වැරදි දැක්මෙන් මිදෙන්න…
මරණයෙන් පසු නැවත උපතක් නැත, පින හා පව කියා දෙයක් නැත, පින් වලවත් පව් වලවත් විපාකයන් සිදුවෙන්නේ නැත, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක නැත, නිවන කියා දෙයක් තිබිය නො හැක යනාදී ආකාරයෙන් වරදවා දැකීම නැතහොත් වරදවා පිළිගැනීම මිථ්‍යා දෘෂ්ටිය ලෙස හඳුන්වනවා.
ගන්නා වූ ආකාරය වැරදි වීම.
එයම සත්‍යය යි තීරණය කර ගැනීම.
යන කරුණු දෙකෙන් මෙම අකුසලය සිදුවේ. දස අකුසල කර්මයන්ගෙන් බලවත් ම අකුසල කර්මය වනුයේ මිත්‍ය දෘෂ්ටිය වන අතර සෙසු සියළු අකුසල් මේ නිසා සිදු වේ. මිථ්‍යා දෘෂ්ටි බොහෝ සංඛ්‍යාවක් පැවතුණ ද ඒවායින් බරපතල ම අකුසල් සිදුවෙන්නේ නාස්තික දෘෂ්ටිය, අහේතුක දෘෂ්ටිය සහ අක්‍රිය දෘෂ්ටිය යන තුනෙන් ය.
👉නාස්තික දෘෂ්ටිය👈
දන් දීමෙන් ප්‍රයෝජනයක් නැත, පූජා කිරීමෙන් ඵලක් නැත, පුද පඬුරු යැවීමෙන් ඵලක් නැත, පින්පව් වල ඵල විපාක නැත, පරලොව ඉන්නවුන් මෙලොව ඉපදෙන්නේ නැත, මෙලොව ඉන්නවුන් පරලොව යන්නේ නැත, මවට කරන හොඳ නරක වල විපාක නැත, පියාට කරන හොඳ නරක වල විපාක නැත, මරණින් පසුව නැවත ඉපදෙන සත්වයෙක් නැත, ලෝකයේ මෙලොව පරලොව යම් කිසි ප්‍රතිපත්තියක් තමා විසින්ම ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කරගෙන ප්‍රකාශ කරන ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් නැතහොත් සම්මා සම්බුදු කෙනෙක් පහල වන්නේ නැත, මේ ශරීරය සතර මහා භූතයන්ගෙන් නිර්මාණය වෙලා තිබෙන බැවිනුත් සත්වයා මැරුණ විට ශරීරය සතර මහා භූතයන්ට ම එනම් පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන කොටස් වලට ම එකතු වෙනවා, ඉන්ද්‍රියන් අහසට යනවා. අසවලා දායකයෙක්, අසවලා මසුරෙක්, දුශ්ශීලයෙක් යනුවෙන් තිබෙන ගුණයන් මරණින් පසුව නො පෙනීයනවා. ඇට පරවි පියාපත් පැහැ වෙනවා. දාන පූජා ආදිය අළුවීම කෙලවර කොට පවතිනවා. දානය මෝඩයන් විසින් පවසන ලද්දක්. යමෙක් දානයෙන් ප්‍රතිඵලයක් තියනවා කියලා පවසනවා නම් ඒ කීම හිස් දෙයක්, බොරුවක්, නන් දෙඩවිල්ලක්.පණ්ඩිත, අපණ්ඩිත සියලු දෙනා මරණින් පස්සෙ විනාශ වෙලා යනවා. නැවත ඉපදීමක් නැත. මෙය අජිත නම් වූ තැනැත්තා ගේ මිථ්‍යා දෘෂ්ටිය යි.
👉අහේතුක දෘෂ්ටිය👈
සත්වයන් ගේ කෙලෙස් ඇති වීමට හේතුවක් හෝ ප්‍රත්‍යයක් හෝ නැත. හේතුවක් ප්‍රත්‍යයක් නැතුවම සත්වයෝ කෙලසෙනවා. සත්වයන්ගේ විශුද්ධියට (කෙලෙස් නැතිවීමට) හේතුවක් නැහැ. හේතුවක් ප්‍රත්‍යයක් නැතිවම සත්වයෝ ශුද්ධියට පත්වෙනවා. සත්වයින්ට ඒ ඒ කුඩා, විශාල වූ ජාතීන් වල ඉපදී සැප දුක් ලබන්නට නියම වූ එක්තරා ක්‍රමයක් තියනවා. ඒ ක්‍රමයට අනුව මෝඩයොයි, පණ්ඩිතයොයි යන හැම දෙනා ම ඒ ඒ ජාතිවල ඉපදිලා සැප දුක ලබන්නෙ. දාන, සීල, භාවනා වැනි පින්වල බලයෙන් හෝ තපස් රැකීමෙන් ඇති කරගන්නා බලයකින් කලින් කියපු ක්‍රමය ඉක්මවලා දිව්‍ය ලෝක වගේ තැන්වල ඉපදිලා විශේෂ සැපයක් ලබන්න නො හැකියි. මොනවා කලත් නියම කාලය එනතෙක් දුක් කෙළවර කොට පරම සැපයකට එන්න කාටවත් නො හැකි ය. පින් කරන නො කරන පණ්ඩිත, අපණ්ඩිත සියලු දෙනා කල්ප සුවාසු දහසක් සසරේ සැරිසරා අන්තිමට දුක කෙළවර කිරීම සිදු කරනවා. මෙය මක්ඛලී ගෝසාල කියන තීර්ථකයා ගේ මිත්‍යා දෘෂ්ටිය යි.
👉අක්‍රිය දෘෂ්ටිය👈
තමන් විසින් ම පව් කරන්නවුන්ටත්, අනුන් ලවා පව් කරවන්නවුන්ටත්, අනුන් ගේ අත පය ආදිය කපා කොටා දාන පුද්ගලයින්ටත්, එසේ කිරීමට නියම කරන්නවුන්ටත්, දඬු මුගුරු ආදියෙන් අනුන්ට පහර දෙන හා පහර දීමට නියම කරන පුද්ගලයින්ටත්, වස්තු පැහැර ගැනීම් ආදියෙන් අනුන් පීඩාවට ශෝකයට පත් කරන පුද්ගලයින්ටත්, ආහාර නො දීම, සිරකර තැබීම් ආදියෙන් අන්‍යන්ව පීඩාවට පත් කරමින් තමා ද පීඩාවට ලක්වෙමින් සිටින තැනැත්තාත්, ප්‍රාණඝාත කරන, සොරකම් කරන, පරදාර සේවනයේ යෙදෙන, බොරු කියන යනාදී ලෙස ඕනෑකමින් ම පව් කරන පුද්ගලයින්ටත් සිදුවන අකුසලයක් නැත. පොළොවෙහි ඇතිතාක් සතුන් මරා එකම මස් ගොඩක් කරන තැනැත්තාටත් එයින් සිදුවන අකුසලයක් නැත. දන් දීමෙන්, සිල් රැකීමෙන්, සත්‍යයෙහි පිහිටීමෙන්, ඉන්ද්‍රිය දමනයෙන් තපස් රැකීමෙන් සිදුවන කුසලයක් නැත. මෙය පූර්ණ කාශ්‍යපගේ මිත්‍යා දෘෂ්ටිය යි.
👉මිථ්‍යා දෘෂ්ටියේ ඵල විපාකයන්👈
“මහණෙනි, මේ මිථ්‍යා දෘෂ්ටිය යම් ආකාරයක් වෙත් ද එසේ මහා සාවද්‍ය වූ අන් එකදු ධර්මයකුදු මගේ සර්වඥතා ඥාණයෙන් නො දකිමි. මහණෙනි, මිථ්‍යා දෘෂ්ටිය වරදවල් අතරින් සියල්ලට ම මහත් වරද වේ” යනුවෙන් බුදුන් වහන්සේ වදාළ සේක.
මෙය දේශනා කර තිබෙන්නෙ කර්ම, කර්ම ඵල ප්‍රතික්ෂේප කරන නාස්තික, අහේතුක, අක්‍රිය යන දෘෂ්ටි වලට ය. එම දෘෂ්ටි අතුරින් කුමන දෘෂ්ටියක් ගත් අයෙකු වුවත් එය අත් නො හැරියේ නම් මරණින් පසුව සුගතියකට යෑමක් සිදු නො වේ. නිවන් අවබෝධ කිරීමක් සිදු නො වේ. ඒ දෘෂ්ටි සත්වයාගේ ස්වර්ග මෝක්ෂ දෙක ආවරණය කර තිබේ. ඒ දෘෂ්ටි ගත්තවුන් මරණය දක්වා ම එය අත් නො හැරියේ නම් ඒකාන්තයෙන් ම ඉපදීම සිදුවන්නේ නරකයෙ. එම නිසා මෙය නියත මිථ්‍යා දෘෂ්ටිය ලෙස හදුන්වනු ලබනවා. මිථ්‍යා දෘෂ්ටිකයෙකු එම දෘෂ්ටිය නිසා නොයෙක් අකුසල් කිරීමට යොමු වේ. ඒවා ද එකතු වී මිථ්‍යා දෘෂ්ටිය විපාක දීමේ දී ආනන්තරීය කර්ම වලටත් වඩා බලවත් ලෙස විපාක විඳීමට සිදු වේ. ආනන්තරීය කර්ම කළවුන් කල්ප අවසානයේ දී නරකයෙන් මිදෙන නමුදු නියත මිත්‍යා දෘෂ්ටිය ගත්තවුන් ලෝකය විනාශය සිදුවන අවස්ථාවේදී වෙනත් ලෝකයක නරකයක ඉපිද දුක් විපාක විඳීමට සිදු වේ. එමෙන්ම එසේ සිදුවන විපාකවල අවසානය පිළිබඳ නිශ්චිතව කිව නො හැකි ය.
බොහෝ අය මිථ්‍යා දෘෂ්ටික වීමට හේතුව එවැනි අය ඇසුරු කිරීමයි. එසේ මිසදිටු අය තමන්ගේ දෘෂ්ටිය අන්‍යන්ට රසවත් කොට පෙන්වා දී මෝඩ අයව ඒ දෘෂ්ටියට යොමු කරවා ගන්නවා. සම්‍යක් දෘෂ්ටිය ඇති අයෙකු මිථ්‍ය දෘෂ්ටිකයකු කිරීම තරම් විශාල අකුසල් සිදුවන ක්‍රියාවක් තවත් නැත. ධර්මයෙන් ඈත්ව වාසය කරන පුද්ගලයින් මෙවැනි අය ගේ උගුල්වලට පහසුවෙන් අසු වේ. එයට හේතුව ධර්මය නො දැනීම ම යි. කැරුණු කාරණා ධර්මානුකූලව නොබැලීම, මිසදිටු අයගේ දේශන වලට සවන් දීමෙන් ඔවුන්ගේ පොත්පත්, විද්‍යුත් සටහන් කියවීමෙන් නුවණ මඳ කෙනා මුලාවට පත්වෙලා මිථ්‍යා දෘෂ්ටිකයෙක් වී අකුසල් සිද්ධ කර ගන්නවා.
තෙරුවන් සරණයි🙏
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood