Temples of Sri Lanka

නිවනින් නිවෙන්නේ කොහොමද?

නිවන් අවබෝධ කරගැනීමට ප්‍රථම “නිවන” යනු කුමක්දැයි වටහා ගනිමු.

සැබවින්ම නිවන යනු කුමක්දැයි ප්‍රත්‍යක්ෂ ලෙසම අත්දකිනා තෙක් වචන හා සංඥා මාත්‍රයකින් හෝ ඒ කුමක්දැයි දැන ගත යුතුය.

බුදු රජාණන් වහන්සේ විසින් නිවන විස්තර කර ඇත්තේ මෙලෙසින්ය.

“ඒතං සංතං ඒතං පණීතං යදිධං, සබ්බ සංඛාර සමථො සබ්බූපධි පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති”

“සියළුම සංස්කාර සංසිඳී ගිය, සියළු උපධී අතහැරී ගිය, තණ්හාව ක්ෂය වූ, විරාගී වූ, නිරෝධය අත්දක්නා නිවන ශාන්තයි, නිවන ප්‍රණීතයි”

එහි සරල සිංහල අදහස එයයි. නිවන අත්දකිනා කෙනෙකු එහි සැබෑ සුවය නිදහස නිරාමිස ප්‍රීතිය අත්දකියි. එය කිසිඳා වචන වලට නඟා පූර්ණ අර්ථයක් දීමට අපහසුය. උදාහරණ මඟින් එහි ඇති සුවය දක්වන්නට සුළු උත්සාහයක් ගනිමු. ලෞකික ජීවීතයේ අනේක විඳ සැපයන් ලාභයන් අප විඳ ඇත්තෙමු. ලෞකික ජීවීතයේදි අප ලබන්නේ සාමිස ප්‍රීතියන්ය. නමුත් මේ ලෝකෝත්තර මාර්ගයේදී ලබන්නාවූ බොහෝ ප්‍රීතින් නිරාමිසය.

ඔබ බොහෝ සෙයින් පාඩම් කර විභාගයක් උසස් ලෙසින් සමත්වූවා යැයි සිතන්න. ඔබට ඇතිවන සතුට කොතෙක්ද ? ඔබ වෙහෙස වී අංග සම්පූර්ණ , අලංකාර නිවසක් ඉදිකළා යැයි සිතන්න. එයට ගෙවදින දින ඔබට දැනෙන සතුට කෙතෙක්ද ? ඔබ කාලයක් පුරා බලාසිටි සුරතල් නීරෝගී දරු සම්පත ඔබට හිමිවූ දිනය මෙනෙහි කරන්න. ඔබට ඇතිවූයේ කෙතරම් නම් සතුටක්ද? මුළු ලෝකයම හිමි වූවා වැනි නොවේද? ඔබ දුක් මහන්සියෙන් මුදල් ඉතිරි කොට නවීනතම, සිහින මැවූ මෝටර් රථය මිලට ගත් දින ඔබට ඇතිවූ සතුට කෙතෙක්ද ?

මේ සෑම සතුටක්ම ඔබ සිත කුල්මත් කරන්නට ඇත. ඒ සෑම අවස්ථාවකදීම ඔබ සතුටු වූයේ ඔබට යමක් හිමි වූ බැවිනි. ඔබ දෙයක් අත්පත් කරගත් බැවිනි. ඒ සෑම ප්‍රීතිමත් අවස්ථාවකදීම ඔබ සිත පිරී ගියේ අයිති කරගැනීමෙනි. ලබා ගැනීමෙනි. අභියෝග ජයගැනීමෙනි. දැන් ඔබ පහත අවස්ථාවන් වල සිතට දැනෙන සතුට පිළිබඳව කල්පනා කරන්න.

ජීවීතාන්තය දකවා බර වැඩ සහිතව සිරගත කොට ඇති පුද්ගලයකු හදිසියේම සිරෙන් නිදහස් කොට සාමාන්‍ය ලෝකයට පා තබන විට ඔහුට දැනෙන නිදහස, සතුට හා අනෙකුත් හැඟීම්. අධික වු බරක් හිස මත තබා ගෙන මහා කන්දක් නගින පුද්ගලයකුගේ හිස මතින් ඒ මහා බාරය බිමට තැබූ විට ඔහුට දැනෙන සහනය, සුවය, සතුට.
මහා දවාලක අව්වක හිරු රැසින් පීඩා විඳිමින් සිටගෙන සිටි කෙනෙකු, සිසිල් ජලාශයක් සහිත තෝතැන්නක වාඩි කරවා ගිමන් නිවන්නට සැලැස්වූ විට ඔහුට ඇතිවන සුවය, සහනය, නිදහස හා සතුට.
මරන්නට නියම වී මහා වරපටවල වලින් හිරකොට බැඳ,කය රිදුම් දෙමින් පැවති කෙනෙක් ඒ දරුණු වරපටවල් වලින් මුදා නිදහස් කරන විට ඔහුට දැනෙන සතුට, නිදහස, සුවය..

මේ සෑම අවස්ථාවකදීම ඒ ඒ අයට දැනුණේ සතුට පමණක් නොවේ. සහනය, සුවය, නිදහස ආදී අනෙකුත් හැඟීම්ද සම්මිශ්ශ්‍රය. ඒ සෑම සතුටක්ම දෙයක් අත්පත් කර ගැනීමෙන්, අයිති කර ගැනීමෙන්, දිනීමෙන් ඇතිවූ දෙයක් නොව..
තිබූ තත්වයෙන් නිදහස් වීමෙන්, අත හැරීමෙන් ලැබුණු සුවයකි. කාලයක් පුරා විඳිමින් පැවති මහා දුකකින්, වෙහෙසකින් මිදීමේ සුවයයි. සහනයයි. නිදහසයි.

නිවන ලැබූ කෙනෙක් තුළඳ ඇතිවන්නේ එවන් වූ නිරාමිස සුවයකි. අප්‍රමාණ සහනයකි. නිදහසකි. මහා බාරයක් බිමින් තැබුවාක් මෙන් දැනෙනා මහා සැනසුම් සාගරයකි. එය කිසි ලෙසකින්වත් වචන වලින් ලඝු කර නොහැකි මහා සාගරය බඳු අපිරිමිත සහනයකි. සුවයකි. නිදහසකි. සැනසුමකි. ප්‍රීතියකි.
නිවන් සුවය ඉදිරියේ අනෙක් සියළුම සතුටවල්, සැපයන්, සුඛයන් අසූචි මෙන් පහත හෙළිය හැක්කේ එබැවිනි.
“නිබ්බානං පරමං සුඛං” නිවන පරම සැපයයි..
මේවා හුදෙක් වචන මාත්‍ර නොවන බව අවම සෝවාන් ඵල සිත හෝ උපදවා ගත් කෙනෙක් අත්දකිනවා ඇත.

එසේ නම් ඒ සා වූ මහා සාගරය සේ සුව දෙන “නිවන” නැමැති මහා සැනසීමේ හිමිකාරිත්වය දරන්නට ඔබට, මට අත් හළ නොහැකි දෙයක් තිබිය හැකිද ?

නිවන් සුවය විඳීමට නම් ජීවී සක්‍රිය මනසක් තිබිය යුතුය. කෙනෙක් මිය ගිය පසුව ” නිවන් සුව ලැබේවා” කියා ප්‍රාර්ථනා කිරීමට අප සමාජය පුරුදුව සිටිති. එය කෙතරම් නම් අර්ථ විරහිත පාඨයක්ද යන්න ඔබ අවබෝධ කරගත යුතුය. “නිවන” යන වචනය මේ සා අපෙන් ඈත් වී පැවතීමට එයද එක් හෙතුවකි. නිරායාසයෙන්ම කුඩා කළ සිටම අප සිත් තුළ පැලපදියන් වී ඇත්තේ නිවන යනු කෙනෙක් මිය ගිය පසු උදාවන තත්වයක් බවය. එය අනෙකුත් ආගම් වල දක්වනවාක් මෙන් ස්වර්ගයට යෑම ආදී ලෙසින් නිවන් පුරයට යෑමක් ලෙසින්ද ඇතැමුන් සිතයි.
“නිවන” යනු මළ ගෙවල් වලදී දකින්නට ලැබෙන වචනයක් වූ බැවින් ඒ වචනය කෙරෙහි යම්කිසි අසුභවාදී බවක්ද අපට නොදැනීම අප සිත් වලට ආරෝපණය වී ඇත.

මේ ලෝකයේ කිසිවක් සර්ව සුභවාදී නැත. සර්ව සුභවාදී යම්කිසි දෙයක් වේද එය “නිවන” ම පමණි. ජීවත්ව සිටියදී කෙනෙකුට ලබා ගතහැකි, උපරිම සැපවත් බාවය, සුවය, “නිවන” අත්දැකීමය. එය මනසින් අත්දකින තත්වයක් විනා, කිසිවකු විසින් යන තැනක් නොවේ.
ඔබට හැකිනම් සියළු මානසික වේදනා, බිය, තරහ, රාගය, ඊර්ෂ්‍යාව ආදී සියළු සිතිවිලි වලින් සිත නිදහස් කොට මහා නිවීමක එය රඳවන්නට.. එයයි නිවන.. එයයි නිවන අත්දකින සිත. එසේ නොමැතිව එය යම්කිසි පුරයක් නොවේ.

රහත් නොවූ සෑම කෙනෙකුම අනිවාර්යයෙන් යළි උපතක් කරා යයි. කෙනෙක් ජීවත්ව සිටින තාක් කල් ඔහුට රිසි, කෙලෙස් පිරුණු ජීවිතයක් ගත කොට, මිය ගිය පසු, බැනර් වල ගැසුවා කියා හෝ, අන් අය ප්‍රාර්ථනා කළා කියා හෝ ඔහුට නිවන අත්දැකිය නොහැක.

නිවන යනු වීරියවන්ත මිනිසුන් විසින් , තම තමන් ස්වකීය සන්තානයන් දමනය කොට කෙලෙස් නිවා දමමින් අත්දකිනා තත්වයකි. එය කිසිවකු විසින් තවත් කෙනෙකුට පිරිනැමිය නොහැකි තත්වයකි. කොතෙක් ආදරය කළඳ එය දිය නොහැකිය. ප්‍රාර්ථනා කළ පමණින් ලබා ගත නොහැක.
ප්‍රාර්ථනා කරනවානම් “නිවන” අප මුළු හදවතින්ම ප්‍රාර්ථනා කළ යුත්තේ ජීවත්ව සිටින අයටමය. ඔබ යමෙක් කෙරෙහි සෙනෙහසක් දක්වනවානම්, ඔහු කෙරෙහි ඔබ හද පතුලෙන්ම පැන නැඟිය යුත්තේ ” නිවන් අවබෝධ කර ගනිත්වා” යන උතුම් සිතිවිල්ලයි. ප්‍රාර්ථනයයි. මන්ද යත් අනෙක් සියළුම සැපතවල් කෙළවර වන්නේ දුකෙනි. නමුත් නිවන අත්වන්නේ ඒ සියළු දුක කෙළවර කරවමිනි.

තෙරුවන් සරණයි🙏

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X