අනන්ත වූ බුදු ගුණ…
බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මස්කන්ධය කෙතරම්ද? දිනක් උන්වහන්සේ ඇට්ටේරියා වනයක් මැදින් ගමන් කරන කළ, අතට ගත් කොළ ස්වල්පයක් පෙන්වා ආනන්ද ස්වාමින් වහන්සේට දේශනා කළේ, “තමන් වහන්සේ අවබෝධ කරගත් ධර්මස්කන්ධය මේ ඇට්ටේරියා වනයම තරම් නම්, ලෝක සත්වයාට දේශනා කළේ මේ අතේ ඇති කොළ ස්වල්පය තරම් ප්‍රමාණයක් බවයි. නමුත් ඒ ප්‍රමාණයද සංසාර දුකෙන් මිදී ඉන් එතෙර වීම සඳහා කිසිඳු අඩුවක් නැති, පූර්ණ ධර්මයක් බවය”. එසේ නම් උන්වහන්සේගේ සර්වඥතා ඥාණය ගැන අපට සිතා ගැනීමටවත් හැකිද?
මේ ලෝකයේ දත යුතු ධර්මතාවයන් කොතෙක් වීද, සර්වඥතා ඥාණයද ඒතාක් වෙයි. බුදුරජාණන්වහන්සේගේ සර්වඥතා ඥාණය කොතෙක් වීද, මේ ලෝකයේ දතයුතු ධර්මතාවයන් එතෙක් වෙයි. උන් වහන්සේ මේ ලෝකය පිළිබඳව නොදන්නා දෙයක් නොමැත. මේවා අතිශයෝක්තියකින් කියනා කාරණා නොවේ. වරෙක ප්‍රඥාවෙන් අග තැන්පත් සැරියුත් ස්වාමින් වහන්සේ බුදුරජාණන්වහන්සේ හමුවට පැමිණ පැවසූයේ, ස්වාමිනි මහා සාගරයේ ජලය මැන නිමකිරීමට නොහැකිය. නමුත් යම් කෙනකුන් විසින් එය කළද, ඔබ වහන්සේගේ සර්වඥතා ඥාණය මෙපමණකැයි කිසිවකුට මැන ප්‍රමාණ කළ නොහැකිය යන්නයි. මේ අයුරින් උන් වහන්සේ උපමා කීපයක් ගෙන හැර දක්වමින් කියා සිටියේ, සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥාණයේ ඇති ශ්‍රේෂ්ටත්වයයි. බුදුරජාණන්වහන්සේ ගේ සර්වඥතා ඥාණය මේ මුළු අහසම තරම් නම්, සැරියුත් ස්වාමින් වහන්සේගේ ප්‍රඥාව ඉඳිකඩු සිදුරකින් දකින අහස තරම් ප්‍රමාණයක් වේ. එතෙකින් නම් උන්වහන්සේගේ සර්වඥතා ඥාණය පිළිබඳව දත යුතුය. එය සැරියුත් මහ රහතන් වහන්සේගේ ප්‍රඥාවේ අඩුවක් නොව, බුදු රජාණන් වහන්සේගේ සර්වඥතා ඥාණ්යේ ප්‍රමාණය විදහා දැක්වීමට භාවිතා වන උපමාවකි.
සසර පුරා අනේක විද පාරමි ධර්මයන් පුරා පැමිණි උන්වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ශණයන්ගෙන් හෙබි ශ්‍රී ශරීරය මොන තරම් දැකුම්කළුද? දුටු දුටුවන් වශීකෘත කරයි. එදා ඇතැම් අය මහණ දම් පිරූවේ උන්වහන්සේගේ ශ්‍රී දේහය දෙස බලා සිටීමට තිබූ ආශාව නිසාය.
සෑම අතින්ම උන් වහන්සේ අසම සමය. උන්වහන්සේ අසම වන්නේ තවත් බුදුකෙනෙකුට හැර අන් කවරෙකුටත් නොමැති මහා සර්වඥතා ඥාණයකින් සමන්නාගත වන නිසාය. අන් කවරකුටවත් නැති සෘධි විද ඥාණයන්ගෙන් සමන්නාගත නිසයි. මහා සමාධි ස්කන්ධයකින් , මහා කරුණා ගුණයකින් සමන්නාගත නිසයි. මෙකී නොකී බුදු කෙනෙකුටම පමණක් සුවිශේෂ වූ අති විශාල ගුණස්කන්ධයකින්, ඥාණ සම්පත්තියකින් හෙබි නිසාය. උන්වහන්සේ සම වන්නේ මෙතෙක් ලොව පහළ වුන සහ ඉදිරියේදී පහළ වීමට නියමිත බුදුරජාණන් වහන්සේලාට පමණකි. මෙවැනි අසම සම උත්තමයකු ගැන මෙනෙහි කිරීමෙන් ඇති වන කුසලය ගැන කවර නම් සැකයක්ද? අප නිතර කෙලෙස් බරිත සිත්වලින් කෙලෙස් පෝෂණය කරමින් සිටී. සාමාන්‍ය මනසක ක්‍රියාකාරිත්වය රඳා පවතින්නේ ආයතන වලට ගෝචර වන අරමුණු මතය . අපි නිතරම රාග, ද්වේශ , මෝහ සිත් ඇතිව කාලය ගත කරයි . මෙවන් සිතක බුදුකෙනෙක් ගේ ගුණයන් මෙනෙහි කිරීමට සිත් ඇතිවීම කෙතරම් නම් භාග්‍යක්ද යන්න සිතා බලන්න.
බුදුගුණ සිහිකරමින් කරන භාවනාව අති මහත් වූ කුසලයකි. මක්නිසාද යත් අපි සිහිපත් කරන්නේ රාගය යේ මුල තමා විසින්ම සොයාගෙන එය ප්රහාණය කල උතුම් වූ ඒ බුදු රජාණන් වහන්සේගේ ගුණයි. ද්වේශයේ මුල තමා විසින්ම අවබෝධ කරගෙන එය ප්රහාණය කල උතුම් වූ ඒ බුදු රජාණන් වහන්සේගේ ගුණයි. මෝහයන් ගේ මුලයන් තමා විසින්ම අවබෝධ කරගෙන එය ප්රහාණය කළ උතුම් වූ ඒ බුදු රජාණන් වහන්සේගේ ගුණයි.
මුලිකව බුදුගුණ වැඩීමට සැරසෙන ඔබ බුදු රජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව ඇතිවෙන ධර්ම කතා හොඳින් කියවා සිතේ ධාරණය කරගන්න. කෙනෙකුට උන්වහන්සේ සත්වයාට කරුණාව දැක් වූ ආකාරය කියවීම ඇසීම ශ්‍රද්ධා ඉන්ද්රිය වඩ වඩාත් ක්‍රියාත්මක වීමට හේතු වේ. තවත් අයෙකුට උන් වහන්සේ පුරුෂයන් දමනය කළ ආකාරය කියවීම ඇසීම ශ්‍රද්ධා ඉන්ද්රිය ඒ අයුරින් ක්‍රියාත්මක වීමට හේතු වේ. තවත් අයෙකුට උන්වහන්සේගේ සර්වඥතා ඥාණය ගැන ඇසීමෙන් සිතේ ශ්‍රද්ධා ඉන්ද්රිය බලවත් ලෙස ක්‍රියාත්මක වීමට හේතු වේ. මෙසේ ඔබ විසින් සම්මා සම්බුදු බුදු රජාණන් වහන්සේගේ කිනම් හෝ ගුණයකට බොහො ළැදි කමක් දක්වන්නේද යන්න සිතා බලන්න. එසේ ඔබ කැමතිම බුදු ගුණය ගැන කරුණු කාරණා රැස්කර කියවා බලා උන් වහන්සේ මෙම ගුණය කෙසේ වඩන්නට ඇත්ද යන්න විමසිලිමත්ව මනසිකාර පැවැත්වීම ශ්‍රද්ධාව වැඩිවීමට උපකාර වේ.
මෙසේ කීහිපවිටක් විමසා බුදුගුණ නවය පිළිවෙලින් වෙන්වෙන්ව ඒවාහි තේරුම දැන සිතට නඟමින් භාවනා කරන්න.
අරහං
සම්මා සම්බුද්ධො
විජ්ජාචරණ සම්මපන්නෝ
සුගතො
ලොකවිදූ
අනුත්තරො පුරිසදම්ම සාරථි
සත්ථා දේවමනුස්සානම්
බුද්ධො
භගවා
ඔබ ඉදිරියේ බුද්ධ රූපයක් සිතින් මවාගෙන ඒ බුද්ධ රූපය වටා සිතට නඟන බුදුගුණය පැතිර ඇති ආකාරය සිතින් දැකීමද භාවනාව තුලින් සමාධියක් ලැබා ගැනීමට උපකාරීවේ.
සිතෙහි සිතුවිලි අඩූවී සිත පිට නොයා තරමක් සිත සමාධි වූ විට ඔබ වැඩියෙන්ම කැමති බුදුගුණය පමණක් නැවත නැවත මෙනෙහි කිරීම සමාධි සිත තවත් වැඩීමට උපකාර කර ගත හැක. මෙහිදීද යම් අවස්ථාවක ඔබගේ සිතේ සිතුවිලි හිස්වී ගොස් බුදුගුණ ගැන සිතුවිලි පහල කිරීමට අමතර අයාසයක් ගැනීමට සිදුවන අවස්ථාවක් පැමිණිය හොත් ඒ අවස්ථාවේ තිබෙන ප්‍රීතියත්, සුඛයත් දකිමින් ඒ දෙසම බලා සිටින්න. මෙය බුදුගුණ භාවනාවෙන් ලැබිය හැකි ඉතා සුළු සමාධි මට්ටමකි. ඇතැම් විට යම් ආලෝක සංඥාද තම සිත තුළ මේ අවස්ථා වේ ඇතිවිය හැක . තවත් අයෙකුට ඉතා පැහැදිලි බුද්ධ රූපයක් සිතේ විද්‍යමාන විය හැක. මෙම ආලෝක සංඥා හෝ රූප පාදක කොට ඒවා වශීකෘත කොට කරන්නාවූ භාවනා ක්‍රම ඇතත් ඒවා ගැන විස්තරයක් මෙහි සදහන් කරනු නොලැබේ. තවද බුද්ධ ජීවිතය තුල සිදු වූ විශේෂ අවස්ථා වලින් තමාට වඩාත් ශ්‍රද්ධාව ඇතිවූ අවස්ථාවක් සිහියට ගෙන එම අවස්ථාවේ බුදුරජාණන් වහන්සේගේ සිත තම සිතින් ස්පර්ශ කිරීම තවත් ඉතා සාර්ථක බුදු ගුණ භාවනා ක්රමයකි. අපට බුදු කෙනෙකුගේ සිත ස්පර්ශ කල නොහැකිය. එය කල හැක්කේ තවත් බුදු කෙනෙකුටම පමණි. නමුත් අපි මේ අවස්ථාවේ අපිට වැටහෙන ලෙස එම අවස්ථා සිතෙන් දැකීමට උත්සාහ කිරීම ඔබට විදර්ශනා වඩන කලකදි බොහෝ ප්‍රයෝජනවත් වේ. මෙහි සඳහන් කර ඇත්තේ බුදුගුණ භාවනා කරන කිහිප අකාරයක් පමණි.
තෙරුවන් සරණයි🙏
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood