වරද හඳුනා ගෙන විපත නවතමු
අප මහා බෝසතාණෝ පුරා විසි අසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් වැනි අති දීර්ඝ ගමනක් පුරාවට උන්වහන්සේගේ සිත පිරිසුදු කළා.වැරැදි අඩුපාඩු මඟහරවා ගත්තා.භවයෙන් බවයට විශාල ගුණ මහෝගයක් ජීවිතයට එකතු කර ගත්තා.වැටුණු තැනින් නැඟී සිටියා. එක වැරැද්දක් වූ විට ඒ වැරැද්ද හඳුනා ගත්තා. නැවත ඒ වරද සිදු කළේ නැහැ.වැරැද්ද වැරැද්ද හැටියට දැක්කා. ගුණය ගුණය හැටියට දැක්කා.වැරැද්දෙන් අත මිඳීම සඳහා ගුණය දියුණු කළා. පසුතැවීම් නැහැ. අන්න ඒ නිසා බොහොම හොඳ පිවිතුරු ගමනක් බෝසතාණන් වහන්සේ වැඩම කළා.
බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය කවර කාලයටත් ජනහද මන නිවාලන්නේ ය. සැනසුම ගෙන දෙන්නේ ය. සන්තානය සුවපත් කරන්නේ ය. දෙවි මිනිසුන්ට අමා මිහිරක් උපදන්නේ ය. එදත්, අදත්, කවදත් ඒ සදහම් සුවය ලෝක සත්වයන්ට ම ලැබීමේ වාසනාව පවතී.
ඒ බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය මේ ලෝකයේ පවතින නිසා ය.
අපි හැම දෙනාම ඉතාම ගෞරවයෙන් මේ සසුන සේවනය කර ජීවිතයේ ඇති අඩුපාඩු මඟහරවාගෙන, පිරිසුදු චිත්ත ධාරාවක් ඇති කරගෙන දුර්ගුණ, නපුරු ගතිගුණ වෙනුවට යහපත් උතුම් උදාර ගුණධර්ම දියුණු කර ගනිමු.
ඒ වෙනුවෙන් උත්සාහ කරමු. දවසින්, දවස අප වයසට යනවා. වැහැරෙනවා. දිරාපත් වෙනවා. අපි හැම දෙනාම මරණය වෙත ළඟාවනවා. ඒ ගමන එකම නිමේෂයකට හෝ නතර වෙන්නේ නැහැ. එකම තත්පරයක් විශ්‍රාමයක් ලැබෙන්නේ නැහැ.
යම් උප්පත්තියක් වෙනුවෙන් ප්‍රතිසන්ධි සිත පහළ වූයේ මොහොතක ද? ඒ මොහොතේ පටන් ම මව්කුසක ගතවන මේ ජීවිත මේ මොහොත දක්වාත්, මේ ලෝකයේ ජීවත්වන අන්තිම නිමේෂය දක්වාත් මහ පුදුම වේගයෙන් ආයු – වර්ණ, සැප – බල, ප්‍රඥා පිරිහෙමින් යනවා.
ආයු සංස්කාරය ගිලිහෙමින් අපව මරණය කරා පමුණුවනවා.
ඒ නිසා උපන් මොහොතේ පටන්ම මරණය කරා නිමේෂයකදු නතර නොවී යන මේ ගමනේ අපි දෑසින් දුටු, අතපත ගා අපේ යැයි කියා ළං කර ගන්නා ආදරණීයත්වයෙන්, ප්‍රේමණීයත්වයෙන් වැළඳගත් සියලු දේ ම පාහේ අපට අහිමිව යනවා. ඒ දේවලින් ලැබෙන සැනසීම සතුට තාවකාලික බවට පත්වෙනවා. වැඩි වැඩියෙන් පීඩා සංතාප, ලතැවුල් දැනෙන්නට අරම්භ වෙනවා. මෙවන් යුගයක සැප වේදනාවන්ට වඩා බහුල වන්නේ පුද්ගල මනසක දුක් වේදනා යි. හැරෙන හැරෙන පැත්තෙන්, සිතන සිතන අරමුණෙන් අපේ හදවත බැඳ ගන්නේ දුක්ඛිත අරමුණ යි. සිත වේදනාවට පත් කරනදේයි, මේ ලෝක යාත්‍රාවේ මේ දේ කවදත් සුලබයි.
අනාදිමත් සසර ගමනක අප එලෙසින් දුක්වින්දා.
අනේකවාර ඉපදුණා. අනේක වාර ජරාවට පත් වුණා. අනේක වාර මිය ගියා මෙහෙම ගමනක් තමයි අපි හැමදෙනාට ම තියෙන්නේ. ඉතින් එහෙම දීර්ඝ සංසාර ගමනක දී ටිකෙන් ටික වුව ද ගුණ ධර්ම පුරුදු කරන්න.
අත්හැරීම දියුණු කරන්න. ත්‍යාගය, කරුණාව දියුණු කරන්න. මෛත්‍රිය, ඉවසීම පුරුදු කරන්න. දාන ශීල නෙක්ඛම්ම ආදී පාරමිතා සම්පාදනය කරන්න. ඒ වගේම ටිකෙන් ටික ඉවසීමේ ගුණය දියුණු කරන්න. එසේ දියුණු කර ගත් මනසික් කල්‍යාණ මිත්‍ර ඇසුරේ පිහිටන්න. මේ දුක, විපත දිනෙක සදහට ම අප කෙරෙන් ඈත් කර, මේ දුකෙන් අත්මිදීමේ මාවත විවර කර ගන්නට උත්සාහ කරන්න. ඒ උදෙසා දීර්ඝ කාලීන පුහුණුවක්, අඛණ්ඩ පුහුණුවක් අවශ්‍ය වෙනවා.
මහා බෝසතාණන් වහන්සේ දිනක් දෙකක් නෙමෙයි පුරා විසි අසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් වැනි අති දීර්ඝ ගමනක් පුරාවට උන්වහන්සේගේ සිත පිරිසුදු කළා. වැරැදි අඩුපාඩු මඟහරවා ගත්තා. භවයෙන් බවයට විශාල ගුණ මහෝගයක් ජීවිතයට එකතු කර ගත්තා. වැටුණු තැනින් නැඟී සිටියා. එක වැරැද්දක් වූ විට ඒ වැරැද්ද හඳුනා ගත්තා. නැවත ඒ වරද සිදු කළේ නැහැ. වැරැද්ද වැරැද්ද හැටියට දැක්කා. ගුණය ගුණය හැටියට දැක්කා. වැරැද්දෙන් අත මිඳීම සඳහා ගුණය දියුණු කළා. පසුතැවීම් නැහැ. අන්න ඒ නිසා බොහොම හොඳ පිවිතුරු ගමනක් බෝසතාණන් වහන්සේ වැඩම කළා. ඒ ගමන අවසන් වූයේ ලොව්තුරා සම්මා සම්බුද්ධත්වය ලැබීමෙන් පසුව යි.
මේ උතුම් සම්බුද්ධ චරිතය ආදර්ශයේ තබාගෙන අදත් මේ මොහොත පවා පුළුවන්කම පවතිනවා සංසාර දුක් ගින්නෙන් නිදහස්වන, නිවෙන මාවතේ ගමන් කරන්න. ඒ උදාර උතුම් ගමන් මාර්ගය අපට දේශනා කිරීමෙන් අනතුරුවයි තථාගත බුදුරජාණන් වහන්සේ පිරිනිවනට වැඩම කළේ.
ඔබ මේ කරුණ පැහැදිලිව සිතේ තබාගෙනයි ධර්මය ශ්‍රවණය කළ යුත්තේ.
මේ ජීවිතයේ දී අපි කැමැති වුණත්, අකැමැති වුණත් සිදුවන සිද්ධිදාමයක් පවතිනවා. ඒ ක්‍රියාවලියට අපි මුහුණ දිය යුතුම වෙනවා. ඒ, හේතුඵල දහම, කර්මය, ඵලය පිළිබඳ දහම බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. උන්වහන්සේ චතුරාර්ය සත්‍යය දේශනා කළා. ත්‍රිලක්ෂණය පිළිබඳ දේශනා කළා. යථාභූත ඥාන දර්ශනය පහළ කර ගන්නා ආකාරය පිළිබඳ දේශනා කළා. මෙන්න මේ කරුණුවලින් මේ දහම් මඟ පෙන්වීමෙන් අපට පුළුවන් අපේ ජීවිතය ඕනෑම මොහොතක සුමඟට ගෙන වැරැදි අඩුපාඩු ඇත්නම් ඒවා මඟ හරවාගෙන ශාන්ත නිවුණු මාර්ගයට හරවා ගන්න. මේ ජීවිතයේ කො තරම් වැරැදි තිබුණත්, අඩුපාඩු සිදුව තිබුණත්, ඒ හැම දේ ම මඟහරවා ගන්න පුළුවන්. ඒ මේ උතුම් ධර්මයේ නිවැරැදි ලෙස හැසිරීම තුළිනුයි.
අපේ ජීවිතයේ ඉතිහාස දෙස බලමු. වැරැදි පාරේ ගමන් කොට, නොයෙක් ආකාරයෙන් වැරදුණු තැන් තිබෙනවා. අඩුපාඩු සහිත වූ තැන් තිබෙනවා. අපට නොයෙක් ආකාරයේ විපත්වලට මුහුණ දෙන්නට සිදුවුණා. කරදරවලට මුහුණ දුන්නා. විශාල පිරිසක් මේ අමා දහම කන වැටීමෙන්, මේ උතුම් බණ පද මෙනෙහි කිරීමෙන් ඒ දහම් මඟ ගමන් කිරීමෙන් ඒ සියලු කරදර බාධක මඟ හරවාගත්තා. තමන් යා යුතු මාවත පිරිසුදු කර ගත්තා. උවදුරු දුරු කර ගත්තා. අරමුණු මනාව හඳුනාගෙන කල්‍යාණ මිත්‍ර ඇසුර උපරිමයෙන් ලබා ගත්තා.
අපිත් එවන් සුන්දර ගමනක් යන්නට සූදානම් වෙමු.
සම්බුදු සසුනේ ශ්‍රාවක, ශ්‍රාවිකාවන් තථාගත බුදුරජාණන් වහන්සේ නිසා ලැබූ සුවපත් භාවය මෙනෙහි කර ජීවිතයේ නිවැරැදි මාවතට පිවිසෙන්නට අපට පුළුවන්. ගිහි වේවා, පැවිදි වේවා, අරමුණ පිරිසුදු නම් ඒ අරමුණ වෙනුවෙන් පාරිශුද්ධ භාවයේ පිහිටා අපි කටයුතු කරන්නේ නම් ඒ පිරිසුදු අරමුණ කවදා හෝ දවසක ඉටු වෙනවා. ඒ වගේම එයින් ලබන විමුක්තිය උතුම් ම විමුක්තිය යි.
නිවන නම්, මේ මිනිස් ලෝකයේ පමණක් නෙමෙයි, දෙවියන් සහිත, බඹුන් සහිත, මරුන් සහිත ලෝකයේ සියලු සත්ව ප්‍රජාව විසින් පැතිය යුතු, සිතිය යුතු මෙනෙහි කළ යුතු අරමුණු කළ යුතු ප්‍රාර්ථනා කළ යුතු, උත්තම සැනසීම යි. එය දුක්ඛ නිරෝධ සංඛ්‍යාත නිවන පිණිසයි. ඒ සඳහායි අපේ සියලු කටයුතු පෙළගැසෙන්නට අවශ්‍ය වන්නේ. නිවන යනු දුක්ඛ නිරෝධ හෙවත් රාග, ද්වේෂ, මෝහා දී, ක්ලේසයන්ගේ ඉතිරියක් නැතිව ගෙවී යෑමයි.
නිවන කියන්නේ ඉපදීමක් නැති, ජරාවක් නැති, ව්‍යාධියක්, මරණයක් නැති අමිල සැනසීමක්. ඒ ශාන්ත නිවන යි. ඒ ශාන්ත නිවනට මෙපිට ඇති සියලු දේ සැබැවින් ම සංඛ්‍යාත ධර්මයෝ යි. ඒවා විපරිනාම දුක්ඛයෙන් යුක්තයි. සංඛ්‍යා, සංතාප, පීඩන, විපරිනාම මේ සතර දුක්ඛ ලක්ෂණයන්ගේ යුක්තයි.
අපි අපේ ජීවිතයේ දී නොයෙක් තැන්වල දී විවිධ ආකාරයෙන්, විවිධ වූ වැරැදි පුරුදුවලට ඇබ්බැහි වෙනවා. ඒ වගේ ම විවිධ කෙලෙස්වලට නතු වෙනවා. විවිධාකාර තැන්වල අපේ සිත පැටලෙනවා.
එවැනි තැන්වල පැටලිලා කාලයක් ගෙවී ගිය පසුවයි, තමන්ට තේරුම් යන්නේ. තමන් මහා දුකකට වැටුණු බව, තමන් මොනතරම් විපතකට පත් වුණ ද? මොනතරම් හිංසනයකට ලක් වුණා ද කියා වැටහෙන්නේ කාලයක් ගෙවී ගිය පසුවයි. මේ නිසා යම්කිසි පුද්ගලයකු තමන්ගේ ජීවිතයේ, තමන් දකින කුමක් හෝ අඩුපාඩුවක්, පුංචි හෝ වැරැද්දක් හැකි ඉක්මනින් මඟ හරවාගෙන ඒ වැරැද්දෙන් ඈත් වී සදහට ම ඒ වැරැද්ද නො කර සිටීමට කල්පනා කරනවා නම් අන්න ඒ සිතිවිල්ල උදාර සිතිවිල්ලක් වනවා.
යම් වූ ද වරදකින් අතමිදුණා නම්, නැවත වතාවක් ඒ වැරැද්ද ජීවිතයට එකතු කර ගන්න එපා. යම් වූ ද දුර්ගුණ, පාපයක් ජීවිතයෙන් ඉවත් කර ගත් විට ඒ දුර්ගුණ පාපය නැවත ජීවිතයට ළං කර ගන්න එපා.
මේ සමාජයේ දී ඔබගේ ජීවිතයට නොයෙක් මිනිසුන්ගෙන් ඕනෑ තරම් වැරැදි සිදු වී ඇති, අඩුපාඩු සිදුවෙලා ඇති. ඒ වැරැද්ද දුටු මොහොත, වැරැද්ද හඳුනාගත් මොහොත, ඒ වැරැද්දෙන් ඈත් වූ විට නැවත ඒ වැරැද්ද ජීවිතයට එන්නට නොදී වගබලා ගැනීමයි ජීවිතයක දියුණුවේ ලක්ෂණය වන්නේ.
මෙම කරුණ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ ‘වැරැද්ද වැරැද්ද ලෙස දකිමින් ඒ වැරැද්දෙන් අතමිදීම පිණිස කටයුතු කරනවා නම්, එය පිළිපදිනවා නම් ඒක මේ බුද්ධ ශාසනයේ මහා විශාල දියුණුවක් ලෙසයි.
තෙරුවන් සරණයි🙏
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood