ඔබ වහන් වී සිත දියුණු කරන්න…
බුදු සසුනේ සහ බුදු සසුනෙහි ඉගැන්වෙන ප්‍රධාන කරුණු අතර භාවනාව විශේෂයෙන් වැදගත් වන්නකි. භාවනා යන්නෙහි මූලික අර්ථය වැඩීම නැතිනම් දියුණු කිරීම යන්නයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් උගන්වන ලද භාවනා ක්‍රමය මැනවින් සකස් කරන ලද උතුම් සිතක් වඩා ගැනීම සඳහා යොමු වූවකි. භාවනාව කුසල කර්මයක් වශයෙන් බුදු සමයෙහි උගන්වනු ලැබේ.
භාවනාමය කුසල අනෙක් සියලුම කුසල් අතර අග්‍ර වූ කුසල වේ. දාන ශීල දෙකින් ලබාගත හැකි අනුසස් සියල්ලද එයින් නොලැබිය හැකි රූපාවචර අරූපාවචර, ලෝකෝත්තර සම්පත් ද භාවනාවෙන් ලබාගත හැකි වේ.
පාලි ත්‍රිපිටක ග්‍රන්ථවල සහ අනෙකුත් බෞද්ධ සාහිත්‍යමය ග්‍රන්ථවල භාවනා යන්න යෙදී ඇත්තේ නිශ්චිත අර්ථයක් දෙන පාරිභාෂික වචනයක් ලෙසය. මෙය සිත නැතිනම් මනස හා සම්බන්ධ වූවකි. බෞද්ධ ප්‍රතිපත්තිමය ක්රියාවලියෙහි අරමුණ නම් නිවන අවබෝධ කර ගැනීමයි. නිවන් ලබා ගැනීමට අවශ්‍ය වන උසස් බුද්ධිය උපදවා ගැනීම සඳහා මනස සකස් කර ගෙන පිළිවෙත් ක්‍රමය භාවනා නමින් හඳුන්වනු ලැබේ.
දීසන්ති භික්ඛවෙ සත්තා කායිනෙක රොගෙන එකංපි වස්සං ආරොග්යං පටිජානමානා ද්වේපි වස්සානි ආරෝග්‍යං පටිජානමානා – පෙ – වස්සස – තංපි ආරෝග්‍යං පටිජානමානා – තෙ භික්ඛවෙ සත්තා දුල්ලභා ලොකස්මිං යෙ ඓතසිකෙන රොගෙන මුහුත්තං ජි ආරොග්යං පටිජානානි අඤ්ඤත්ර ඛීණාසවෙහී.
අංගුත්තර නිකායෙහි රොග සූත්‍රයේ සඳහන් වන මෙම පාඨය භාවනාව ගැන සලකා බැලීමේදී බෙහෙවින් වැදගත් වන්නකි. එහි අදහස මෙසේය. “මහණෙනි. රෝගයෝ දෙදෙනෙකි. කායික රෝගය, මානසික රෝගය කියා. මෙයින් කායික රෝගවලින් නොපෙළී අවුරුද්දක්, දෙකක්, තුනක්, හතරක්, පහක්, දහයක්, විස්සක්, තිහක්, හතළිහක්, පනහක් ඇතැම් විට සියයක් නිරෝගීව වසන අය සිටිත්. එහෙත් මානසික රෝගවලින් (හිතේ ලෙඩින්) එක මොහොතක් නොපෙළී පීඩා නොවිඳ සිටින අය රහතන් වහන්සේලා හැර වෙන සොයා ගැනීම දුෂ්කරය. “මෙම පාඨය අනුව කායික වෛiවරු, මානසික වෛiවරු යනුවෙන් සිරුරේ සහ හිතේ ලෙඩට වෙදකම් කරන වෛiවරු දෙදෙනෙක් වෙති. ඒ අනුව කායික රෝග මානසික රෝග යනුවෙන් රෝග ද කොටස් දෙකක් ඇත. බුදුරජාණන් වහන්සේ මානසික රෝග මුළුමනින්ම සුවපත් කිරීමට මඟ පෙන්වූ ලෝකයේ පහළ වූ අති උතුම්, අති දක්ෂ මනෝචිකිත්සකවරයාණන් වහන්සේය.
මිනිස් සිතෙහි ඇති වන අප්‍රමාණ රෝග අතර රෝග හතළිස් හතරක් සල්ලේඛ සූත්‍රයෙහි දක්වා ඇත. චෛතසික රෝග වශයෙන් හැඳින්වෙන එම රෝග හතළිස් හතර මතු දක්වනු ලැබේ. අනුන්ට හිංසා කිරීම, සතුන් මැරීම, අනුන්සතු දේ පැහැර ගැනීම, කාමයෙහි වරදවා හැසිරීම, බොරු කීම, කේළාම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කීම, අනුන්ගේ දේ ගැන ඇති ආශාව, දූෂිත නරක සිත් ඇතිවීම, වැරදි සහිත දර්ශනය, වැරදි අකුසල සංකල්ප, වැරදි වචන කතා කිරීම, වැරදි කර්මාන්ත කිරීම, වැරදි ජීවිකාව, වැරදි ව්‍යායාමය, වැරදි සිහිය, වැරදි සමාධිය, නරක ක්‍රියා කොට කෙළේ හොඳ ක්‍රියා යයි සිතීම, වැරදි විමුක්තිය, ථීන මිද්ධයෙන් මඩනා ලද බව, උඩඟු බව, සැක ඇති බව, කිපෙන සුලු බව, බද්ධ වෛර ඇති බව, ගුණමකු බව, යුගග්‍රාහ ඇති බව, ඊර්ෂ්යාවන්තකම, මසුරු බව, කෛරාටික බව, මායා ඇති බව, තද බව. මානාධික බව, අකීකරු බව, පාප මිත්‍රයන් ඇති බව, ප්‍රමාද බව, සැදැහැ නැති බව, ලැජ්ජා නැති බව, පවට බිය නැති බව, ඇසූ පිරූ තැන් නැති බව, කුසීත බව, සිහිමුළා බව, මෝඩ බව, තම අදහස ම දැඩි කොට ගත් බව.
මෙම මානසික රෝග හතළිස් හතරට පිළියම් වශයෙන් බුදුරජාණන් වහන්සේ උගන්වා ඇත්තේ එයින් වැළැකී සිටීමයි. එය මනෝ චිකිත්සක ක්රමයකි. එයට මුල් වන්නේ භාවනාවයි. දෙවි මිනිසුන්ගේ ලෙඩට බෙහෙත් හේත් කිරීමේ දී බුදුරජාණන් වහන්සේ විසින් තමන් වහන්සේ සොයා ගත් බෙහෙත් යොදා ගත් බව මිලින්ද ප්‍රශ්නයෙහි සඳහන් වෙයි. ඒ බෙහෙත් මෙසේය. සතර සතිපට්ඨාන, සතර සම්‍යක් ප්‍රධාන, සතර සෘ`ධිපාද, පඤ්ච ඉන්ද්‍රීය, පඤච බලය, සප්ත බොජ්ඣංගය, ආර්ය අෂ්ටාංගික මාර්ගය, යන ඖෂධවලින් බුදුරජාණන් වහන්සේ මානසික රෝගවලට පිළියම් කළ සේක.
අද මෙන්ම එදාද ලෝකයේ බොහෝ දෙනෙක් කිසියම් භාවනා ක්‍රමයකට සිය අවධානය යොමු කළහ. එම භාවනා ක්‍රම අතුරෙහි යෝග ක්‍රමය ගුප්ත බලයක් ආධ්යාත්ක ශක්තියක් ලබා ගැනීමට උපයෝගී කර ගත් බව පෙනේ. එම රෝග ක්‍රම බෞද්ධ භාවනා ක්‍රමය පහළ වන්නටත් කලින් දඹදිව පැතිර තිබිණ. බෞද්ධ සම්ප්රදාය අනුව භාවනා ක්‍රමය සකස් වූයේ ඊට වෙනස් විධියකිනි. බොහෝ දෙදෙනකු කල්පනා කරන්නේ භාවනාව නම් එදිනෙදා ජීවිතයෙන් ඈත් වී කිසියම් ඉරියව්වකින් පසුවෙමින් හුදෙකලාව ගත කරමින් කිසියම් ගුප්ත බලවේගයක් ලබා ගැනීමට වෑයම් කිරීමක් වශයෙනි. මෙය සම්පූර්ණයෙන්ම බෞද්ධ සම්ප්රදායයට විරුද්ධ වූවකි.
භාවනා යන්නෙහි සම්පූර්ණ වූ බෞද්ධ අර්ථය නම් මානසික සංස්කෘතියයි. මානසික සංවර්ධනය උපදවා ගැනීමයි. රාග, ද්වේෂ, මෝහ යන අකුසල්වලින් බැහැරවී සිත පිරිසුදු කර ගැනීමට දරන වෑයමයි. එහි පරම කෝටිය නැතිනම් අවසාන ප්‍රතිඵලය නිර්වාණය ලබා ගැනිීම වේ.
සංසාරයෙහි පැවත ඒමත් එම සංසාරයේ අභාවයත් යන කරුණු දෙක මනස හා සම්බන්ධව පවත්නේ වෙයි. සංවරයෙහි පිහිටුවනු නොලැබූ අකුසල මූලයන් හේතුකොට ගෙන පහළ වන කර්ම වේගය පදනම් කොට ගෙන සංසාරයෙහි පැවැත්ම සිදුවෙයි. ඒ අතර මනස මැනවින් ශික්ෂණය කරනු ලැබීම නිසා පහළ වන සංසුන් තැන්පත්, සාසන ගතිය හා එක් අරමුණක ස්වභාවය මත පහළ වන මනා දැක්වීම හේතු කොට ගෙන රාග, ද්වේෂ, මෝහ යන අකුසල් මුල් සිඳී යෑමෙන් ඇති වන සංසාරයේ පැවැත්ම අභාවයට යන්නේය. මේ තත්ත්වය සම්පූර්ණයෙන් නවතා දැමීම පිණිස නියම දැකීම ලබා ගැනීමට භාවනාව පදනම් වෙයි.
කලින් සඳහන් කළ සතර සතිපට්ඨාන, සතර සම්‍යක්ප්‍රධාන, සතර සෘ`ධිපාද, පඤච ඉන්ද්රිය, පඤ්ච බල, සප්ත බොජ්ජඣංග, ආර්ය අෂ්ටාංග යන මේ බෝධි පාක්ෂික ධර්ම තිස් හත වැඩීම ද භාවනාව නම් වේ. භාවනානුයෝගී වූ විට බෝධි පාක්ෂික ධර්මයෝ වර්ධනය වෙති. එම දහම් අනෙකුත් ක්‍රමයකින් නොවැඩේ. භාවනා කිරීම හැර බෝධි පාක්ෂික ධර්මයන් වැඩීම කියා අන් කළ යුතු යමක් ද නැත්තේය.
සමථ භාවනා, විපස්සනා භාවනා, යයි බුදු සමයෙහි ඉගැන්වෙන භාවනා දෙවැදැරුම් වේ. සමථ භාවනාව නම් සමාධිය සිතෙහි එකඟ බව, වැඩි දියුණු කර ගැනීමයි. මේ පිළිබඳව අනුගමනය කළ යුතු වත්පිළිවෙත් රාශියක් බෞද්ධ ග්‍රන්ථවල උගන්වනු ලැබේ. විපස්සනා භාවනාව නම් ප්‍රඥාව දියුණු කර ගැනීමයි. සිත නොයෙක් අරමුණුවල විසිර පැතිර පවතින්නට ඉඩ නොදී එක් අරමුණක පිහිටුවන්නා වූ චෛතසික ධර්මය සමාධිය නමින් හඳුන්වනු ලැබේ.
තෙරුවන් සරණයි.🙏
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood