ලංකාවේ ප්‍රථම අශෝක ස්ථම්භය රාජගුරු ශ්‍රී සුභූති විහාරයෙන්
ක්‍රි.පු 361 – 232 පමණ කාලයේ ඉන්දියාවේ සිටි මෞර්ය පෙළපතට අයත් අශෝක රජතුමා කාලිංග දේශය සමග කරන ලද සටනේදී සිදු වූ මහා මනුෂ්‍ය සංහාරය දැක ඉන් කලකිරී එවකට පැවති අබෞද්ධ සම්ප්රදායන්ගෙන් ඉවත් වී බුද්ධාගම වැළඳ ගත්තේය.
බුදු දහම වැළඳ ගැනීමෙන් පසු සිය පුතු සහ දියණිය ද ශාසනයට පූජා කර ශාසනය නගා සිටුවීමට අවශ්‍ය දායකත්වය ලබාදුන් අශෝක රජු බුද්ධාගම ආසියාව පුරා පතළ කිරීමට සුවිශේෂි කටයුතු රැසක් ඉටු කර ඇත. ඒ අතර බුදුන් වහන්සේගේ උතුම් ජීවන ගමනට සමීප වැදගත් ස්ථානවල ස්මාරක පිහිටුවීම අශෝක රජුගේ රාජ්‍යත්වයේ එක්තරා සංධිස්ථානයක් බඳු ය. එකී ස්මාරක තැනීම් අතර අශෝක කුළුණ ඉතා සුවිශේෂී තැනක් හිමි කරගන්නේ එය එකී රජ පෙළපතට පමණක් නොවූ සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවට ම වැදගත් වන බැවිනි.
බුදුන් වහන්සේ කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ගේ උපවර්තන නම් සල් උයනේ පිරිනිවන් පෑමෙන් අනතුරුව ආදාහනය කොට සත් දිනකට පසු උන්වහන්සේගේ ශාරීරික ධාතු බෙදීම ශාක්‍යයන්ගේ මූලිකත්වයෙන් සිදුවිය.
එලෙස වූ බුදුන් වහන්සේගේ නිසැක උත්තම ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා 21 නමක් මෙරටට වැඩමවා ගෙන ඇති අතර එවැනි උතුම් නිසැක සර්වඥ ධාතූන් වැඩහිඳින එක් පුණ්‍ය භූමියකි බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ මුහුදුබඩ සීමාව මායිම් කොට ගත් වස්කඩුව රාජගුරු ශ්‍රී සුභූති රජමහා විහාරය.
මෙම උතුම් ධාතූන් වහන්සේලා සොයා ගත්තේ බ්‍රිතාන්‍ය ආණ්ඩුව පැවති සමයේ සර් ඇලෙක්සැන්ඩර් කනිංහැම් හා විලියම් පෙප්පේ යන ඉතිහාසඥයන් විසින් සිදුකළ කැණීම්වලිනි. එම උත්තම කපිල වස්තුපුර නිසැක ශ්‍රී සර්වඥධාතූන් වහන්සේ මෙරටට වැඩමවා ගැනීමට අතිශය කැපවීමෙන් කටයුතු කර ඇත්තේ වස්කඩුව ශ්‍රී සුභූති මහනායක ස්වාමීන් වහන්සේ ය. ගල් පෙට්ටියක බහා තිබී ශාක්‍යයන් විසින් තැන්පත් කරන ලද්දක් බවට වූ බ්රාහ්මීය සටහනක් සහිත මැටි භාජනයක් තුළ තිබී කැණිම්වලදී සොයාගන්නා ලද බැවින් වින්සන්ට් ස්මිත් නම් ඉතිහාසඥයා එම බ්රාහ්මීය අක්ෂර හඳුනාගැනීමට සුභූති නායක හිමියන්ගෙන් උපකාර පතා ඇත. ඒ අනුව උන්වහන්සේ හඳුනාගත් පරිදි මෙම සර්වඥ ධාතූන් වහන්සේලා නිසැක සර්වඥ ධාතූන් වහන්සේලා ම වූ අතර ධාතූන් වහන්සේලා කොටසක් ලංකාවට වැඩම කරවීමට ද කටයුතු කළ සේක.
එවන් සුවිශේෂී පුදබිමක පසුගිය ජනවාරි 28 වන දින අප ශාසනය ඉතිහාසය තුළ සුවිශේෂී සංධිස්ථානයක් සටහන් කරමින් අශෝක කුළුණක් තැනීම ආරම්භ වන්නේ බුදු දහම ලොව පුරා ප්‍රචලිත කිරීමට මහගු කාර්යය ඉටු කළ අධිරජ ධර්මාශෝකයන්ට කෘතගුණ පළකිරීමේ අරමුණෙනි.
බුද්ධ පරිනිර්වාණයෙන් පසු වැඩි කලක් අදටත් බුදු දහම ස්ථාපිතව පවතින රටක් ලෙස එකී දහම මෙරටට ලබාදීමට සිය පුතු සහ දියණිය වන මහින්ද හිමි සහ සංඝමිත්තා තෙරණිය දහම් පණිවිඩ රැගෙන මෙරටට පැමිණීමේ මූලික ගෞරවය හිමි විය යුතු අශෝක අධිරාජ්‍යයාට සැබැවින් ම අප ණය ගැති වන්නෙමු.
මෙම උතුම් කාර්යයට මුල පුරන්නේ එකී කෘතවේදීත්වයේ උතුම් සිතිවිල්ල පෙරදැරිව බෞද්ධ සහෝදරත්ව පදනමේ සංකල්පයකට අනුව ය.
එකී සිතිවිල්ල ඵල දරමින් පසුගිය ජනවාරි 28 වන දින අමරපුර ශී සම්බුද්ධ ශාසනෝදය සංඝ සභාවේ මහ නායක, IBC හි සභාපති ධූරන්දර ආචාර්ය අතිපූජය වස්කඩුවේ මහින්දවංස මහනායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා සහිතව වස්කඩුව ශ්‍රී සුභූති රජමහා විහාරයේදී සිදුකෙරුණු මෙම සුවිශේෂී අවස්ථාවට ශ්‍රී ලංකාවේ නව ඉන්දීය කොමසාරිස් ශ්‍රී සන්තෝෂ් ජාහ් මහතා සහ අන්තර්ජාතික බෞද්ධ මහා සම්මේලනයෙහි මහ ලේකම් ශාස්ත්‍රේ කෙන්සූර් ජැන්ග්චුප් චෝඩ්න් හිමියන් ප්‍රධාන අමුත්තන් ලෙස සහභාගි විය.
ත්‍රිවිධ හමුදාව, පොලිසිය, තවත් ප්‍රාදේශීය අමුත්තන් රැසක් ද මෙම අවස්ථාවට සහභාගී වූ අතර සියයකට අධික ප්‍රදේශයේ බෞද්ධ ජනතාවගේ සහභාගීත්වය මෙන් ම සහයෝගය ද මෙම අවස්ථාවට ඉතා ඉහළ මට්ටමකින් හිමවීම සුවිශේෂි කරුණකි.
මෙම උතුම් පුණ්‍ය කටයුත්ත සඳහා මුල් ගල් තැබීම ජයමංගල ගාථා මැද ශ්‍රී ලංකාවේ නව ඉන්දීය කොමසාරිස් ශ්‍රී සන්තෝෂ් ජාහ් මහතා,
අන්තර්ජාතික බෞද්ධ මහා සම්මේලනයෙහි මහ ලේකම් ශාස්ත්‍රේ කෙන්සූර් ජැන්ග්චුප් චෝඩ්න් හිමි, අතිපූජය වස්කඩුවේ මහින්දවංස මහනායක ස්වාමීන් වහන්සේ සහ බෞද්ධ සහෝදරත්ව පදනමේ සභාපති සහ අන්තර්ජාතික බෞද්ධ මහා සම්මේලනයේ නියෝජ්‍ය මහලේකම් ආචාර්ය දමේන්ද පෝරගේ මහතා යන අයගේ සුරතින් සිදු විය.
ඉන් අනතුරුව IBC හි සභාපති අතිපූජ්‍ය ආචාර්ය වස්කඩුවේ මහින්දවංශ ස්වාමීන් වහන්සේ විසින් කෙටි අනුශාසනාවක් සමගින් පැමිණි සියලු ම පිරිස පිළිගැනීම සිදු කළ අතර බුදු දහම ආරක්ෂා කරගැනීම සහ ප්‍රචලිත කිරීම සඳහා ලැබෙන ඉන්දියානු සහයෝගය අගය කරනු ලැබූහ. එමෙන් ම මෙවැනි අශෝක කුළුණු රට තුළ පළාත් නවයෙහි ම ස්ථාපිත කිරීමේ කටයුත්තට උන්වහන්සේ මූලිකත්වය ගන්නා බව ද සඳහන් කළහ. උන්වහන්සේ සිදු කරන ලද දෙසුම ඉංග්‍රීසි බසින් පරිවර්තනය කිරීම අන්තර්ජාතික බෞද්ධ මහා සම්මේලනයේ බෞද්ධ ලේකම් ආචාර්ය ෂර්මිලා මිල්රෝයි මහත්මිය විසින් සිදු කරන ලදි.
ඉන් අනතුරුව මෙම සුවිශේෂි කටයුත්ත පිළිබඳව නව ඉන්දීය කොමසාරිස් ශ්‍රී සන්තෝෂ් ජාහ් මහතා සිය අදහස් පළ කළ අතර ඉන්දියාවේ බුද්ධගයාව ආසන්න ප්‍රදේශයක උපත ලබා ඇති එතුමාට මෙරට තුළ නව කොමසාරිස් තනතුරට පත්වීමෙන් පසු බෞද්ධ පුණ්‍ය කටයුත්තක් ලෙස සහභාගී වන්නට ලැබුණු පළමු කටයුත්ත මෙය වීම තමා ලද භාග්‍යයක් ලෙස සලකන බවත් ඉදිරියේදීත් මෙවැනි කටයුතුවලට තවදුරටත් සිය සහය ලබාදෙන බවටත් ප්‍රකාශ කළේ ය.
අන්තර්ජාතික බෞද්ධ මහා සම්මේලනයෙහි මහ ලේකම් ටිබෙටි ජාතික ශාස්ත්‍රේ කෙන්සූර් ජැන්ග්චුප් චෝඩ්න් හිමියෝ මෙම අවස්ථාව අමතමින් ඉන්දු – ලංකා සහයෝගය පවත්වාගෙන යාමටත් බෞද්ධ ශාසනය ආරක්ෂා කරගැනීමටක් මෙවැනි ස්මාරක තැනීමේ වැදගත්කම පැහැදිලි කරමින් මෙම කටයුත්තට ටිබෙටි බසින් සෙත් පැතීමක් ද සිදු කළහ. තවද මෙම කටයුත්ත සංවිධානය කිරීමට මුලිකත්වය ගත් බෞද්ධ සහෝදරත්ව පදනමේ සභාපති සහ අන්තර්ජාතික බෞද්ධ මහා සම්මේලනයේ නියෝජ්‍ය මහලේකම් ආචාර්ය දමේන්ද පෝරගේ මහතාගේ මෙහෙය අගය කිරීමක් ද උන්වහන්සේ විසින් සිදු කරන ලදි.
අඩි 33 ක් උස මෙම දැවැන්ත අශෝක ස්ථම්භය තැනීමේ සුවිශේෂි කටයුත්තට මුල්ගල තැනීමේ අවස්ථාව අවසානයේ අදහස් දක්වමින් බෞද්ධ සහෝදරත්ව පදනමේ සභාපති සහ අන්තර්ජාතික බෞද්ධ මහා සම්මේලනයේ නියෝජ්‍ය මහලේකම් ආචාර්ය දමේන්ද පෝරගේ මහතා, මෙවැනි බෞද්ධ ආගමික පුනර්ජීවන වැඩ කටයුතු සිදුකිරීමේ අරමුණ තහවුරු කළ අතර මෙවැනි අශෝක කුළුණු මෙරට පුරා තැනීමට මූලිකත්වය ගන්නා බව ද සඳහන් කළේ ය. තව ද මෙවැනි කටයුතු සිදු කිරීමේදී අනේක අභියෝගවලට මුහුණ දීමට සිදුවුවත් නොසැලී මෙම කටයුත්ත ඉදිරියට කරගෙන යාමට මූලිකත්වය ගන්නා බවත් ඒ මහතා සඳහන් කළේ ය.
මෙම උතුම් කටයුත්තට සහභාගී වී තේ පැන් සංග්‍රහයකින් අනතුරුව සියලු දෙනා විසිර ගියේ මෙතෙක් කලක් බුදු දහමින් පෝෂණය වූ අපට මෙම සුවිශේෂී දහම ලබාදීමට මූලිකත්වය ගත් අශෝක රජුගේ මෙහෙවරට කෘතගුණ සැලකීමට අප මෙතරම් පමා වූයේ මන්දැයි යන සිතුවිල්ල පුරවාගෙන ය. සිතුවිල්ල පුරවාගෙන ය.
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood