නිදහසේ ගවේෂණය…
🔹බුදුරජාණන් වහන්සේ කියන්නෙ කව්ද !
🔹බුදු වෙනවා කියලා කියන්නෙ මොකක්ද !
🔹බුදු වීම කියලා මේ කර ගන්න දේ කුමක්ද !
🔹නැත්නම් මොකක් හරි අද්භූත නීතිරීති ටිකක් පනවනව ද !
🔹අපිට දඬුවම් පනවනව ද !
🔹අපිට වදයක් දෙන්න ආපු කෙනෙක් ද !
කියලා අපි තේරුම් ගන්නට ඕන. එහෙම තේරුම් ගන්නට බැරි වුණොත් අපට අනිත් ශාස්තෘන් වහන්සේලා කියාගත් අයගේත් අපි සරණ ගිය ශාස්තෘන් වහන්සේගේත් වෙනස සොයා ගන්න බැහැ.
මොකද මේ ලෝකයේ තියෙන සත්‍යයක් තියෙනවා. ඒක බුදු කෙනෙක් පහළ වුණත් බුදු කෙනෙක් පහළ නො වුණත් මේ ලෝකය තුළ සිද්ධ වෙන රටාවක් තියනවා.
මේක අපිට පේන්නේ නැහැ. අපිට පේන්නේ මොනව ද !
🔹ඉපදෙනවා පේනවා..
🔹ඉස්කෝලෙ යනවා..
🔹ලොකුමහත් වෙනවා..
🔹වයසට යනවා..
🔹මැරෙනවා..
ඔච්චරයි නේද. ඊට පස්සේ, අපිට ඊළඟ උපත හැදෙනවා පේන්නේ නැහැනේ. වෙන මොකුත් පේන්නේ නැහැ. නමුත් අපගේ සම්බුදු රජාණන් වහන්සේලා ඔන්න ඕක දකිනවා.
අපට මෙය පේන්නෙ නැත්තේ මේ ලෝකය සම්පූර්ණයෙන් ම වැහිල තියෙනවා අන්ධකාරයකින්. අන්න ඒක අප තථාගතයන් වහන්සේ උපමාවකින් අපට කියලා දුන්නේ බිත්තර ගෙඩියක් ඇතුලෙ ඉන්නවා වගේ කියලා.
.
බිත්තරයක් තුල නම් හැමදාම ජීවත් වෙන්නේ එයා එයින් පිට ලෝකය ගැන මුකුත් ම දන්නෙ නැහැ. මහ බෝසතාණන් වහන්සේත් ඉපදුණේ බිත්තරයක් අස්සේ ම යි. පිට නෙමේ. ඒ අස්සේ ම ඉඳගෙන බොහෝ කාලයක් කරපු පින් හේතු කොටගෙන හැමට ම කලින් අර බිත්තර කට්ට පලා ගත්තා.
තමන් විසින් ම තුඩෙන් ඇනලා බිත්තර කට්ට හිල් කර ගත්තා.
අපිට ඔය බිත්තර කට්ට හිල්කර ගන්නට බැරි වුණේ අපේ හොට හයිය නැහැ. මොකද අපේ හොට මොට්ටයි. අපි කොට කොට ඉන්න ඇති. ඒත් කැඩුනෙ නැහැ. අප මහා බෝසතාණන් වහන්සේට පුළුවන්කම ලැබුණා මුලින්ම ඔය බිත්තර කටුව කුඩුකර ගන්න. කුඩුකර ගත්ත ගමන් දැක්කා ආලෝකයක් තියෙන ලෝකයක්.
මුලින්ම ඒ කටයුත්ත කළේ උන්වහන්සේ නිසා.. උන්වහන්සේ සියලු දෙනාට ජ්‍යෙෂ්ඨයා කියලා කියනවා.
උන්වහන්සේ සියලු දෙනාම අතරින් ශ්‍රේෂ්ඨත්වයට පත් වුණේ පළමුවෙන්ම බිත්තර කටුව කුඩු කළ නිසා.
ඒ බිත්තර කටුවට තමයි අවිද්‍යාව කියන්නේ. මේ ලෝකය වසාගත්ත අන්ධකාරය මුලින්ම දුරු කළ කෙනා. එනිසා ඒ කෙනා ජ්‍යෙෂ්ඨ වෙනවා. ශ්‍රේෂ්ඨ වෙනවා.
එහෙම කඩාගෙන අනිත් අයට කටුව කඩා ගන්න හොට මුවහත් කර ගන්න හැටි කියලා දුන්නා…
“මෙහෙමයි තුඩ ශක්තිමත් කර ගන්නේ.. මෙහෙමයි නියපොතු ශක්තිමත් කර ගන්නේ..”
..කියලා. අප මහා භාග්‍යවතුන් වහන්සේගේ ජ්‍යෙෂ්ඨත්වය පිළිගන්න කෙනා, ශ්‍රේෂ්ඨත්වය පිළිගන්න කෙනා, අන්ධකාරයෙන් නිදහස් වුන කෙනා කියලා පිළිගන්න කෙනා අර අවවාදයන් පිළිපදිනවා..
ඒ අවවාදය අනුගමනය කරනවා. කුමක් පිණිස ද ! තමන්ට නිදහස් වීම පිණිස.
මේ නිදහස ඒ ආකාරයෙන්ම භුක්ති විඳින්න අපට පුලුවන්..අපි ඒ නිදහස සුන්දරව සොයා යමු…
තෙරුවන් සරණයි🙏
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood