ගුප්ත විද්‍යාවේ සුල මුල…
ලාංකීය සමාජය තුළ ඈත අතීතයේ සිටම පැවත එන විද්‍යාවන්ගෙන් එකක් ලෙස ‘ගුප්ත විද්‍යාව’ හැඳින්විය හැකිය. ඒ අනුව පළමුවෙන්ම ගුප්ත විද්‍යාව යනුවෙන් අර්ථවත් වන්නේ කුමක්දැයි යන්න පිළිබදව අධ්‍යයනය කරනු ලැබේ.
ගුප්ත විද්‍යාව යනුවෙන් නිශ්චිතවම අර්ථ දැක්වීම ඉතා අපහසු කාර්යයකි. කෙසේවෙතත් ගුප්ත විද්‍යාවන් ලෙසට ජ්‍යොතිෂය, යන්ත්‍ර මන්ත්‍ර, සෙත්කවි, වස්කවි හා අධි මානසිකයින් සියල්ල හඳුනාගත හැකිය.
එමෙන්ම ගුප්ත විද්‍යාවට අයත් සියල්ලම පර්යේෂකයා විසින් පර්යේෂණ කාර්යය සඳහා යොදා ගැනීමට අපේක්ෂා නොකරන අතර ජ්‍යොතිෂය හා බෞද්ධ වත් පිළිවෙත් යන ක්ෂේත්‍රයන් කෙරෙහිද අවධානය යොමු නොකිරීමට අපේක්ෂා කෙරේ.ඒ අනුව පර්යේෂකයා විසින් ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරනුයේ ගුප්ත විද්‍යාවන්හී ප්‍රධාන ක්ෂේත්‍රයක් වන ‘යන්ත්‍ර මන්ත්‍ර’ කෙරෙහිය.
යන්ත්‍ර මන්ත්‍ර හා ගුරුකම් පිළිබඳ අවධානය යොමු කිරීමේදී එය ප්‍රධාන කොටස් ගණනාවක් යටතේ විස්තර කරනු ලැබේ. එනම්;
අණවිණ කොඩිවිණ ඉනාව වස් දොස් නිවාරණය පිල්ලි,වශී ගුරුකම් අංගම්,නඩු ජයග්‍රහණ ග්‍රහ අපල නිවාරණය
කෙම් ක්‍රම
ගුප්ත විද්‍යාව අභිවාර ලෙස හඳුනාගත හැකිය. ඒ අනුව අභිචාර යනුවෙන් හැඳින්වෙන්නේ කුමක්දැයි විද්වත් මත පිළිබද මෙහිදී අවධානය යොමු කරනු ලැබේ.
සිංහල විශ්වකෝෂයේ ‘අභිචාර’ යන්න පැහැදිලිකෙරෙන්නේ මෙසේ ය. යම් කිසි අභිමතාර්ථයක් ඉටුකර ගැනීමට කරන අණ, විණ, හූනියම් ආදිය අභිචාරවිධි නමින් හැඳින්වේ (අමරසේකර,2012:160).
ඉහත නිර්වචනය අනුව පැහැදිලි වන්නේ පුද්ගලයින් තම දෛනික ජීවිතය තුළ මුදුන් පමුණුවාගැනීමට අපේක්ෂිත අරමුණු හා ඉලක්ක සපුරාගැනීම සඳහා අණවිණ, හූනියම් ආදී වූ අභිචාරයන් භාවිතයට ගැනීමට හුරුපුරුදු වී ඇති ආකාරයයි.
අභිචාර කියන්නේ අධි ස්වභාවික බලවේගයක් යම් කිසි ක්‍රමයක් මඟින් නතුකර ගැනීමයි.
හොඳට හෝ නරකට මේ අභිචාර ක්‍රම යෙදවිය හැකිය. ඒවා ආගමික ක්‍රියාවලියෙන් වෙනස් වේ.
යාඥාව හා පුදපූජාඅභිචාර ක්‍රමයයි. ඉන් ඉහළ බලවේගවලින්, දෙවියන්ගෙන් යම් යම් දේ ඉල්ලනු ලැබේ. අභිචාර මගින් කරන්නේ ඒවා මඟින්ම යම් යම් දේ ලබා ගැනීමය (රත්නපාල,2001).
නන්දසේන රත්නපාලයන්ගේ අර්ථ දැක්වීම අනුව අපට නොපෙනෙන බලවේගයන් තුළින් යහපත් හෝ අයහපත් ක්‍රියාවන් වෙනුවෙන් යම් යම් දේවල් ලබාගැනීමට උත්සාහ දරනු ලබන අතර ඒවා ආගමික ක්‍රමයන්වලින් ඉඳුරාම වෙනස් වන්නාවූ ක්‍රියාවලියකි.
අභිචාර පිළිබඳ පුළුල් විග්‍රහයක් ජේම්ස් ෆ්‍රේසර් විසින් ඉදිරිපත් කර ඇත. ඔහු අභිචාර යනුවෙන් හැඳින්වූයේ,“ආගමික සංස්ථාවේ ආරම්භයට පාදක වූ විශ්වාස හා ක්‍රියාකාරකම් පද්ධතියක් වන අතර කිසියම් අභිමතාර්ථයක් ඉටු කර ගැනීමට උපයෝගී කර ගන්නා බැවින් විද්‍යාත්මක බඳු වූවත් මිත්‍යා මත පදනම් කොට ගෙන ඇති බැවින් ව්‍යාජ විද්‍යාවක් යනුවෙනි” (අමරසේකර,2012).
ඉහත නිර්වචනය අනුව පැහැදිලි වන්නේ සමාජයේ වැදගත් සමාජ සංස්ථාවක් වශයෙන් විග්‍රහ කරනු ලබන ආගමික සංස්ථාවේ ආරම්භය සඳහා ද පාදක වූ විශ්වාස හා භාවිතාවන් පද්ධතියක් ලෙස අභිචාරයන් හඳුනාගත හැකි බවකි.
එසේම මේවා මිත්‍යා මතවාද උපයෝගී කරගනිමින් පුද්ගල අභිමතාර්ථ සාධනය පිණිස භාවිත කරනු ලබන බව වැඩිදුරටත් විශ්වාස කරනු ලබන බවයි.
කල්යෑමේදි මෙම මුල්යුගවල අයට අභිචාරී කටයුතුවල අර්ථ ශූන්‍ය බව වැටහෙන්නට ඇත. අභිචාරී කටයුතු වලට වඩා අධි ස්වභාවික බලවේග ලෝකයේ ඇති බව ඔව්හු පිළිගත්හ. එය සිදුවුයේ පරිනාමයේ නූතන අවධියේදි ස්වභාවික නීති ඇතැයි පිළිගැනීමෙනි
මහාචාර්ය නන්දසේන රත්නපාලයන්ගේ කෘතියේ මේ පිළිබඳ විස්තර කර ඇත. ඉන්දියාවේ මෙන්ම ඕස්ට්‍රේලියාව වැනි රටවල් වල අභිචාර ක්‍රම තිබු බවට සාක්‍ෂි දරයි. තවද ඒ තුළින් මිනිසුන් මුල් කාලයේ සුවයක් හෙවත් මානසික සහනයක් ලබා දුන් බව විග්‍රහ කර ඇත. කල්යත්ම අධි ස්වභාවික බලවේග මිනිසුන් තුළට පැමිනීමත් සමඟ ඔවුන් අභිචාර වලින් ඈත් වු බවත් මෙහි දක්වා ඇත. අපට ගම්‍ය වන්නේ විවිධ රටවල් වල අතිතයේ අභිචාර විධි තිබු ආකාරයත්එය එක් එක් රටකට සීමා නොවුනු අතර අභිචාර ඇති වීමට එක් එක් ආගම් මගින් පෝෂණයක් ලැබු බවද විද්‍යාමාන වේ.
ලංකාවේ ගුප්ත විද්‍යා ප්‍රභවය හා ඉතිහාසය ගත් විට එය ඈත අතීතය දක්වා ගමන් කරයි. රාම රාවනා කාලයේ සිට මෙය පැවතුනු බව පැරණි ග්‍රන්ත වල සඳහන් වේ. ලංකාවට මෙය විවිධ ආගම් සමඟ සංක්‍රමණ වු බව පෙන්වා දිය හැකිය. එනම් බුදු දහම මගින් අභිචාර ක්‍රම ව්‍යාප්ත වු අතර එසේම මුස්ලිම් වරුන් වෙළඳ ව්‍යාපාරිකයින් සමඟ බැලුවිට ඔවුන්ටම ආවේනික අභිචාර ක්‍රම ද ලංකාවට පැමිණවීම දැකගත හැකිය. තවද ඉන්දියාවෙන් භික්ෂුන් වහන්සේලා ලංකාවට සංක්‍රමණය වීමත් සමඟ ඉන්දියාවට ආවේනික වු අභිචාර ක්‍රම ලංකාව තුළ වර්ධනය විය. එසේ වර්ධනය වීමත් සමඟ ලංකාව තුළ අපට දැකගත හැකිවන්නේ බහු අභිචාර ක්‍රමවේ. බහු ආගමික රටක් වන ලංකාව තුළ බහු අභිචාර ක්‍රම නිසා විවිධ ගුප්ත විද්‍යා ක්‍රම වර්ධනය වීමක් ගම්‍යමාන වේ.
ශ්‍රී ලාංකික ගැමි සමාජය අධ්‍යයනය කළ ඊ.ආර්. ලිච්’ ගැමියා අලුතින් කුඹුරක් අස්වැද්දීමේදී ගමේ සියලු ගොවින් වනාන්තරයේ සුදුසු භූමි භාගයක් තෝරාගෙන එතනට රැස් වී දෙවියන්ට ආරාධනා කොට සුභ නැකතකට ගස් කපා වැඩ අරඹන බව ප්‍රකාශ කරයි.
අතීතයේ සිටම ලංකාව තුළඅභිචාර විධි තිබු බව සාහිත්‍ය විමර්ශනය මගින් පැහැදිලි වේ. එනම් යම් සුභ සිද්ධියක් කිරීමට පෙර නැකැත් සැදීම, වෙලාවල් බැලීම මගින් සුභ හෝරා මගින්ද බලාපොරොත්තු වන්නේ අවසානයේ යහපත් ප්‍රතිඵලයකි. තවද දෙවියන්ගේ ආරක්ෂාව මේ මගින් බලාපොරොත්තු වේ. අද කුඹුරක් වගා කරන විට හොඳ වේලාවක් බලා බීජ ඉසිම කරනු ලබන අතර මෙය පැරණි චාරිත්‍ර ක්‍රමයකි. ඒ මගින් පෙනි යන්නේ යාතු කර්ම මෙන්ම අභිචාර විධි අතීතයේ සිටම පැවත එන්නක් බවයි. මෙසේ මනුෂ්‍ය වර්ගයාගේ යහපත ඇති කිරීම මේ මගින් බලාපොරොත්තු වේ.
කෝට්ටේ රාජ්‍ය සමයේදි සිංහල බලි යාගයක් බිහි වන්නේ බෞද්ධ සභ්‍යත්වයක් මූලික කොටගෙන මෙතෙක් බලියේ පැවති බලි පූජා පිදේනි ඉවත් කරවමිනි. වීදාගම හිමියන්ගේ ප්‍රමුඛත්වයෙන් බිහිවන බලිය වු කලි ලංකාවේ යාග කිරීම කෙරෙහි බෞද්ධ භික්ෂුන්ගේ අනුග්‍රහය නොමගව ලැබීම සම්බන්ධ කදිම නිදසුනකි. (ජිනදාස,2010)
ලාංකිය ජන සමාජය තුළ භාවිත වන තවත් එක් ගුප්ත විද්‍යා ක්‍රමයක් ලෙස බලි හඳුනාගත හැකිය.මෙම බලි කෝට්ටේ යුගයේ පවා දැකගත හැකි අතර මෙයට දිර්ඝ ඉතිහාසයක් ඇත. කෝට්ටේ යුගයේ මිනිසුන් තුළ මේ පිළිබඳ ඇදහීම දැකගත හැකිය. එසේම දැඩි එල්ඹ ගැනීමක් තිබුණේය. ලංකාව තුළයන්ත්‍ර මන්ත්‍ර මෙන්ම බලි යාග පන්සල් ආශ්‍රය කරගෙන බිහි වු බවක් මේ මගින් සනාථ වේ. පන්සල් තුළින් සමාන්‍ය ජනතාවට මෙය ලංකර දිම හා සුදානම මත මේ ගුප්ත විද්‍යා සියල්ල රඳා පවතින බවද ඒ මගින් ජන ජිවිතයට එක් කරන බව පෙන්වා දිය හැකිය.
ඈත අතීතයේ සිට ම යන්ත්‍ර ඇඳීම සහ ලිවීම සඳහා ප්‍රධාන වශයෙන් භාවිතා කොට ඇත්තේ රත්තරන් තහඩු, රිදි තහඩු, තඹ තහඩු හා පුස්කොළ ය. ඊට අමතරව සුළු සුළු ශාන්තිකර්ම හා රෝග සුව කිරීම සඳහා කෙම් ක්‍රම භාවිතා කරමින් උළුවහු, යටලි ශාක පත්‍ර ආදියේ යන්ත්‍ර හා සමාන ජ්‍යාමිතික සටහන් අදිමින් ශාන්තියක් උදාකරගෙන ඇත. (රත්නායක, 2017)
මුල් යුගයේ යන්ත්‍ර මන්ත්‍ර කටපාඩම් මගින් පමණක් තිබු බවත් පසුව ඒවා විවිධ උපකරණ භාවිතා කරමින් විවිධ තහඩු මත ලිවීමක් සිදු විය. තවද ඒ මගින් යන්ත්‍ර ශාස්ත්‍රයක් ලිඛිත ලෙස බිහි වු අතර ඒ මගින් ලංකාව තුළ යන්ත්‍ර ශාස්ත්‍රය ජනප්‍රිය වීම හදුනාගත හැකිය. පුරාණ ලංකාවේ ජනයා පන්සල වටා කේන්ද්‍ර වු අතර ඒ නිසා බොහෝ විට අතීතයේ යාග කර්ම, මන්ත්‍ර කලාව පන්සල කේන්ද්‍ර කරගෙන බිහි විය.
ඉහත කරුණු අනුව බලන විට ලංකාව තුළ බහු යන්ත්‍ර මන්ත්‍ර කලාවක් දැකගත හැකිය. මෙසේ බහු යන්ත්‍ර කලාවක් බිහි වීම සඳහා දේශිය විදේශිය අක්‍රමණ මෙන්ම සංක්‍රමණ ප්‍රබල ලෙස බලපා ඇත. ගනුදෙනු මෙන්ම ජාත්‍යන්තර සබඳතා මගින්ද ලංකාව තුළ ගුප්ත කලාව බිහි වී ඇති බව කිව හැකිය.
පර්යේෂකයා මෙහිදි ප්‍රධාන ලෙස යන්ත්‍ර මන්ත්‍ර හා ගුරුකම් දෙස අවධානය යොමු කිරිමට අපේක්ෂා කෙරේ. එසේම මෙම යන්ත්‍ර මන්ත්‍ර වල ඉතිහාසය මීට ඉහතදි සාකච්ඡා කළෙමු. යන්ත්‍ර යනු පත්‍රවල හෝ වෙනත් තඹ තහඩු වල ලියන ලද අක්‍ෂර ක්‍රමයක් වේ. මෙය කිරීමේදී ප්‍රධාන ලෙස එය කරනු ලබන යන්ත්‍රකරුවා පේවි සිටීම අනිවාර්ය වේ.
යන්ත්‍ර සකස් කිරීම සඳහා භාවිතා කරන්නේ රන්තහඩු, තඹ තහඩු සහ පුස්කොළ බව මෙහි ඉහත සඳහන් විය. එහෙත් ඒවා එක එක් කෙනාගේ හිතු මතයයට කරනු නොලැබේ. ඒ සඳහා සම්මත මිමි ඇත. ශාස්ත්‍රය පදනම් කරගත් එම මිමි ක්‍රම සම්ප්‍රදායක් සේ භාවිතයේ පවති..
යන්ත්‍රයක් සකස් කිරීමේදි පළමුව යන්ත්‍රකරුවා පේවීම සිදු කළ යුතු අතර යහපත් මනසකින් සිටිය යුතුය. එසේ නොවන විට සිදු වන්නේ උච්ඡාරණයේ යම් යම් අඩු පාඩු කම් වේ. තවද අදාළ පුද්ගළයා නිර්මාංශ විය යුතු අතර නියම ආකාරයට පුද පූජා කිරීම මගින් නියම ප්‍රතිඵල ලගා කරගත හැකිය. යන්ත්‍රයක් ජප කිරීමට ප්‍රථම එම ස්ථානය හා එම ස්ථානයේ සිටින සියලු දෙනාගේ කිළි දෝෂ අයින් කරගත යුතුය. ඒ සඳහා භාවිතා වන මන්ත්‍ර ලෙස,
ඕං ත්‍රිෂ්ට්‍යා අසජ්ජ උරිංචි පොන්තාල් නමෝ ඒස්වා හ:
යනමන්ත්‍රය භාවිත කළ යුතුය. ඒ මගින් සම්පූර්ණ පිරිසිදු වීමක් බලාපොරොත්තු වේ.
මන්ත්‍ර යනු එක්තරා නීති රීති සමුදායකට අනුකූලව නිපදවා ගන්නා ලද වචන එකතුවක් ලෙස හැඳින්වෙන අතර “මතන” හෙවත් මනස මෙහෙයවා කරන චින්තනය හා ව්‍යුක්ත වීම යන අර්ථය දෙන “ත්‍රාන” යන කොටස් දෙකම එක් වීමෙන් සැඳි ඇත. අනුසාරයෙන් ගොඩ නගා ගන්නා ලැබු ඥානය මගින් සියලු බැඳිම් වලින් එනම් සංසාර බැඳීම් වලින් නිදහස් වීම වේ. සෑම මන්ත්‍රයකම යම් කිසි අරුතක් ගැබ්ව ඇත.
මන්ත්‍ර ප්‍රධාන කොටස් 03 කි.
1 පුරුෂ ලිංග මන්ත්‍ර
මේවා පුරුෂ ලිංග දේවතාවන්ට අයත් වේ.
2 ස්ත්‍රි ලිංග මන්ත්‍ර මේවා ස්ත්‍රී දේවතාවන්ට අයත්ය. “ස්වාහා” යන ශබ්දයෙන් අවසාන වේ.
3 නපුංශක ලිංග මන්ත්‍ර
මේවා නමඃ යන ශබ්දයෙන් අවසන් වේ.
මන්ත්‍ර වලට අනුගත වු නිර්මාණ වු විවිධ පිළිවෙත් ගණනාවක් ඇත. ඒවා පහත දැක්වේ.
1 ගණ දෙවියන් පිදීම
2 මන්ත්‍ර කාර්යට වරම් ලබා ගැනීම.
3 අදාළමන්ත්‍ර දේවතා හෝ යක්‍ෂයා සිහි කොට කාර්ය සාධනය අපේක්‍ෂා කිරීම.
4 ඇදුරු ආරක්ෂාව සලසා ගැනීම.
5 නාම ජිවම සිදු කිරීම.
6 පුජා විධි සිදු කිරීම
7 දිෂ්ටි ලබා ගැනීම.
8 ජපය ආරම්භ කිරීම
(රත්නායක,2012)
මන්ත්‍රයක් ජප කිරීමේදි අනෙක් යාතු කර්මවල මෙන් පිරිසිදු භාවය වැදගත් වේ. එනම් “කිළි” නොතිබිය යුතුය. කිළි ඇති විට මන්ත්‍රයේ ගුණ ප්‍රමාණාත්මක ලෙස ලබා ගත නොහැක. මන්ත කාරක මත්පැන් හා මස් මාංශ වලින් තොර විය යුතුය. මේ සියල්ලෙන්ම වැළකි මන්ත්‍ර ජප කිරීම මගින් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකි වන අතර රෝග සුව කළ හැකි වේ.
යන්ත්‍ර මන්ත්‍ර ගැන විග්‍රහ කරන විට ප්‍රධාන ලෙස හඳුනාගත හැකි කරුණක් වන්නේ අෂ්ට කර්ම වේ. මෙය බෙහෙවින් වැදගත් වන අතර වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ප්‍රභේද 08 කින් යුක්ත වේ.
1. වශි කර්ම
2. ආකර්ශන කර්ම
3. මෝහන කර්මය
4. ස්ථම්භන කර්මය
5 . ශාන්ති කර්මය
6 . විද්වේශ කර්මය
7. උච්චාටන කර්මය
8. මාරණ කර්මය
යනාදියයි.
මේ සියලු යාතු කර්ම වලින් බලාපොරොත්තු වන්නේ යම් අමනුෂ්‍ය බලයක් නිසා ඇති වු රෝගාබාධ සුව කිරීමයි. එසේම ඒ මගින් යම් මානසික ශාන්තියක් බලාපොරොත්තු වන්නේය.
ගුප්ත විද්‍යාව වර්තමානය වන විට විශාල වශයෙන් සමාජගත වී ඇත. දිනෙන් දින එම විශ්වාසයන් වටා ජනතාව එක්වී ඇත. කෙම්මුර දිනයන්හිදී දේවාලයන්හි විශාල ජනතාවක් දැකගත හැකි බව දෙනගම උතුර පදිංචි ගුප්ත විද්‍යාචාර්ය ඇම්.ඩී ඩයස් හේමකීර්ති පවසයි. තාක්ෂණයෙහි දියුණුවත් සමඟ පසුගිය කාල වකවානුව වන විට ගුප්ත විද්‍යාව යම් ආකාරයක පසු බැසීමක් දැකගත හැකි වුවත් වර්තමානයෙහිදී තාක්ෂණය සමඟ බද්ධ වෙමින් ගුප්ත විද්‍යාව නව පියවර රාශියක් ඉදිරියට ගොස් ඇත. වර්තමානයෙහි පුවත්පත් මාධ්‍ය නිරීක්ෂණය කිරීමේදී ලංකාවේ ප්‍රසිද්ධ පුවත්පත්හි විශාල වශයෙන් ගුප්ත විද්‍යාව පිළිබඳව දැන්වීම් අඩංගුව ඇත. එහිදී තැපැල් මඟින් ගෙන්වා ගැනීම දක්වා අද ගුප්ත විද්‍යාව වර්ධනය වී ඇත. ඒ අතර නව මාධ්‍ය හා සම්බන්ධ වෙමින් ජ්‍යොතිෂ්‍ය කටයුතු විශාල වශයෙන් සිදුවේ. හඳහන් පරීක්ෂාව, පොරොන්දම් පරීක්ෂාව, නැකැත් සහ වෙනත් ගුප්ත විද්‍යාවන් නව මාධ්‍ය හරහා සිදුවීම හේතුවෙන් වඩා සක්‍රීය ලෙස මෙම කටයුතු වලට නැඹුරුවී ඇති ආකාරය හඳුනාගත හැකිය. නැකැත් බලා සුබ ගමනක් යාමද ආරම්භ කිරීමට මිනිසුන් අදටත් පෙළඹී ඇත්තේ මෙම ගුප්ත විද්‍යාවේ බලපෑම හේතුවෙනි.
තෙරුවන් සරණයි🙏
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood