Temples of Sri Lanka

සති සම්බොජ්ඣංගය

මහාචාර්ය මකුරුප්පේ ධම්මානන්ද හිමි

හැඳින්වීම

බුදුදහමේ උගන්වනු ලබන බොජ්ඣංග ධර්ම යනු, බෝධිය හෙවත් ඥානය, නැතහොත් උතුම් අවබෝධය ලැබීමට උපකාර වන ධර්මයි. බුද්ධත්වය, අර්හත්වය හෝ ප්‍රත්‍යෙක බුද්ධත්වය හෝ මඟින් ලබන යම් නිවැරදි අවබෝධයක් බුදුදහමෙන් නිර්දේශ කෙරේ නම්, එය ලබා ගැනීමට ඉවහල් වන කරුණු බෝධ්‍යංග ධර්ම නම් වේ. මේවා ගණනින් හතක් වන අතර, සප්ත බෝධ්‍යංග ධර්ම නමින් ද හැඳින්වේ. මෙම ලිපියෙන් අපේක්ෂා කෙරෙනුයේ ඒවායින් පළමුවැන්න වන සති සම්බොජ්ඣංගය පිළිබඳ ව විවරණයක් කිරීමයි.

සති සම්බෝජ්ඣංගය යනු බෝධිය හෙවත් මාර්ගඵල පසක් කර ගැනීමට උපකාර වන සතිය හෙවත් සිහිය යි. මේ පිළිබඳ ව බුදුරජාණන් වහන්සේ පළ කළ අදහස් කිහිපයක් මෙසේ ය.

“මහණෙනි, යම් කලෙක භික්ෂුව කෙලෙස් තවන වීර්යයෙන් යුතු ව, සිහියෙන් යුතු ව ලෝකයෙහි අභිධ්‍යා දෝමනස්සයන් දුරුකොට, කයෙහි කය අනුව බලමින් වාසය කෙරේ ද, එකල්හි නොමුළා වූ සිහිය පැමිණියේ වෙයි. යම් වේලාවක නොමුළා වූ සිහිය පිහිටියේ නම්, එකල්හි එම භික්ෂුව තුළ සති සම්බොජ්ඣංගය පටන් ගන්නා ලද්දේ වේ. එකල්හි එම භික්ෂුව සති සම්බොජ්ධංගය වඩයි නම්, එවිට සති සම්බොජ්ඣංගය භාවනාවක් වශයෙන් පරිපූර්ණත්වයට යේ.”                                                                                                                  (මජ්ක්‍ධිම නිකාය, ආනාපානසති සූත්‍රය)

“මහණෙනි, නූපන් සති සම්බොජ්ඣංගය ඉපදවීම සඳහා උපන් සති සම්බොජ්ඣංග භාවනාව සම්පූර්ණ වීම සඳහා ආහාරය කුමක් ද?, මහණෙනි, සති සම්බොජ්ඣංගයට ඉවහල් වන කරුණු ඇත. මහණෙනි, එහි ලා යෝනිසෝ මනසිකාරය බහුල වශයෙන් කිරීමක් වේ ද, මෙය නූපන් සති සම්බොජ්ඣංගය ඉපදවීම සඳහා, උපන් සති සම්බොජ්ඣංග භාවනාව සම්පූර්ණ වීම සඳහා ආහාරය යි.”

(සංයුත්ත නිකාය, මහාවග්ග, කාය සූත්‍රය)

“මහණෙනි, යම්තාක් කල් භික්ෂූහු සති සම්බොජ්ඣංගය වඩත් ද, ඒ තාක් එම භික්ෂූන්ගේ අභිවෘද්ධියක් ම වේ. පරිහානියක් නොවේ.” (අංගුත්තර නිකාය, සත්තක නිපාත, බොජ්ඣංග සූත්‍රය)

“මහණෙනි, යමෙක් මේ සතර සතිපට්ඨාන ධර්මයන් සත් අවුරුද්දක් වඩන්නේ නම්, ඔහු මේ ආත්මයෙහි ම රහත් ඵලය ලැබීම හෝ, උපාදානයන් ඇති කල්හි අනාගාමී බව හෝ යන දෙකෙන් එකක් ලබන්නේ ය…”               (මජ්ක්‍ධිම නිකාය – සතිපට්ඨාන සූත්‍රය)

“මහණෙනි, තමා රකින්නෙමි’යි සතිපට්ඨානය ඇසුරු කළ යුතු ය. අනුන් රකින්නෙමි’යි සතිපට්ඨානය ඇසුරු කළ යුතු ය. මහණෙනි, තමන් රකින්නා, අනුන් රකින්නෙක් වේ. අනුන් රකින්නා තමන්, රකින්නෙක් වේ.” (සංයුත්ත නිකාය, සේදක සූත්‍රය)

“තමන් කියන දේ ඇසිය යුතු යැයි සිතන යම් මිතුරන් හෝ, හඳුනාගත් අය හෝ, ඥාතීන් හෝ, සහලේ ඥාතීන් හෝ වෙත් නම්, තමන් ඔවුනට අනුකම්පා කරන්නේ නම් ඔවුන් ව සතර සතිපට්ඨාන භාවනාවෙහි සමාදන් කරවිය යුතු ය.”  (සංයුත්ත නිකාය, සේදක සූත්‍රය)

“බ්‍රාහ්මණය, තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි සතර සතිපට්ඨාන ධර්මයන් නො වැඩූ  හෙයින්, බහුල ලෙස නොකරන ලද හෙයින් සද්ධර්මය බොහෝ කල් පවතින්නක් නො වේ. තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි සතර සතිපට්ඨාන ධර්මයන් වැඩූ හෙයින්, බහුල ලෙස කරන ලද හෙයින් සද්ධර්මය බොහෝ කල් පවතින්නක් වේ.” (සංයුත්ත නිකාය, සතිපට්ඨාන සංයුත්තය, චිරට්ඨිතිසුත්ත)

ඉහත දක්වන ලද තථාගත දේශනා පාඨවලින් අනාවරණය වන කරුණු කිහිපයක් වේ. ඒ අනුව සතිය බෝධ්‍යංග ධර්මයක් ලෙස වැඩීමට නම් 1. නිර්වාණගාමී ප්‍රතිපදාවට නැඹුරු වූ වීර්යයක් තිබිය යුතු ය. 2. මූලික අවශ්‍යතාවක් වශයෙන් අභිධ්‍යාව හා දොම්නස දුරු කළ යුතු ය. 3. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා හා ධම්මානුපස්සනාවෙහි මනස පවත්වා ගෙන යා යුතු ය. 4. මාර්ගඵල ආදිය ලැබීමට නම් සතිය භාවනාවක් වශයෙන් ප්‍රගුණ කළ යුතු ම ය.5. එය සමාජගත සත්වයාගේ පොදු යහපත සලසන්නක් වේ. මෙම කරුණු පදනම් කොට ගෙන වඩන ලද සතිය බෝධ්‍යංග ධර්මයක් වේ.

සතිය යනු කුමක් ද?

සති යන්නෙහි සිංහල තේරුම සිහිය යන්නයි. සිහිය යනු කුමක් දැයි වචනයෙන් කීම අපහසු ය. සැබැවින් ම එය ඔබ මේ මොහොතේ භාවිත කරන සියුම් ක්‍රියාවලියකි. ඔබ යමක් ගැන සිතීමට හෝ ඒ පිළිබඳ වචන මඟින් කීමට හෝ පෙර මනස තුළ ක්ෂණික ව පවතින ශුද්ධ වූ දැනීමක් ඇත. වෙනත් විධියකින් කිවහොත් යමක් දුටු විට මේ මිනිසෙකි, ගසකි, පැන්සලකි යනාදී වශයෙන් හඳුනා ගැනීමට පෙර මනසේ පවතින තත්වයයි. මෙසේ මනසේ පවතින විනිශ්චයන්ගෙන් තොර ශුද්ධ වූ දැනීමේ මොහොත සතිය හෙවත් සිහිය ලෙස හැඳින්විය හැකි ය. සතියේ හෙවත් සිහියේ පවතින මෙම තත්වය ඉතා සියුම්, ක්ෂණික හා වේගවත් බව නිසා කෙනකුට හඳුනා ගැනීම අපහසු ය. සතියේ මුල්ම මෙහොත වේගයෙන් ගෙවී යන්නකි. හඳුනා ගැනීම, විවිධ ප්‍රපංච හෙවත් අදහස් ගොඩනැඟීම, ඒවාට විවිධ නම්ගොත් පටබැඳීම, චිත්තරූප මැවීම ආදිය නිසා සතියේ ශුද්ධ අත්දැකීම අප තුළින් බැහැර වේ. අප භාවනා කිරීමෙන් උත්සාහ කෙරෙනුයේ පූර්ව නිශ්චයන්ගෙන් තොර වූ ඉතා කෙටි වූ සහ ශුද්ධ වූ එම දැනීමේ කාල සීමාව වැඩි කර ගැනීමටයි.

මෙකී සතිය හෙවත් සිහිය පිළිබඳ ව කිවයුතු තවත් කරුණු කිහිපයක් ඇත. එනම් සතිය හෙවත් සිහිය වූ කලි භාවනාවේ ප්‍රමුඛතම අංගය යි. අරමුණු පදනම් කොට ගනිමින් විවිධ හැඩතලවලට පත්වන මනස තුළ පවතින මුල් ම නො මුළා වූ මානසික තත්තවය සතියයි. තවත් විධියකින් කිවහොත් සතිය යනු යමක් පිළිබඳ ව කෙරෙන අපක්ෂපාතී නිරීක්ෂණයකි. විවේචන, විමර්ශන නොමැතිව යමක් දැකීමට මනසේ ඇති හැකියාවට මෙය නමකි. විද්‍යාඥයෙක් අන්වීක්ෂයකින් යමක් දෙස බලා කිසිදු තීරණයකට නො පැමිණ, පවතින තත්වය පමණක් නිරීක්ෂණය කරන්නාක් මෙන් යෝගාවචරයා ද සතියේ ආධාරයෙන් තම අත්දැකීම නිරීක්ෂණය කරයි. මේ නිසා භාවනාවේ දී සතිය නිසි පරිදි පවත්වා ගැනීම වැදගත් ය.

සිත සහ සිහිය යනු එකක් නොව දෙකකි. සිතෙන් කෙරෙනුයේ සිතීමයි. සිතීම නිවැරදිව, මැනවින් හා නො මුළා ව පවත්වා ගෙන යාම සතියේ හෙවත් සිහියේ කාර්යය යි. (අසම්මොහ රසා) වෙනත් විධියකින් කිවහොත් සතිය යනු සිත විපතට වැටෙන්නට නො දී රක්නා චෛතසිකය යි.

මෙය උපමාවකින් කිවහොත් සිත ගෙයක් මෙනි. සිත ගෙයට සමාන වන්නේ ගෙයක් තුළ අනේකවිධ බඩු භාණ්ඩ ඇත්තාක් මෙන් සිත තුළ ද අනේකවිධ සිතිවිලි පවතින නිසා ය. සතිය හෙවත් සිහිය ගෙය ආරක්ෂා කරන දොරටුපාලයා මෙනි. (චක්ඛුද්වාරාදිරක්ඛණතො දොවාරිකො විය දට්ඨබ්බො) සිතේ පහළවන විවිධ සිතිවිලි ආරක්ෂා කිරීම කරනුයේ සිහියෙනි. දොරටුපාලයා ද අනවශ්‍ය පුද්ගලයන්ට ගෙය තුළට යන්නට නො දෙන්නාක් මෙන් සතිය හෙවත් සිහිය ද අනවශ්‍ය සිතිවිලිවලට සිත තුළට යාමට ඉඩ නොතබයි. ගෙය ඇතුළට යන්නේ කවරෙක් ද? ගෙයින් පිට වූයේ කවරෙක් ද යන්න පිළිබඳ ව දොරටුපාලයා අවධානයෙන් සිටින්නාක් මෙන් සිහිය ද සිතේ හැසිරීම අධීක්ෂණය කරයි. මේ අනුව පඤ්චස්කන්ධය නමැති ශරීරයෙහි ඇති චක්ෂුද්වාරය, ශ්‍රෝතද්වාරය ආදී දොරටු ඉදිරියේ සිටින දොරටුපාලයා සිහිය යි. අනෙක් අතින් දොරටුපාලයා රජුට “රජතුමනි, ඔබගේ භාණ්ඩාගාරයෙහි මෙතෙක් ධනය ඇත, මෙතෙක් රන් ඇත, මෙතෙක් ස්වර්ණාභරණ ඇත, මෙතෙක් වස්තුව ඇතැයි” සිහි කරවයි. මෙසේ සතිය ද කුසල් හා අකුසල්, හරි දේ හා වැරදි දේ, නො කළ යුතු පහත් දේ හා කළ යුතු උසස් දේ, පින්කම් හා පව්කම් ආදියත්, ඊට සමාන වෙනත් බොහෝ දෙයත් ඉස්මතු කොට දක්වයි. මේ නිසා මනුෂ්‍ය ක්‍රියාකාරකම් මැනවින් පැවැත්වීම සම්බන්ධයෙන් සතිය අතිශය උපකාරී වේ. තවද නිර්වාණගාමී ප්‍රතිපදාව සම්බන්ධයෙන් සතියෙහි උපයෝගීතාව සලකා බලන විට එය උපමා කොට ඇත්තේ රියදුරකුට ය. රියදුරකුට මනා සිහියක් නොමැති ව රථය අපේක්ෂිත ගමනාන්තයට ගෙන යා නො හැක්කාක් මෙන්, යෝගාවචරයා නැමති රියදුරාට ද සතියෙන් තොරව නිර්වාණය නමැති ක්ෂේම භූමියට තම රථය ගෙනයා නොහැකි ය. මෙහි යානය නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. එය බ්‍රහ්මයානය නමින් ද හඳුන්වා ඇත. එම බ්‍රහ්මයානය පදවන රියදුරා සතිය හෙවත් සිහිය යි. කෙතරම් වටිනා රථයක් වුව ද රියදුරා අනාරක්ෂිත නම්, නිසැකවම එම රථය ද අනාරක්ෂිත වූවකි. එබැවින් නිර්වාණගාමී ප්‍රතිපදාවෙහි දී සතිය මූලික අවශ්‍යතාවක් වේ.

සතියේ ස්වභාවය, කාර්යය හා උපයෝගීතාව

සතියේ ලක්ෂණය නම් මනස වෙත රැගෙන ඒමයි. සිහිපත් කරවීමයි. සිහිය නිතර ම අප කරන කාර්යය කෙරෙහි අවධානය යොමු කරවයි. භාවනාවක් වශයෙන් එය ප්‍රගුණ කරන කල්හි සිත අරමුණෙන් ඉවත්  ව වෙනතක ගමන් කරයි නම්, එය වෙනතක ගමන් කරන බවත්, අප කළ යුතු දෙයත් මතක් කර දෙනුයේ සිහියයි. සතිය හෙවත් සිහිය රජුගේ භාණ්ඩාගාරිකයා මෙනැයි පෙර කියන ලදී. කයෙහි කය අනුව බැලීමටත්, වේදනාවෙහි වේදනාව අනුව බැලීමටත්, සිතෙහි සිත අනුව බැලීමටත්, ධර්ම ධර්ම අනුව බැලීමටත් සිත පෙළඹවීම සතියේ ලක්ෂණය වේ. ඒවායේ අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව, අසුභ බව සැලකීම් වශයෙන් අරමුණ කරා හෝ කර්මස්ථාන කරා සිත එළඹවීම (උපට්ඨාන) සතියෙහි ස්වභාවය වේ.

මේ නිසා සතිය හෙවත් සිහිය දෛනික ජීවිතයේ දී මෙන් ම යෝගාවචරයකු ලෙස භාවනා කිරීමේ දී ඉමහත් ලෙස උපකාරී වන දෙයකි. මෙහි රසය හෙවත් කාර්යය නම් මුළා නොවීමයි. එබැවින් සතිය භාවනාවක් වශයෙන් වඩන තැනැත්තා මුළාවට පත් නොවේ. ඊට හේතුව සිහිය, පවතින දෙය ඒ අයුරින් ම දැකීම හෙවත් නිරීක්ෂණය කිරීමයි. මෙය තේරුම් ගත යුත්තේ මුළා නොවීම සතියේ ආනිසංසයක් ලෙස නොවේ. එහි කාර්යයක් ලෙස ය. එනම්, සිහිය මනසට එන කිසිවක් තේරුම් ගැනීමට කරුණු එකතු කිරීමක් හෝ අත් හැරීමක් හෝ නොකරයි. එහි කිසිදු විකෘති කිරීමක් නැත. සිතේ මතුවන සිතිවිලි යහපත් හෝ අයහපත් හෝ වුවත් එහි යහපත් හා අයහපත් බව පමණක් දකියි. එය සරල ක්‍රියාවකි. එබැවින් සතියේ කාර්යය නම් නො මුළාව පැවතීම ලෙස සැලකිය යුතු ය. විදර්ශනා භාවනාවේ යෙදෙන යෝගාවචරයා සතිය මැනවින් පිහිටුවා එය ප්‍රගුණ කරයි. ඔහු සිතේ ස්වභාවය විනිවිද දකී. එයින් සති සම්බොජ්ඣංගය පුරුදු පුහුණු කෙරේ.

මෙහි එළඹ සිටි කාරණය, සතිය වැඩීමට උපස්තම්භක වන දේ පච්චුපට්ඨාන නමින් හැඳින්වේ. සුදුසු යෝග්‍ය දේ කෙරෙහි නැඹුරුවීම සතියේ පච්චුපට්ඨානය යි. (ගොචරාභිමුඛභාවපච්චුපට්ඨානං). සාමාන්‍ය ජීවිතයෙහි අපගේ බොහෝ ක්‍රියාකාරකම් සිදුවන්නේ අවධානයෙන් තොරව ය. ස්වයංක්‍රීය ව දුවන යන්ත්‍රයක් හෝ රථයක් මෙනි. එබැවින් එම අවධානයෙන් තොර ව සිදුවන ක්‍රියාකාරකම් අවධානය කරා ගෙනයාමට උපස්තම්භක වීම සතියේ හෙවත් සිහියෙහි අදාළත්වය යි. සමථ විදර්ශනා භාවනාවල දී අදාළ අරම්මණය තුළ රඳා පැවැත්වීමට සතියෙන් නැමියාවක් උපදවයි. කය, වේදනාව යනාදීයෙහි ස්ථිරව සිත පිහිටුවීම මෙහි වඩාත් ආසන්න කාරණය හෙවත් පදට්ඨානය වේ. මේ නිසා සිහිය ලෞකික ක්‍රියාකාරකම් සඳහා ද ලෝකෝත්තර මාර්ග ප්‍රත්‍යක්ෂ කිරීමෙහි උපකාරක ධර්මයක් වශයෙන් ද යන දෙවිධියෙන් ම ඵලදායක ධර්මතාවකි. යෝනිසො මනසිකාරය හෙවත් නුවණින් මෙනෙහි කිරීමේ ස්වභාවයෙන් යුතු සතිය හෙවත් සිහිය නිරන්තරයෙන් වැඩීමෙන් සති සම්බොජ්ඣංගය උපදින බව දත යුතු ය. (යොනිසො මනසිකාරො වුත්තලක්ඛණො යෙව, තං තත්ථ බහුලං පවත්තයතො සති සම්බොජ්ඣංගො උප්පජ්ජති) මේ නිසා කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා හා ධම්මානුපස්සනා වශයෙන් දක්වන ලද පරිදි කරුණු සතරෙක යෝනිසො මනසිකාරය බහුල වශයෙන් පුරුදු පුහුණු කරන යෝගාවචරයාහට සති සම්බොජ්ඣංගය පහළ වේ.

සති සම්බොජ්ඣංගය වැඩීම සඳහා උපකාරී ධර්ම

සති සම්බොජ්ඣංගය වැඩීම සඳහා කරුණු හතරක් සම්පූර්ණ විය යුතු බව ථේරීය සම්ප්‍රදාය දක්වයි. ඒවා නම් 1. මනා සිහියෙන් කටයුතු කිරීම 2. සිහි මුළා ව කටයුතු කරන පුද්ගලයන් ඇසුරු නො කිරීම 3. එළඹ සිටි සිහියෙන් කටයුතු කරන පුද්ගලයන් ඇසුරු කිරීම 4. ඒ සඳහා බැඳුණු සිතක් ඇත්තකු වීම යනුවෙනි. එක් එක් ධර්ම ග්‍රන්ථ මීට අමතර ව දක්වන කරුණු රාශියක් ද ඇති බව මෙහි ලා සඳහන් කළ යුතු ය. මහා සතිපට්ඨාන වර්ණනාවෙහි මෙකී කරුණු හතරට අමතරව කරුණු ද පෙන්වා දී ඇති බව වැඩි විස්තර දැන ගැනීම සඳහා මෙහි ලා සිහිපත් කරමු.

සතිය බෝධ්‍යංග ධර්මයක් වශයෙන් වැඩීම සඳහා අවශ්‍ය වන පළමු වන කාරණය සති සම්පජඤ්ඤයෙන් කටයුතු කිරීම යි. සති සම්පජඤ්ඤය යනු ඉරියව් පැවැත්වීම නිසි පරිදි හා සාර්ථක ලෙස සිදු කිරීම සඳහා අවශ්‍ය වන ඥානයයි. වෙනත් විධියකින් කිවහොත් ඉරියව් පැවැත්වීමේ දී අප විසින් කරනු ලබන ඉදිරියට යාම (අභික්කන්ත), ආපසු ඒම (පටික්කන්ත), ඉදිරිය බැලීම (ආලොකිත), හාත්පස බැලීම(විලොකිත), අත්පා හැකිලීම(සම්මිඤ්ජිත), අත්පා දිග හැරීම(පසාරිත) යන ඉරියව් සතෙහි දී සිහි කල්පනාවෙන් කටයුතු කිරීමෙන් කෙනකු මනා සිහියෙන් කටයුතු කරන්නෙක් වේ. දෛනික ජීවිතය හා සම්බන්ධ කළහොත් උදෑසන අවදි වූ තැන් සිට මුවකට සේදීම, ආහාර පාන ගැනීම, ප්‍රිය බස් තෙපලීම, රැකියාවට යාම, ඉඳ ගැනීම් සිට ගැනීම් ආදී කුදු මහත් කටයුතු පිළිබඳ අවදියෙන් ක්‍රියා කරන පුද්ගලයන් ඇසුරු කිරීම වැදගත් ය. දෙවැනි කාරණය වන්නේ ආහාර සැඟවූ තැන අමතක වන කවුඩන් සේ තමා විසින් කරන කියන දේ පිළිබඳ අසිහියෙන්, සිහි මුළා ව කටයුතු කරන පුද්ගලයන් ඇසුරු නො කිරීම යි. තිස්සදත්ත හා අභය යනුවෙන් මනා සිහියෙන් ක්‍රියා කළ භික්ෂූන් වහන්සේ දෙනමක් බෞද්ධ සාහිත්‍යයෙහි ප්‍රකට ය. උන්වහන්සේ මෙන් නිතර මනා සිහියෙන් කටයුතු කරන පුද්ගලයන් සේවනය කිරීම තෙවැනි කාරණය යි. වෙනත් විධියකින් කිවහොත් බොහෝ කලකට පෙර කියන ලද දෙයක් හෝ කරන ලද දෙයක් හෝ වහා මෙනෙහි කිරීමට හැකි පුද්ගලයන් ආශ්‍රය කිරීම සති සම්බොජ්ඣංගය වැඩීමට හෙවත් ප්‍රගුණ කිරීමට මහත් සේ උපකාරී වේ. සිවුවැනි කාරණය නම්, සතිය බෝධ්‍යංග ධර්මයක් සේ වැඩීමට නැමුණු මානසික තත්වය පවත්වා ගෙන යාමයි. සිහිය පවත්වාගෙන යාමට උපකාර වන භාවනා කිරීම් ආදිය ද, සතිය බිඳ වැටීමට හේතුවන මත්පැන් පානය, දුරාචාරය වැනි කරුණු ද පිළිබඳ ව සවිඤ්ඤාණික ව සිටීම අවශ්‍ය කරුණකි. සතිය බෝධ්‍යංග ධර්මයක් සේ වැඩීමට මෙම පසුබිම අවශ්‍ය වන බව බෞද්ධ අර්ථකථාචාර්යවරුන්ගේ මතය යි. එසේ ම ශරීරයක් ආහාරය නිසා පවතින්නාක් මෙන් සති සම්බොජඣංග භාවනාව සම්පූර්ණ වීමට ආහාර අවශ්‍ය වේ. ඒවා සතිසම්බොජ්ඣංගට්ඨානීය ධර්ම නම් වේ. එකී ආහාරය නම් සප්ත බෝධිපාක්ෂික ධර්ම සහ නව ලෝකෝත්තර ධර්මයන් ය. යෝනිසෝ මනසිකාරය මුලික වශයෙන් වැඩීමෙන් සති සම්බොජ්ඣංගය පරිපූර්ණ වේ.

සති සම්බොජ්ඣංගයෙහි ආස්ථානය     

සති සම්බොජ්ධංගය සප්ත බෝධ්‍යාංග ධර්ම අතර පළමුවැන්න ලෙස සලකා ඇත්තේ එහි උපයෝගීතාව සලකා බැලීමෙනි. සක්විති රජකුට සත්රුවන් ඇති බව අපි දනිමු. චක්‍රරත්නය, හස්ති රත්නය, අශ්ව රත්නය, මාණික්‍ය රත්නය, ස්ත්‍රී රත්නය, ගෘහපති රත්නය, හා පරිනායක රත්නය යනුවෙනි. මේවායින් සක්විති රජුට වඩාත් වැදගත් වන්නේ චක්‍ර රත්නයයි. සප්ත බෝධ්‍යාංග ධර්ම අතර, සති සම්බොජ්ඣංගය සක්විති රජුගේ චක්‍රරත්නයට සමාන ය. චක්‍රරත්නය තිබූ තැනින් සෙල වුනහොත් හෝ චුත වුවහොත් හෝ එයින් සංකේතවත් වන්නේ සක්විතිකම අහිමි වන බව ය. එමෙන් සතිය නැති වුවහොත් ආර්ය මාර්ගය ඵල රහිත වේ. එබැවින් සති සම්බොජ්ඣංගය අවශේෂ බෝධ්‍යංග ධර්මයන් අතර ප්‍රමුඛ වේ. අටුවා ටීකා ග්‍රන්ථයන්හි ධම්මවිචය සම්බොජ්ඣංගය විපුල ඵල හේතුවෙන් සක්විති රජුගේ හස්ති රත්නයට ද, විරිය සම්බොජ්ඣංගය සැහැල්ලු හා ඉක්මන් බව හේතුවෙන් අශ්වරත්නයට ද, පීති සම්බොජ්ඣංගය කෙලෙස් අඳුර නසන පහනක් වැනි හේතුවෙන් මාණික්‍යරත්නයට ද, පස්සද්ධි සම්බොජ්ඣංගය කාය චිත්ත දරථයන් සංසිඳුවන හේතුවෙන් ස්ත්‍රීරත්නයට ද, සමාධි සම්බොජ්ඣංගය අභිමත දේ සැපයීමෙන් රජුගේ චිත්ත වික්ෂේපය සංසිඳාුවන්නාක් මෙන් සිත සමාධියට නැංවීමට උපකාර වන හේතුවෙන් ගෘහපති රත්නයට ද, උපෙක්ඛා සම්බොජ්ඣංගය සියලු කටයුතු සම්පාදනය කිරීමට උපකාර කරන හෙයින් පරිනායක රත්නයට ද සමාන කොට ඇත.

මේ නිසා අවශේෂ සියලු බෝධ්‍යංග ධර්මයන්ගේ පැවැත්මට සති සම්බොජ්ඣංගය සක්විති රජුගේ චක්‍රරත්නය මෙන් ප්‍රමුඛ, ප්‍රබල හා බලගතු මෙන් ම අත්‍යවශ්‍ය මූල සාධකය වේ. කථාවත්ථුප්පකරණයේ දක්වන පරිිදි සක්විති රජකුට එකී පදවියත් සමඟ සත්රුවන් පහළ වන්නාක් මෙන් මෙකී සප්ත බෝධ්‍යාංග ධර්ම බුදු බවත් සමඟ තථාගතයන් වහන්සේට පහළ වූ ඒවා ය.

සතිපට්ඨානය

සතිපට්ඨාන යන්නෙන් අදහස් වන්නේ සිහිය මනාකොට පිහිටුවා ගැනීමයි. එකී පිහිටුවා ගැනීම් ක්‍රම හතරක් දක්වා ඇත. 1. කායානුපස්සනා සතිපට්ඨානය, 2. වේදනානුපස්සනා සතිපට්ඨානය. 3. චිත්තානුපස්සනා සතිපට්ඨානය,   4. ධම්මානුපස්සනා සතිපට්ඨානය යනුවෙනි.

මෙයින් කායානුපස්සනා සතිපට්ඨානය යනු කය අනුව බැලීමෙන් කරනු ලබන සිහිය පිහිටුවා ගැනීමයි. එය භාවනාවක් වශයෙන් ප්‍රගුණ කළ හැකි ආකාර සයක් වේ. එනම්, 1. ආනාපානසති: ආශ්වාස – ප්‍රශ්වාස වශයෙන් සිහි කිරීම 2. ඉරියාපථ :ඇවිදීම, ඉඳගැනීම්, සිටගැනීම්, ආදී ඉරියව් වශයෙන් සිහි කිරීම, 3. චතුසම්පජඤ්ඤ : ඉදිරියට යාම, පිටුපසට යාම, අවට බැලීම් ආදි ඉරියව්හි සිහි කිරීම 4. පටික්කුල මනසිකාර : දෙතිස් කුණුප වශයෙන් සිහි කිරීම 5. ධාතුමනසිකාර : පඨවි, ආපෝ, තේජෝ, වායෝ වශයෙන් සිහි කිරීම  6. නවසීවථික : නව ආකාර මෘත ශරීර වශයෙන් සිහි කිරීම යනුවෙනි.

කායානුපස්සනා යන්න සූත්‍රවල විස්තර කොට ඇත්තේ න අත්ථි කායොති වා පනස්ස සති පච්චුපට්ඨිතා හොතිග යාවදෙව ඤාණමත්තාය පතිස්සතිමත්තාය අනිස්සිතො ච විහරති න ච කිඤ්චි ලොකෙ උපදියති. එවම්පි ඛො භික්ඛවෙ භික්ඛූ කායෙ කායානුපස්සී විහරති, යනුවෙනි. (‘ඔහුට ආශ්වාස, ප්‍රශ්වාස කය පමණක් ඇත’ යන සිහිය ඇතිවේ. එය හුදෙක් මතු මත්තෙහි ඥානය වැඩීම පිණිස, සිහිය වැඩීම පිණිස වෙයි. තෘෂ්ණා දෘෂ්ටි ඇති නොකොට විසීම පිණිස වේ. තෘෂ්ණා දෘෂ්ටි ඇති නොකොට වෙසෙයි. ලෝකයේ කිසිවක් මම ය, මාගේ යනුවෙන් නො සිතයි. මහණෙනි, මෙසේ භික්ෂුව කයෙහි කය අනුව බලමින් වෙසේ.)

කය අනුව සිහිය පිහිටුවා ගැනීමෙහි අනිත්‍යතාව දැකීමටත්, අභිධ්‍යා දෝමනස්සයන් බැහැර කිරීමටත් ආනාපානසති භාවනාව ඉතා වැදගත් වේ. ආනාපානසති භාවනාවේ දී මහත් වෑයමින් හුස්ම නො ගෙන, එහි දී සිදුවන ක්‍රියාවලිය කෙරෙහි අවධානය යොමු කළ යුතු ය. එසේ භාවනාව වැඩීමේ දී මෙම ශරීරය කිසිදු හරයකින් තොර, පුද්ගලත්වයෙන් ගත හැකි ධර්මතාවක් නොමැති වූවක් බව පසක් වේ. එය ඔහුගේ ඥානයත්, ස්මෘතියත් වර්ධනය කර ගැනීමෙහි ලා හේතු වන්නක් වන හෙයින් භාවනා යෝගියා කිසිදු අයුරකින් තම ශරීරය පිළිබඳ ව තෘෂ්ණා, දෘෂ්ටි වශයෙන් වසඟ භාවයකට නො යයි. ස්කන්ධ ලෝකය සම්බන්ධ කිසිවක් මම ය, මාගේ ය යනාදී වශයෙන් උපාදානය නො කරයි. මේ හැරුණු විට තම ශාරීරික ඉරියව් පිළිබඳවත්,  ශරීරය මෙහෙයවා කරනු ලබන කටයුතුවල දී ත්, ශරීරයෙහි කුණුප කොට්ඨාසයන් සැලකීමෙහි දී ත්, ශරීරයේ අභාවය පිළිබඳවත් සිහිනුවණින් යුක්ත වීම හේතුවෙන්, ශරීරය වනාහි උපාදානය කළ යුත්තක් නො වන බව වටහා ගැනීමට හැකියාව ලැබේ.

වේදනානුපස්සනා සතිපට්ඨානය යනු අරමුණු රසය විඳ ගැනීම් වශයෙන් සිහිය පිහිටුවා ගැනීම යි. එම වේදනා 1. සුඛ,  2. දුක්ඛ, 3. අදුක්ඛමසුඛ, 4. සාමිස සුඛ, 5. සාමිස දුක්ඛ, 6. සාමිස අදුක්ඛම සුඛ, 7. නිරාමිස සුඛ, 8. නිරාමිස දුක්ඛ, 9. නිරාමිස අදුක්ඛමසුඛ යනුවෙනි. වේදනානුපස්සනාවේ දී සිදු වන්නේ මෙකී වින්දනය පිළිබඳ නිසි අවබෝධය ලබා දෙමින් එහි අනිත්‍යතාව දැකීමට යොමු කිරීමයි. එම වින්දනයන් උපාදානය කිරීම නිසා  සත්ත්වයා පරලොව වශයෙන් සාංසාරික දුක වර්ධනය කර ගනිමින් මෙලොව හා පරලොව යන දෙලොව ම අතෘප්තිකර වූ ජීවිතයක් ම ගත කරයි. ඒ අනුව වේදනාව පිළිබඳ ආත්මවාදී සංකල්පයෙන් මිදෙනු වස් සමුදය හා වය වශයෙන් එහි ක්‍රියාකාරීත්වය සතිමත් ව දකිමින් හා විමසා බලමින් ක්‍රියා කළ යුතු ය. එලෙසින් ස්කන්ධ ලෝකය පිළිබඳ ව අනුපාදාන ආකල්පයක් ඇති කර ගැනීම නිර්වාණාවබෝධය පිණිස හේතු වෙයි.

චිත්තානුපස්සනා සතිපට්ඨානය යනු නිබඳ ව විවිධ ස්වභාව ගන්නා සිත අනුව සිහිය පිහිටුවා සිතෙහි ආකාර සිහි කිරීම යි. 1. සරාග සිත : රාග සහිත සිත, 2. සදෝස සිත : ද්වේෂ සහිත සිත, 3. සමෝහ සිත : මෝහ සහිත සිත, 4. වීතරාග සිත : විරාග සිත, 5. වීතදෝස සිත : පහවූ ද්වේෂ සහිත සිත, 6. වීතමෝහ සිත : මෝහ රහිත සිත, 7. සඞ්ඛිත්ත සිත : හැකිළුණු සිත හෙවත් ථීන මිද්ධය වැඩි සිත, 8. වික්ඛිත්ත සිත : විසිරුණු හෙවත් උද්ධච්චය වැඩි සිත, 9. මහග්ගත සිත : මහත් බවට ගිය සිත – රූපාවචර අරූපාවචර සිත්, 10. අමහග්ගත සිත : මහත් බවට නො ගිය සිත හෙවත් කාමාවචර සිත්,  11. සොත්තර සිත : කාමාදී අනෙකුත් සිත්, 12. අනුත්තර සිත : ලෝකෝත්තර සිත, 13. සමාහිත සිත : සමාධිගත සිත, 14. අසමාහිත සිත : සමාධිගත නො වූ සිත, 15. විමුත්ත සිත : කෙලෙසුන්ගෙන් මිදුණු සිත, 16. අවිමුත්ත සිත : කෙලෙසුන්ගෙන් නො මිදුණු සිත යනුවෙන් සොළොස් අකාරයක් සූත්‍රවල දක්වා ඇත. සිතින් සිත අනුව බැලීමක් මෙයින් සිදුවේ. සිත කරනුයේ සිතීම පමණකි. සිතීම සිතෙහි කාර්ය යයි. සිතින් සිත අනුව බැලීම අතීත අනාගත දෙක ගැන සිතීමෙන් කළ නොහැකි ය. එබැවින් මේ පවතින මෙහොතෙහි සිත පවතින තත්වය විනිවිද දැක සිතෙහි යථාර්ථ ස්වභාවය අත්විඳිය යුතු ය. මජ්ක්‍ධිම නිකායේ භද්දෙකරත්ත සූත්‍රවල මෙම කරුණ මැනවින් පෙන්වා දී ඇත. සිත වහා ඇතිවෙමින්, පවතිමින්, නැතිවී යන සිතිවිලි ප්‍රවාහයකින් යුක්ත වන්නකි. මෙම ස්වභාවය පවත්නා මොහොත අනුව සති සම්පජඤ්ඤයෙන් යුතු ව මෙනෙහි කිරීම, එහි ලා සිත පිහිටුවා තැබීම චිත්තානුපස්සනා සතිපට්ඨානය යි. සාමාන්‍ය ලෝකයේ මිනිසකුට නොසිතා සිටිය නො හැකි ය. එහෙයින් සිතීම නමැති කාර්යයෙහි ඔහුට හෝ ඇයට හෝ නිරත වීමට සිදුවේ. චිත්තානුපස්සනාවෙන් කෙරෙනුයේ මෙම සිතීම විධිමත් කිරීමකි. සාමාන්‍ය ලෝකයේ මිනිස්සු වරක් සිතෙහි ක්‍රියාකාරිත්ව ගැන සතුටු වන අතර, තවත් වරෙක අසතුටු වී එයට නිග්‍රහ කරති. සිත ගැන ප්‍රශංසනාත්මකව සිතන විට අකුසල සිත් නොපෙනී යයි. එසේ ම සිත නින්දාවට පත් කරන විට කුසල සිත් නො පෙනී යයි. මේ නිසා සිත දැකිය යුත්තේ එම තත්ත්ව දෙකෙන් මිඳී ඒ ඒ සිත්වල හේතුඵල සබඳතාව මනාව සලකා බලන කල්හි ය. එවිට සිත සංසිඳේ.

ධම්මානුපස්සනා සතිපට්ඨානය යනු ප්‍රහාණය කළ යුතු සහ වැඩිය යුතු ධර්මයන් අනුව සලකා බැලීමෙන් සිහිය පිහිටුවීම යි. එය කළ හැක්කේ කෙසේ ද? එනම්, 1. පඤ්ච නීවරණ වශයෙන් බැලීම 2. පඤ්ච උපාදාන ස්කන්ධ වශයෙන් බැලීම, 3. අභ්‍යන්තර – බාහිර ආයතන වශයෙන් බැලීම, 4. සප්ත බොජ්ඣංග වශයෙන් බැලීම, 5. චතුසත්‍යය වශයෙන් බැලීම අනුව ය. මෙයින් සිදුවනුයේ සිත නීවරණ ධර්මයන්ගෙන් අනාවරණය වී සත්‍යාවබෝධය ලැබීමයි.

සති සම්බොජ්ඣංගයෙහි ආනිසංස

සතිය බෝධ්‍යංග ධර්මයක් සේ වැඩීමෙන් ලැබෙන උසස්ම ඵලය නම් මෙලොව දී ම නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට ලැබීමයි. එසේ නොමැති වුවහොත් මෙම ආත්මයේ දී ම උපාදාන සහිත වූයේ, අනාගාමී ඵලයවත් ලබා ගත හැකි බව සඳහන් වේ. මෙම තත්වයන්ට පත්වීමට පෙර ලැබෙන ලාමක වුව ද ලැබෙන ලෞකික ප්‍රතිලාභ රාශියක් වේ. මිනිස් ඇස ඉක්මවූ පිරිසුදු දිව්‍යමය ඇසකින් ලෝකයාගේ තතු දැන ගැනීමට හැකි වීම ඉන් එකකි. ඒ අනුව ඔහුට සත්වයාගේ සුගති, දුගති, රූමත්වීම්, විරූපවීම් ආදී කර්මානුරූප ව මිනිසා ලබන අත්දැකීම දැක ගැනීමට හැකියාව ලබයි. එම තත්වයට පත්වීමට පෙර ඔහු හෝ ඇය හෝ පෙර සිය දහස් ගණන් ආත්මවල විසූ ආකාරය දැක ගැනීමේ ශක්තිය හෙවත් පූර්වේනිවාසානුස්මෘති ඥානය ලබා ගැනීම ද තවත් ඵලයකි. මෙයිනුදු සංසාරයේ ස්වභාවය හා කර්මය, එහිදී සක්‍රිය වන ආකාරය තහවුරු කර ගැනීමේ හැකියාවක් පවතී. ඊට පෙර එනම් පූර්වේනිවාසානුස්මෘති ඥානය ලබා ගැනීමට පෙර ලබන හැකියාවක් වන්නේ වෙනත් අයගේ සිත් විනිවිද දැක ජීවත්වීමට හැකි වීමයි. ඒ අනුව වෙනත් අයගේ සිත රාග සිතක් ද, නැතහොත් විරාග සිතක් ද, ද්වේෂ සහගත සිතත් ද නැතහොත් ද්වේෂ රහිත හෙවත් මෛත්‍රී සිතක් ද, මෝහය බහුල සිතක් ද නැතහොත් අමෝහ සිතක් ද, වික්ෂ්ප්ත සිතක් ද, නැතහොත් අවික්ෂිප්ත සිතක් ද යනාදී වශයෙන් අනෙක් අයගේ චිත්ත ස්වභාවය හඳුනා ගැනීමේ හැකියාවක් ලබයි. මෙම තත්වයට පෙර ලෞකික අත්දැකීමක් වශයෙන් උසස් ක්‍රියාකාරකම් කිරීමේ හැකියාවක් සතිය වැඩීමෙන් ලැබේ. එනම් එම පුද්ගලයාට අහසින් යාම, දියමත යාම, විවිධ වේෂයන්ගෙන් පෙනී සිටිය හැකි වීම, ලෝකයා තම වසඟයෙහි පවත්වා ගැනීමට හැකිවීම යනාදී ඍද්ධි ප්‍රාතිහාර්ය පෑමේ ශක්‍යතාවක් ලබයි. ලෞකික පුද්ගලයකු වශයෙන් වුව ද එම හැකියාවන් ලබා ගැනීමේ පූර්ව අවශ්‍යතාවක් වන චතුර්ථ ධ්‍යානය ඉතා පහසුවෙන් ලබා ගැනීමට හැකිවීම සතිය ප්‍රගුණ කිරීමෙන් ලැබෙන තවත්  ප්‍රතිලාභයකි. මෙයට අමතර ව ලොව ජීවත්වන සාමාන්‍ය පුද්ගලයකු වශයෙන් සීතලට හා ඌෂ්ණයට ඔරොත්තු දිය හැකි, සා පවස් දරාගත හැකි ශාරීරික හා මානසික ශක්තියක් ලබා ගැනීමට හැකිවීම, මැසි මදුරු ආදී සතුන්ගෙන් වන හානිවලට භාජනය නොවීම හා එබඳු හිංසා මඟින් සිදුවන මාරාන්තික ව්‍යසනවලට පත් නොවීම ද මානසික කනස්සල්ලකින් තොරව ජීවත්වීමට ලැබීම ද යනාදී ප්‍රතිලාභ රාශියකි. බිහිසුණු සාංසාරික අත්දැකීම් වලදී සතිය වඩන්නාහට කිසිදු කම්පාවක් නොමැති ව විසිය හැකි වන අතර, උපන් භය සමතික්‍රමණය කොට සිටීමේ හැකියාවක් ද ඇත. මේ අනුව ලෞකික සත්වයකු වශයෙන් විශාල ප්‍රතිලාභ රාශියක අත්දැකීම් සහිතව ජීවත්වීමේ වාසනාව සතිය වඩන්නාට හිමිවන අතර, ධ්‍යානලාභී පෞරුෂේය උත්තුංග මනුෂ්‍යයකු වශයෙන් ද විස්මිත ක්‍රියාකාරකම් කරමින් ජීවත් වීමට හැකිවේ. අවසානයේ දී ලෝකය පිළිබඳ යථාර්ථාවබෝධයෙන් නිර්වාණය පසක් කළ හැකි ය. ඉහත දැක්වූ පරිදි රහත් විය නො හැකි වුවහොත් උපාදාන සහිත බව නිසා අනාගාමී තත්වයටවත් පත්විය හැකි ය. මේවා සියල්ල සතිය වැඩීමෙන් ලැබෙන ප්‍රතිලාභයෝ ය. එහෙත් සති සම්බොජ්ඣංග ධර්මයක් වශයෙන් වැඩීම බුද්ධත්වය සාක්ෂාත් කර ගැනීම දක්වා වන විවිධ මාර්ගඵල ප්‍රතිලාභය ම අරමුණු කොට ඇත්තේ ය. එබැවින් සතිය භාවනාවක් ලෙස වැඩීමෙන් ලැබෙන ලෞකික අලෞකික ආනිසංශ පිළිබඳ සවිඥානික විය යුතු ය. සතියෙන් අප කරනුයේ කණ්ණාඩියක් ඉදිරියේ අප කරන කාර්යයට සමාන වූවකි. එනම් සිහියෙන් අපි අප ම විනිවිද දැකීමකි. සති භාවනාවෙන් අප කවුරුන් දැයි අපට හඳුනාගත හැකි වන අතර, එය අපගේ දියුණුවට කරුණකි.

© Satipatthāna Magazine

You might also like
en English
X
X