූ උත්තරීතර වප් පොහොය දිනයේ දී සිදුවූ තවත් වැදගත්ම සිදුවීමක් ලෙස සඳහන් කළ හැකියි .

 

 

තව ද දේවානම්පියතිස්ස රජතුමා තම නොදුටු විදෙස් මිතුරා වූ ධර්මාශෝක අධිරාජයා වෙත තම ඥාතියෙකු වූ මහා අරිට්ඨ ඇමතිවරයා ප්‍රමුඛ දූත පිරිසක් පිටත්කර යවා ශ්‍රී මහා බෝධි ශාඛාව රැගෙන ඒමට සැලසුම් කරන ලද්දේ ද අදවන් වූ පුන් පොහොය දිනයක දී ය.

 

 

දේවානම්පියතිස්ස රජුගේ නෑනන්ඩි ය වූ අනුලා බිසවට භික්ෂුණී ශාසනයට ඇතුළු වීමට වැඩි කැමැත්තක් ඇති වූ හෙයින් ඒ සඳහා මඟ සලසා දෙන්නැයි ඇය දේවානම්පියතිස්ස රජුගෙන් අයැද සිටියාය. එබැවින් දඹදිවට යන දූත පිරිස අතර එම ඉල්ලීමද ධර්මාශෝක අධිරාජයා වෙත යැවීම දේවානම්පියතිස්ස රජු විසින් සිදු කරන ලද්දේ ද මේ සමයේ දී ය.

 

 

මේ කාලය තුළදී ආරාම තුළට වී කාලය ගත කළ භික්ෂූන් වහන්සේලා ධර්මය දේශනා කිරීමට අමතරව ධර්මය ග්‍රන්ථාරූඪ කිරීමට ද පෙළඹුණේ මේ කාලවකවානුව තුළදී ය.

 

 

බෞද්ධ ශාසනික ඉතිහාසය තුළ ඉතා වැදගත් පුණ්‍යවන්ත අවස්ථා කිහිපයක් රැගත් අදවන් වූ දිනයක බැති සිතින් සමරන්නා වූ උතුම් වප් පුර පසළොස්වක් පෝ දිනය ඔබේත් මගේත් පින් සිත පුබුදු වන්නා ලු දැහැමි චින්තනයන්ගෙන් සපිරි උතුම් සිතුවිලි අවදි කරවන පින්බර පොහෝ දිනක් වේවා…

You might also like
en English
X
X