Temples of Sri Lanka

සැදැහැ සිත ප්‍රඥාව හා නිවන් අවබෝධය…

 

ඔබ සිතන්න මදකට අප ඉදිරියේ කෙනෙක් සිටගෙන සිටිනවා කියා..

අප සිටින්නේ ඇස් දෙක වහගෙන නම්, එවිට කෙනෙක් ඉන්නවා කියා දන්නේ නැති නිසා අපේ සිත තුළ , කෙනෙක් විද්‍යාමාන නොවේ. ඔහුත් අපත් අතර කිසිම සම්බන්ධයක් ඇති නොවේ. දැන් අපි ඇස් ඇර බැලූ විට කෙනෙක් ඉන්නවා කියා දැන ගනිමු. එවිට විඥානය (චක්ඛු විඥාණය ) පහළ වේ. විඥාණය යනු යමක් අප දැනගන්නා බවයි. පළමුවටම පහළ වන දැනීමයි. ඒත් සමඟම මේ මනුස්සයෙක්, සතෙක්, බඩුවක් ආදී ලෙසින් ඔහුව අපි හඳුනා ගන්නෙමු. එය සංඥා වයි. “මිනිහෙක්” කියා හඳුනා ගන්නා විටම සංඥාව පහළ වෙයි. අපට එසේ සංඥාව පහළ වන්නේ අපේ අතීත දැනුම මතය. මිනිසා, සත්තු, බඩු, ගස් කොළන් ආදී කිසිම දෙයක් මින් පෙර දැක නැති කෙනෙක්, මේ මනුස්සයෙක් කියා හඳුනා ගන්නේ කෙසේද… ඔහුට මිනිසෙක් කියන සංඥාව පහළ නොවේ. යම්කිසි දෙයක් තියනවා කියන සංඥාව පමණක් පහළ වේ. අප මීට පෙර මිනිසා, සතා, ගස්, බඩු ආදී දේවල් දන්නා නිසා, මිනිස් රූපයක් දකින විටම, ” මිනිසෙක්” කියන සංඥාව පහළ වූයේ එබැවිනි. අප සිත තුළ අතීත දැනුමෙන්ගොඩ නැඟුණු සංඥා තව බොහෝ ඇත. ගැහැනියෙක්, පිරිමියෙක් කියා හඳුනා ගනී. ලස්ස්න්න කැත කියා හඳුනා ගනී. හොද නරක කියා හඳුනා ගනී. මෙසේ අප සිත තුළ සංඥාවන් විශාල ප්‍රමාණයක් ඇති වේ. සංඥා ස්කන්ධය කියන්නේ රාශියක් නිසාය. ඔබ මීට පෙර කවදාවත් දැකලාවත් නැති කෙනෙක් නම් මැදහත් සිතක් ඇති වේ. ඔබ දන්නා ප්‍රිය කෙනෙක් නම් සතුටක් ඇති වේ. අප්‍රිය නම් දුකක් ඇති වේ. මේ වේදනා ස්කන්ධයයි. ඉන් පසු ඒ දැකපු දේ ගැන නොයෙක් සිතිවිලි ගලා යයි. ඒ සංස්කාර ස්කන්ධයයි. අප ඇලෙන්නේ හෝ ගැටෙන්නේ මේ අපේ සිතින් අප අර රූපය දැකපු ආකාරයට අනුවය. අප එය හොඳ විදියට හඳුනා ගත්තා නම් අප සිත තුළ ඇලීමක්ද, නරක විදියට හඳුනා ගත්තා නම්,ගැටීමක්ද අපේ සිතෙ ඇතිවේ. අප ඇලෙන්නේ අපේ සිතේ ඇතුළේ වන ක්‍රියාවලියකටය. භාවනාවෙන් අප සමාධිය වඩවාගෙන සිටිද්දී මේ ක්‍රියාවලිය අපට ඉතා පැහැඳිළිව පෙනෙයි. දැන් අපට මේ කියවාගෙන යද්දී ඇතිවන්නේ උඩින් ඇතිවන අවබෝධයක්ය. භාවනාවේදී අපේ ප්‍රඥා ඇසට මේවා දර්ශනය වෙද්දී, මෙන්න විඥාණය පහළ වීම, සංඥාව, වේදනාව, සංස්කාර කියා පැහැඳිළි අවබෝධයක් ඇති වේ. ඒත් සමඟම එහි සත්‍ය ස්වභාවයද පෙනෙයි. එනම් ඒ සෑම නාම ධර්මයක්ම අනිත්‍ය බවයි.. ඇතිවෙන වේගයටත් වඩා වැඩි වේගයකින් නැතිවී යන බවයි. ඉතාමත්ම ඉතාමත්ම අධික වේගයකින් විනාශ වී විනාශ වී යයි, සෑම නාම ධර්මයක්ම. එක් එක් ස්කන්ධ වෙන වෙනම හෝ සිතක් වශයෙන් එකට හෝ, නාම ස්ක්නධ කීපයක් හෝ අපේ ප්‍රඥාවේ, සමාධියේ, සතියේ තියුණු බව අනුව දැකිය හැක.

දිය ඇල්ලක් ළඟට ගොස් එදෙස බලා සිටිද්දී ඔබට කුමක්ද අවබෝධ වන්නේ. ඒ ගලා යන ජල ප්‍රවාහය ස්ථිරයි කියා සිතෙනවාද… ඔබගේ පාලනයේ ඔබට ඕනැ විදියට පහළට වැටෙනවා කියා සිතෙනවාද .. හෙමින් පහළට වැටෙනවා කියා සිතෙනවාද.. එක ජල බුබුළක් “අනේ නැති නොවී මෙතන නවතීවා” කියා සිතුවොත් එය නවතිනවාද.. ඒ දිය බුබුළට ඔබ ආශා කරා නම් එය බිඳී යද්දී දුක සිතෙනවා නොවේද…

මෙලෙසින්ම ඔබට අවබෝධය පහළ වෙයි. ප්‍රඥාව පහළ වෙයි.

නාම ධර්මයෝ අති වේගයකින් ඇති වේ… ඇති වූ විගසම නැති වේ. වේගය සිතා ගත නොහැක. එකක්වත් පවතින්නේ නැත. නැතිවී නැත්තටම නැති වීයයි. අනිත්‍ය ඔබ ප්‍රඥා ඇසින් දකියි.

ඒ නාම ධර්මයෝ මා විසින් ඇති කරගත්තේ නැත. හරියට ජල පහර පහලට ඇඳ වැටුණා වගේමය. හේතු ඇති නිසා එය එසේ වුණි. මම ඇති කරගත්තේ නැත. එය හේතු ඵලයකි. එය මම අති කරගත්තේත් නැත. මම නැති කරගත්තේත් නැත. මට ඕන විදියට පැවතුණේත් නැත. අනාත්මය ප්‍රඥා ඇසින් දකි..

තෙරුවන් සරණයි🙏

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X