Temples of Sri Lanka

“අපල” “සපල” වෙනවා…

නොතැවී ඒවා ගෙවා නිදහස් කර ගන්න..

ජ්‍යෝතිෂයට අනුව ග්‍රහ අපල යනු කෙනෙකුගේ ජීවිතයට බලපාන අයහපත් කටුක කාලපරිච්ඡේදයන්, අසුබ සිදුවීම්, බාධා සහ දුෂ්කරතා වේ.

මේවා බොහෝ විට අතීත පූර්ව කර්මයන්ගේ විපාක ලෙස ග්‍රහයන් හරහා ක්‍රියාත්මක වන අතර, කායික/මානසික පීඩා, ආර්ථික බිඳවැටීම්, රැකියා බාධා හෝ සෞඛ්‍ය ගැටලු ලෙස අත්දැකීමට සිදුවේ

අයහපත් ඵල කියන්නේ, තමන් කරපු අයහපත් හේතූ, තමන්ට බලපානවා. බුදු හාමුදුරුවන්ටත් තිබුනා අපල. බුදු හාමුදුරුවන්ටත් කර්ම දාහතරක් අයපත් ලෙස ඵල දුන්නා. ඒ වගෙම යහපත් ඵල කවුරුවත් කල්පනා කරන්නේ නැහැ. අයහපත් ඵල එකක් තියෙනවා නම් ඒක තමා කල්පනා කරන්නේ. ඒකත් අපි කොයි විදිහෙන් හරි වැය කරලා ගෙවලා ඉවර කරන්න ඕනේ.ජීවත් වෙනවා කියන්නේ මොකද? යහපත් අයහපත් ඵල විපාක ගෙව ගෙවා, වැය කර කර ඉවර කරනවා. ඒකත් හොඳටමයි සිද්ධ වුනේ කියලම හිතන්න ඕනේ. වැය කරහම දැන් ඉවරයි. අතීතයේ තමන් නොදැන කරපු අයහපත් හේතුවක් නිසා, දැන් තමන්ට ඵලයක් ලැබුනා. නමුත් මීට පස්සේ මේවගේ දේවල් නැහැ, ඒවැයින් මිදී නිදහස් වෙනවැයි කියලා හිතන්න ඕනේ. අපලයි කියලා කම්පනයට පත් වුනොත්, බයට පත්වුනොත්, විස්සෝපයට පත්වුනොත් මොකද වෙන්නේ? නැවත වැරදි හේතුවක් කරනවා. නැවත වැරදි දෙයක් කරනවා. වැරදි දේ කරලා ඒක….සමහරවිට ඔය ග්‍රහ පූජාවක්, බෝධි පූජාවක් අරවා, මේවා කරන්න පුළුවන්. කරලා යහපත් ඵලයක් ලැබුනොත් හරි. හිත හදාගත්තොත් හරි. තුන් හිත පිරිසිඳු කරගත්තොත් හරි. ඒ වගේ නැතුව, අර මේ යැද යැද යාක්ඥා කලොත් නම් ඒක හරියන්නේ නැහැ.

කොඩියක් එහෙම ගෙනිහිල්ල බෝධීන් වහන්සේගේ එල්ලලා අපිට ඔය අපලේ දුරු කර ගන්න බැරිද? අපි පොඩ්ඩක් ඒකත් බලමු…

කොඩි පූජාව බුදු හාමුදුරුවන්ගේ ක්‍රමයක් නෙවෙයි. ඒක මේ, ජෛන ආගමේ, වේද ආගමේ, ශිව ආගමේ ක්‍රමයක්.තව නොයෙකුත් ඒවා ඔය වෙන වෙන දේව ආගම් වල ඒවා. බුදු හාමුදුරුවන්ගේ ධර්මයේ එහෙම එකක් නැහැ. බෝධීන් වහන්සේ ගාවට ගියාට කමක් නැහැ, මල් පූජා කලාට කමක් නැහැ, බෝධිය අතු ගෑවට කමක් නැහැ, බෝධීන් වහන්සේට ජලය පූජා කලාට කමක් නැහැ, මේවා කරලා තමන්ගේ හිතේ තියෙන රාගය, ද්වේශය, මෝහය කියන මේ කෙලෙස් ගති සහමුලින්ම විනාඩි පහකට ඉවත් කරන්න ඕනේ. උපේක්ඛා සිතක් ඇති කර ගන්න ඕනේ. තුන් සිත පහදා ගන්න ඕනැ. රාග සිත, ද්වේශ සිත, මෝහ සිත තුනම ඉවත් කරලා තුන් සිත පහදවා ගත්තහම, අන්න අපිට පුළුවන්කම තියෙනවා, සත්‍යක්‍රියා බලයක් පතුරුවන්න. මේ සත්‍යක්‍රියා බලය සියලුම ශක්තීන්ට වඩා සියලුම බලවේගයන්ට වලට වඩා ප්‍රබලයි බලවත්. මොකද ? අර රාගයෙන් තොර, ද්වේශයෙන් තොර, මෝහයෙන් තොර පිරිසිඳු සිතකින් කරන සත්‍යක්‍රියාවක් නිසා. ඒ සත්‍යක්‍රියාවේ බලයෙන් අපිට ඕනෙම කෙනෙකුට යහපතක් කරන්න පුළුවන්. හැබැයි අයහපතක් කරන්න නම් බැහැ. ඉතින් ඒ නිසා, බෝධි පූජාවක් නියම විදිහට කලොත් හරියටම හරි, ඔය අපල උපද්‍රව සේරම ඉවරයි. හැබැයි තව අපල එන්න ඉඩ තියෙනවා, වෙන වෙන ඒවා එන්න ඉඩ තියෙනවා. ඒවත් වැය කරන්න ඕනේ. ඒවත් වැය කරලා ගෙවන්න ඕනේ. අලුතෙන් හදා ගන්න ඕනෙ නැහැ, අතීතයෙ හදපු අපල උපද්‍රව තියෙනවානම් ඒවා ගෙවලා දාන්න පුළුවන්.

අපල සපල කරගෙන ප්‍රශ්න වලින් නැගීසිටින හැටි තව දුරටත් හිතමු.

ශ්‍රී ලංකාවේ ජීවිත අර්බුදවලින් පෙළෙන බොහෝ අය විසඳුම් සොයමින් ඡ්‍යොතිෂ ශාස්ත්‍රයේ හෝ දේවාලවල පිහිට පතන බව අපි දනිමු. මුහුණපෑමට සිදුවී තිබෙන අර්බුදය විසඳා ගැනීමට මඟක් සොයමින් කරනු ලබන මෙබඳු පිහිට පැතීම් හරි හෝ වැරැදි යැයි කීමට අපි ඉක්මන් නොවෙමු. ඊට හේතුව මේවායේ ඇත්ත නැත්ත සෙවීමට කරන ලද විධිමත් ගවේෂණයක විශ්වසනීය ප්‍රතිඵලයක් මෙම ශාස්ත්‍ර සමඟ වර්ෂ සිය දහස් ගණනක් ජීවත් වූ අපට මෙතෙක් ලැබී නොමැති හෙයිනි. අනෙක් අතින් මේවා අපගේ සංස්කෘතිය හා බැඳුණු අභිචාර විධි වන අතර තවත් අතකින් එහි මනෝ උපදේශනාත්මක වටිනාකම් ද ගැබ්වී ඇත. කෙසේ වුවත් මෙබඳු ගුප්ත ශාස්ත්‍ර පසුපස යන්නන් හදවතේ දරා සිටින, ඔවුන්ගේ නිබඳ කතා බහට ලක්වන බරපතලම වචනය වන්නේ අපල නිසා යන්නයි. මෙම වචනය වේදනාකාරීය. මනස වෙහෙසවන්නකි. අසන්නාට විශ්වසනීය පදනමක් නැති වචනයකි. ඇතැම් විටෙක අවිද්‍යාවෙන් අවිද්‍යාව කරා යන පදයකි. ඇතැම් විටෙක විසඳුම් සොයා ඉබාගාතේ ඇවිද්දවන වචනයකි. එබැවින් තමාට අපල ඇති බව අසා ඇති අයට ඒ පිළිබඳ දැන ගැනීම වඩා පලදායක වනු ඇත.

අපලයක් යනු කුමක්ද සොයා බලන විට එහි සරලම තේරුම වන්නේ ඵලයක්, ලාභයක් හෝ ලැබීමක් නැති යන්නයි. කුමක් නිසා එසේ වන්නේද? ඡ්‍යොතිෂඥ මත අනුව එසේ වන්නේ උපන් වේලාවේ පවතින ග්‍රහ චක්‍රයේ නරක පිහිටීම් නිසා ය. මේ නිසා ඇතැම් අනුවණයෝ සුබ ග්‍රහ පිහිටීම් පරීක්ෂා කරවාගෙන සුබ මුහුර්තයක් අනුව සැත්කම් මගින් දරුවන් පවා මව්කුසින් එළියට ගන්නා අවස්ථා ද ඇත. එසේ කොට ද ව්‍යසනවලට භාජනය වන මව්පියෝ සහ දරුවෝ බොහෝ වෙති. එසේ නම් නරක ග්‍රහ පිහිටීමක් අපට ලැබෙනුයේ කෙසේද යන ගැටලුව පැන නැගේ. ඊට ඔවුන් විසින් දෙනු ලබන පිළිතුර වන්නේ ඒ අනෙකක් නිසා නොව පූර්ව කර්ම ශක්තිය නිසාය යන්නයි. මේ නිසා ගුප්ත ශාස්ත්‍ර මගින් කෙරෙනුයේ තාක්ෂණික මෙවලම් ලෝකයට නිෂ්පාදනය කරන්නාක් බඳු කාර්යයක් නොව පවතින තත්ත්වයට හේතු පරීක්ෂා කොට එයට කළ හැකි පිළියම් හඳුනා ගැනීමකි. එයට විශ්ව ශක්තිය, ධර්ම නියාමය ඉක්මවා යාමේ හැකියාවක් නැත. එබැවින් ඡ්‍යොතිෂාදී ශාස්ත්‍රයන් පවතින්නේ ආගමික ඉගැන්වීම්වලට වඩා පහළින් බව තේරුම් ගත යුතු ය.

අප අත්දැකීමෙන් දන්නා පරිදි ලාභයක් ඇති වීමට නම් බුද්ධිය හා උත්සාහය යොදා යම් යම් දේ කළ යුතු ය. උත්සාහයක් නොමැතිව ලැබෙන දේ අප සලකනුයේ වාසනාවට ලැබෙන දේ වශයෙනි. එම නිසා මිනිසුන්ට සිතන පතන දේ ලැබීමට නම් ඔවුන් තුළ පැවතිය යුතු ප්‍රධාන කරුණු දෙකක් ඇත. ඉන් පළමුවැන්න ස්වෝත්සාහයෙන් මෙන්ම උපායශීලීව හා ධෛර්යයෙන් වැඩ කිරීමයි. දෙවැන්න වාසනාවයි. ඇතැම්විට මෙම ක්‍රම දෙකම නිෂ්ක්‍රීය වන අවස්ථා ඇත. එබඳු අවස්ථාවල මානසිකව ඇද වැටෙන මිනිස්සු වහා ක්‍රියාත්මක වී ඒ පිළිබඳව බැලීමට තෙවන ඇසක් ලෙස ගුප්ත ශාස්ත්‍රය යොදා ගනිති. මෙය මිනිස් ඉතිහාසයේ ආරම්භයේ සිටම පාහේ දක්නට ලැබෙන්නකි. එසේ බැලීමෙන් ලද ප්‍රතිඵලය නිවැරැදි වූයේ නම්, ප්‍රත්‍යක්ෂ අත්දැකීමක් වශයෙන් භාවිත උපාය සහ ප්‍රතිඵලය අනුව දැනට නොවරදින ගුප්ත විද්‍යාවක පල අප විසින් අත්විඳිය යුතු ය. එහෙත් එවැන්නක් සිදු වන්නේ නැත. යම් ලෙසකින් මෙකී දීර්ඝකාලීන භාවිතය වැරදි වූයේ නම් මිනිසා විසින් එය අත්හළ යුතු ය. එහෙත් එවැන්නක් ද සිදු නොවේ. මේ නිසා ගුප්ත ශාස්ත්‍ර සම්බන්ධ කතන්දරය තවමත් විවාදාපන්න මාතෘකාවකි. ගුප්ත බව නම් එයමැයි.

යම් යම් දේ නොලැබීම සම්බන්ධයෙන් ඡ්‍යොතිෂය හෝ එබඳු වෙනත් ගුප්ත ශාස්ත්‍රවලට පෙනෙන ප්‍රධාන හේතුව ග්‍රහ පිහිටීම හෝ අපලයයි. මෙම දුර්දශාපන්න ග්‍රහ පිහිටීම හෝ අපලය යනු ඔවුන්ගේම විග්‍රහය අනුව කර්ම ශක්තියයි. පෙර කළ කර්මවල බලපෑමයි. ඡ්‍යොතිෂය හා ගුප්ත ශාස්ත්‍ර බුදුදහම හා සම්බන්ධ වන න්‍යෂ්ටිය ඇත්තේ මෙතැනය. එනම් කර්ම ශක්තිය නිසා අපල ඇතිවේ යන්නයි. බුදුදහම අනුව අයහපත් කර්ම කළහොත් අයහපත් ප්‍රතිවිපාක ලැබේ. යහපත් කර්ම කළහොත් යහපත් ප්‍රතිඵල ලැබේ යන්න මූලික ඉගැන්වීමකි. එබැවින් විශ්වය තුළ ධනාත්මක හා සක්‍රිය මිනිසෙකු වීමේ මූලික කරුණ යහපත් කර්ම කිරීම බව බුදුදහමේ විවිධ ක්‍රමවලින් පෙන්වා දී ඇත. තවද මිනිසාට විශ්ව ශක්තිය උරා ගැනීමට ඇති එකම මාර්ගය වන්නේ ජීවත් වන කාලය තුළ සචේතනික, අචේතනික වස්තූන්ගේ වාසභූමිය වන විශ්වය සමඟ යහපත් ගනුදෙනුවක් පවත්වා ගැනීමයි. වෙනත් විධියකින් කිවහොත් ජීවත්වීම යනු ලෝකයේ දෘශ්‍යමාන හෝ අදෘශ්‍යමාන වස්තූන් සමඟ කෙරෙන ගනුදෙනුවකි. එය නිසි පරිදි කිරීමේ හැකියාව ට බුද්ධිය යැයි කියනු ලැබේ. එය බෞද්ධ න්‍යාය ශාස්ත්‍රයේ ‘සර්ව ව්‍යවහාරහේතුර්ඥනං බුද්ධිඞ’ යනුවෙන් සඳහන් වේ. බුදුදහමේ බුද්ධිමත් මිනිසා අගය කරනුයේත් අපට බුද්ධියක් තිබිය යුතු වන්නේත් මේ නිසා ය.

යන්ත්‍ර, මන්ත්‍ර, බලි, තොවිල් ආදිය කිරීමෙන් මිනිසා බලාපොරොත්තු වන්නේ විශ්වීය ප්‍රපඤ්චය තුළ කලම්බනයක් කොට එමගින් යම් යම් දේ ලබා ගැනීමට ඇති හැකියාව පිරික්සීමයි. මෙය ධර්මමය පැතිකඩකින් බැලුවහොත් එය තමා විසින් පෙර හෝ මේ ආත්මයේ හෝ කරන ලද යම් යම් යහපත් කර්මවලට නියමිත, ඉදිරියේදී එනම් ඊළඟ ආත්මයේ දී ලැබෙන්නට ඇති දෙයක් මේ ආත්මයේ දීම බලයෙන් ඇද ගැනීමට දරණ තැතක් වැනිය. එසේ වූ කල්හි අපි ඊළඟ ආත්මයට ණයකරුවෝ වෙමු. එයින් සිදු වන්නේ විපතින් විපතට පත්වීමකි. නූතන ව්‍යවහාරයන්ට අනුව කිවහොත් මෙයින් ණයකරුවෙක් එම ණය ගෙවීමට තවත් ණය ගැනීමෙන් දැරිය නොහැකි ණය බරකින් පෙළෙන්නෙක් වන්නාක් මෙන් අපි අපල ගොඩක් උරුම කර ගත්තෝ වෙමු. මේ නිසා අනියම් ක්‍රම මගින් ලාභ ඉපදවීමේ භයානක බවක් ඇත.

ඡ්‍යොතිෂ, ගුප්ත ශාස්ත්‍ර ආදියේ පවසන පරිදි පෙර කර්මානුරූපව මේ ආත්මයේදී අපට අපලවලට මුහුණ දීමට සිදුවේ නම් ඒවාට විසඳුමක් ද තිබිය යුතු ය. අපල මඟ හරවා ගැනීමට ඇතැම් තැන්වල බාරහාර වීම්, දෙවියන්ට ප්‍රේතයන්ට හා භූතයන්ට බලි බිලි දීම්, පූජා වට්ටි දීම් ආදිය සිදු කරන අයුරු විස්මය ජනකය ඔබ දැක ඇත. අපමණ භක්තියකින්, බියකින් හා බලාපොරොත්තුවකින් එසේ කළ ද ඒවායින් පලක් නොමැතිව වෙසෙනා අපමණ මිනිසුන් ද අපි දකිමු. මෙයට බුදුදහමෙන් යෝජනා කෙරෙන නිර්දේශය කුමක් ද? යන්න විමසා බැලිය යුත්තකි.

අප අත්විඳින සමාජයේ දක්නට ලැබෙන පරිදි ජීවත්වීම යනු ඉහත දැක් වූ පරිදි බෙහෙවින්ම මිනිසා ඇතුළු භෞතික වස්තූන් සමඟ සිදු කෙරෙන ගනුදෙනුවකි. සිත් පිත් නැති අයුරින් සිදුවන මෙම ගනුදෙනුව අප්‍රාණික, අචේතනික වූවක් වන හෙයින් ආධ්‍යාත්මයක් එයට එක්විය යුතු ය. කර්මඵල ඉගැන්වීම සම්බන්ධ මෙය සිද්ධාන්තමය වශයෙන් බැඳේ. නිදසුනක් ලෙස යම් බිරිඳක්, ස්වාමි පුරුෂයා සමඟ දිගුකාලීන විරසක වීමකින් අප්‍රසන්න අත්දැකීම් පොඳි බැඳ සිටී නම් ඒ හා සම්බන්ධ වන නැන්දම්මා, මාමා හා ඥාතීන් ආදීන් කෙරේ ද ඇය තුළ අප්‍රසන්නභාවයක් හෝ වෛරයක් හෝ එවැනි වෙනත් මනෝභාවයක් ඇතිවිය හැකිය. මෙය පුරාකෘත කර්මයක් නිසා මෙලොවදී ලබන අපලයක් නම් ගුප්ත ශාස්ත්‍රාදියෙන් නිර්දේශ කෙරෙන බාරහාරවලින් පමණක් එය නැතිකළ නොහැකිය. කුමක් නිසා ද යත් වෛර කිරීම, පළිගැනීමට සිතීම වැනි දේ තුළින් තමා තුළ පවතින කර්ම ශක්තිය බලවත් කෙරෙන හෙයිනි. බුදුදහම අනුව කර්මය යනු අනෙකක් නොව චේතනාවයි. බුදුදහමේ ප්‍රකට දේශනා පාඨයක් වන “චේතනාහං භික්ඛවෙ කම්මං වදාමි” යන්නෙන් කියැවෙන්නේ මෙම අදහසයි. ක්‍රියාවකට මුල්වන චේතනාව එම ක්‍රියාවේ සරුබව හෝ නිසරු බව තීරණය කරයි. පළිගැනීමට සිතීම, වෛර කිරීම වැනි චේතනා සමඟ වෙසෙමින් අපල දුරු කිරීමට හැකියාවක් නොමැත. එසේ නපුරු මානසිකත්වයකින් කටයුතු කිරීම හුදෙක් භෞතික ගනුදෙනුවක් වන හෙයිනි. එබැවින් එබඳු මානසිකත්වයක් ඇත්නම් ඒවායින් මිඳී විසඳුම් සෙවීමට පෙළඹීම අපල හෙවත් නපුරු ජීවිත අත්දැකීම් ඉක්මවා යාමට ඇති මූලික උපාය මාර්ගය වේ. එම ආධ්‍යාත්මික තත්ත්වයේ නොසිට යන්ත්‍ර මන්ත්‍ර, පුද පූජා, බාර හාර ආදිය මගින් ඵල සිද්ධියක් බලාපොරොත්තු වීම නිෂ්ප්‍රයෝජන වේ.

බුදුදහම අනුව සෑම ඵලයකටම හේතුවක් තිබිය යුතු ය. කෙනෙකුට දහඩිය දමන්නේ උෂ්ණය නමැති හේතුව නිසාය. එකී උෂ්ණය නමැති හේතුව නොමැති නම් දහඩිය දමන්නේ නැත. එලෙසම පලයක් ලැබීමට හේතුවක් තිබිය යුතු ය. අපලය නම් සිතන දේ නොලැබීමයි. නැතහොත් හරවත් දෙයක් නොලැබීමයි. එසේ නොලැබීම අපලයි. එකී නොලැබීමේ හේතුව නම් ලැබීමට අවශ්‍ය වන චේතනා මූලික කර්ම නොකර තිබීමයි. එබැවින් අපල, අපල යැයි කියමින් ලතැවෙන්නන් විසින් අපලයන්ගේ ක්‍රියාකාරීත්වය නැතිකර ගැනීමට හෝ අවම කර ගැනීමට හෝ අවශ්‍ය ප්‍රතිපත්තිමය කාර්යය තේරුම් ගැනීම අවශ්‍ය වේ. එනම් සාර්ථකභාවයේ රහසක් වන අපගේ චේතනාබද්ධ ප්‍රතිපදාවයි. මිනිසෙකුගේ සාර්ථකභාවය දිනෙන් දින වර්ධනය වීමට නම් මිනිසාට පිරිසුදු මානසිකත්වයක් පැවතිය යුතු ය. සමාජයේ විවිධ ස්තරවල වෙසෙන උසස් යැයි සම්මත ඇතැම් අය නිතර කාර්ය බහුල අය ලෙස සිටිනු ඔබ දැක ඇත. කාර්ය බහුල බව, අවිවේකී බව මිනිසෙකුගේ සාර්ථකත්වයේ රහසක් නොවේ. බිරිඳ දරුවන් ඥාතීන් සමඟ සිනා මුසු මුහුණින් ජීවිතය භුක්ති විඳීමට නොහැකි, එනිසාම කෝපයෙන්, ආවේග බහුලව වෙසෙන මිනිසුන්ගේ කවර නම් සාර්ථකභාවයක් ද? බුදුදහම අනුව අපගේ මනස නිබඳවම බැඳීම්, ගැටීම්, ආදියෙන් විනිර්මුක්තව තබා ගැනීමට නැණවත් විය යුතු ය. මනස හැකිතරම් හිස්ව තබා ගත යුතු ය. පරිගනකයකට ඇතුළු වන දත්ත වැඩිවීමෙන් එය අක්‍රිය වන බව අපි දනිමු. එසේම එහි අනවශ්‍ය දත්ත ඉවත් කිරීමෙන් යළි සක්‍රිය තත්ත්වයට පත්කරවිය හැකිය. එමෙන්ම මනස ද අනවශ්‍ය දත්තවලින් නිදහස් කළ විට අපල තත්ත්වයන් දුරුකොට හෙවත් යහපල දෙන තත්ත්වයක් උදා කරවිය හැකිය.

එබැවින් භෞතික ලෝකය තුළ ලැබීම් වැඩිවීමට නම් මෛත්‍රී භාවනා කළ යුතු ය. එසේ කළ නොහැකි නම් අවම වශයෙන් වැරදි චේතනාවලින් සිත නිදහස් කරවා ගත යුතු ය. ද්වේෂය, වෛරය, පළිගැනීමේ සිතිවිලි බැහැර කළ යුතු ය. ධනාත්මකව සිතන්නට, පිරිසුදුව සිතන්නට, පිරිසුදුව සිටින්නට, අන් අය සමඟ සිනහ මුසු මුහුණින් සබඳතා පවත්වන්නට, නිවස ප්‍රසන්න ලෙස තබා ගන්නට, බුදුන් වැඳීම, මල් පහන් පිදීම වැනි ක්‍රියාවල නිරත වන්නට මළවුන්ට පින් දෙන්නට, සිය මුවින් පිරිත් සජ්ඣායනා කරන්නට, අකටයුතු ක්‍රියාවන් අනුමත නොකරන්නට උත්සාහ කළ යුතු ය. මෙබඳු ජීවිතයක් ගෙවමින් ඔබගේ දෛවය වෙනස් වන ආකාරය නිරීක්ෂණය කොට අපල ජයගන්නා ආකාරය ප්‍රත්‍යක්ෂ අත්දැකීමක් කරගන්න.

තෙරුවන් සරණයි🙏

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X