Temples of Sri Lanka

ගෘහ ජීවිතය එතරම් සුන්දර දැයි ඔබට මින් පෙර දැනුනාද

සමාජ සංස්ථාවේ මූලික අඩිතාලම වන්නේ ගෘහයයි.

සමාජ සංස්ථාවේ ප්‍රගමණය ආරම්භ වන්නේ ගෘහ ජීවිතය තුළිනි. සමස්තයක් වශයෙන් අප මුළු ලෝකය ගැනම සිතා බලන කල එහි මූල බීජය වන්නේ ගෘහ ජීවිතය නොහොත් පවුලයි.

එහි දී වගකිව යුත්තන් වන්නේ ද ගෘහ මූලිකයා හා ගෘහ මූලිකාවයි. එය ගොඩ නැගෙන්නේ ස්වාමි භාර්යා සංකල්පය මතය. එම දෙපළ මුල්වී ගොඩනගන අත්තිවාරම සාර්ථක ගෘහ ජිවිතයක අඩිතාලම වනු ඇත.

මෙහි දී ගෘහ ජීවිතයක් සාර්ථක වන මඟ ගැන හිතමු.. ස්වාමි, භාර්යා සංකල්පය ඔස්සේ විහිදෙන පවුල් සංස්ථාව වන්නේ මවුපිය දූ දරු සංකල්පයයි. ස්වාමි, භාර්යා දෙපළගේ පිරිසුදු ජීවිතය දීර්ඝ පවුල් පසුබිමකට උරුමකම් කියනු ඇත. මේ පිළිබඳ බුදුරජාණන් වහන්සේ විවිධ සූත්‍ර ඇසුරෙන් කරුණු දේශනා කොට ඇත. නිවසක් අලංකාර වන්නේ එහි ජීවත් වන්නන්ගේ පිරිසුදු අපිරිසුදු ගුණ අගුණ මතය.

බුදුරජාණන් වහන්සේ ගේ දේශනා තුළින් ඕනෑම ගෘහස්ථ ජීවිතයක් සාර්ථක කර ගැනීමට විවිධ සූත්‍ර මඟින් කරුණු අණාවරණය කර ගත හැකිය. අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ කුල සූත්‍රයට අනුව සුවිශේෂි කරුණු හතරක් ගෘහ ජීවිතය සම්බන්ධව දේශනා කොට ඇත. එහි අණාවරණය වන්නේ ගෘහ ජීවිතයක් සාර්ථක වන ක්‍රම පිළිබඳවයි. ඒ අතර ප්‍රධානතම කරුණ ලෙස දුස්සීල වූ කාන්තාවක හෝ පුරුෂයෙකු එම පවුලේ ප්‍රධානත්වයට පත්වීම පෙන්වා ඇත. දුස්සීල නම් සිත, කය, වචනය යන තිදොරින් ම අපිරිසිදු අයහපත් ක්‍රියා සිදු කිරීමය.

පංච දුස්චරිතයම සිදුකරන ගෘහ ප්‍රධානියා හෝ ප්‍රධානිය වෙසෙන නිවස මොහොතින් මොහොත පිරිහීමට ලක් වේ. එවිට වියදම් පක්ෂය ද ඉහළ ගොස් අර පිරිමැස්මකින් තොරව කටයුතු කිරීමට පෙළඹේ. ඒ අනුව එහි අනිත් පැත්ත වූ මනා චරිතයක් ඇති ප්‍රධානියෙකු පත්වීම අනිවාර්ය වේ. එවැනි නායකත්වයක් තුළ පවුල් සංස්ථාව දියුණු වේ.

ගෘහ ජීවිතය සාර්ථක වීමේ දෙවන ලක්ෂණය නම් ආර්ථික ශක්තියයි. ධනය උපයනවා සේම එහි සුරක්ෂිතතාවය ද වැදගත් වේ. කුල සූත්‍රයට අනුව වියදම් වන තරමට ඉපයීම සිදු නොවුනහොත් එම පවුල පිරිහීමට ලක්වන අයුරු දේශනා කොට ඇත. එහි දී දිරාගිය දෑ ප්‍රතිසංස්කරණය කිරීම, ආහාරපාන ඇඳුම් පැළඳුම් සඳහා අධික වියදම් නොකිරීම ආදිය කෙරෙහි අවධානය යොමු කළ යුතුය.

විශේෂයෙන් ගෘහ ජිවිතයේ සාර්ථකත්වය උදෙසා පවුලේ සාමාජිකයන් අතර අනෝන්‍ය වශයෙන් මනා සුහද සම්බන්ධතාවයක් තිබීම වැදගත් වේ. එහි දී ඔවුනොවුන් අතර සහජීවනය උදෙසා ඉටුවිය යුතු යුතුකම් පිළිබඳ මනා අවබෝධයක් තිබිය යුතුය. මවුපිය දූ දරු, ස්වාමි භාර්යා ආදී වශයෙන් සමාජ සම්මත යුතුකම් පද්ධතියක් ඇත. එම යුතුකම් පිළිබඳ සිඟාලෝවාද සූත්‍රය තුළ ගැඹුරින් දේශනා කොට ඇත. සමාජ සංස්ථාව පැවතෙන්නේ එම යුතුකම් හා වගකීම මතය.

ගෘහ ජීවිතය සාර්ථක වීම සඳහා ස්වාමි භාර්යා දෙදෙනාම ශ්‍රද්ධාවෙන්, ශීලයෙන්, පරිත්‍යාගශීලිත්වයෙන් හා ප්‍රඥාවෙන් සමාන තත්ත්වයක සිටීම වැදගත් බව අංගුත්තර නිකායේ සමජීවි සූත්‍රයෙහි සඳහන් වේ. සංවාස සූත්‍රයෙහි සඳහන් වන පරිදි අඹුසැමි දෙදෙනම අශීලාචාර වුවහොත් ඒ දෙදෙනාගේ එකතුව මළමිනී දෙකක එකතුවක් වැනිය. දැහැමි දිවියක් ඇති පුරුෂයා යුග දිවිය ගත කරන්නේ අශීලාචාර කාන්තාවක සමඟ නම් එය දෙවියෙකු සමඟ මළ මිනියක් එකතුවීම වැනිය. ශීලාචාර කාන්තාවක යුග දිවිය ගෙවන්නේ අශීලාචාර පුරුෂයකු සමඟ නම් එහි ඇත්තේ දෙවඟනක් සමඟ මළ මිනියක් එකතු වීමක් හා සමාන දෙයකි. අඹුසැමි යුවළම දැහැමි නම් එතැන දක්නට ලැබෙන්නේ දෙවියකුගේ හා දෙවඟනකගේ එකතුවකට නිවස දෙව්ලොවක් කර ගැනීමට නම් අඹු සැමි දෙපළම දැහැමි ලෙස ජීවත් විය යුතුය.

සාර්ථක ගෘහ ජීවිතයක් පිළිබඳ කතා කිරීමේ දී තවත් වැදගත් කරුණක් ලෙස සෞඛ්‍ය සම්පන්න වීම ද වැදගත් වේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ “ආරෝග්‍ය පරමා ලාභා” වශයෙන් නිරෝගි කම උතුම්ම ලාභය බවයි. මෙහි දී කායික නීරෝගිරමත්, මානසික නීරෝගීකමත් යන දෙඅංශයම පිළිබඳ අවධානය යොමු කළ යුතුය. කායික වශයෙන් ගෙවල්, දොරවල්, වතුපිටි පිරිසුදු කර ගැනීම, ඇඳුම් පැළඳුම් පිරිසුදු කර ගැනීම හා තම ශරීරය පිරිසුදුව තබා ගැනීම වැදගත් වේ. මානසික වශයෙන් කරුණාව දයාව මෛත්‍රීය වැනි ගුණාංගවලින් යුක්ත හොඳ සිතිවිලි ඇති කර ගත යුතුය. එවිට ඒවා තුළින් නිකුත්වන තරංග තම දූ දරුවන් පවා සුවපත් කිරීමට යහපත් කිරීමට සමත්වනු ඇත.

සතර බ්‍රහ්ම විහරණ හා සතර සංග්‍රහ වස්තු ක්‍රියාත්මක කිරීම තුළින් පවුල් සංස්ථාව සාර්ථක කර ගත හැකිය. ඡන්ද, දෝෂ, භය, මෝහ යන සතර අගතියෙන් අගතිගාමී නොවී මධ්‍යස්ථව ජීවිතය ගත කළ යුතුය. ස්වාමියා බිරිඳ කෙරෙහි ද බිරිඳ ස්වාමියා කෙරෙහි ද අනවශ්‍ය සැක ඇති නොකර ගත යුතුය. අනෝන්‍ය විශ්වාසයකින් හා බැඳීමකින් පවුල් සංස්ථාව ගත කරන කල්හි එම නිවස තුළ සමඟිය, සහජීවනය, දියුණුව නිතැතින් ම ගොඩනැඟේ.

මේ දහමින් ඔබට යහපතක්ම වේවා…

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X