Temples of Sri Lanka

අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරමින් සිත නිවනට පත් කරමු…

අපේ සාමාන්‍ය ජීවිතයේදී සිදු කරන සෑම ක්‍රියාවක්ම අනිත්‍ය දකිමින්ම සිදු කරන්න.

උයන පිහන විට, රෙදි සෝදන නවන විට, පිරිසිදු කිරීම් සිදු කරන විට, ආදී සෑම විටම ඒ සෑම ක්‍රියාවක්ම අනිත්‍යය වී යන අයුරු මෙනෙහි කරන්න.

මේවා නැවත නැවත සිදු කරන්නේ ඒවා අනිත්‍යය වී යන නිසාවෙනි.
නැවත නැවත උයන්නට සිදු වේ.

නැවත නැවත ආහාර ගන්නට සිදු වේ.. ජීවිතයේ සිදු කරන සෑම දෙයක්ම නැවත නැවත සිදු කරන දේවල් ය.. අනිත්‍ය වී යන නිසාම ඒවා නැවත නැවතත් කරන්නට සිදු වේ..

භාවනාවට වාඩි වී ඉදගෙන සිටින ඉරියව්ව ගැන සතියෙන් බලන්න. ඉන් පසු හිසේ සිට දෙපතුළ දක්වා සෑම ශරීර කොටසක් දෙසම හොදින් සිතින් බලමින් සිත ඉතා සෙමින් ගෙනියන්න. පළමුව වම් පසින් හිසේ සිට යටි පතුළ දක්වාත්, නැවත යටිපතුලේ සිට හිස් මුදුන දක්වාත්, ඉන් පසු දකුණු පසින් හිස් මුදුනේ සිට යටිපතුළ දක්වාත් , යටි පතුළේ සිට හිස දක්වාත් සිත ඉතාමත්ම සෙමින් සෙමින් සිත ගෙනියන්න. මෙසේ පැයක් පමණ කරන්න.. දිනපතා කරන්න. ඉන්පසු ක්‍රමයෙන් භාවනාව දියුණු වත්ම සිතෙන් ශරීරය දෙස මෙසේ බලාගෙන. එද්දී, දැන් සිතෙන් දක්නා කොටස බලද්දී ඊට පෙර ශරීර කොටස අනිත්‍යය වී යන අයුරු දකින්න.

එනම් ඇහිබැම දෙස සිතෙන් බලනා විට ඊට පෙර බැලූ නළල කොටස අනිත්‍යය වී නැතිවී ගොස් ඇති අයුරු දකින්න. මෙසේ සෑම ශරීර කොටසක් දෙසම බලන විට ඊට පෙර බැලු කොටස නැතිවී ගොස් ඇති අයුරු දකින්න..මෙසේ අනිත්‍යය වී යන අයිරු දකිමින් නැවතත් පෙර පරිදිම හිසේ සිට යටිපතුළ දක්වා වම් පසින්ද, නැවත දකුණු පසින්ද සිත ගෙනියන්න.. සෑම විටම ඊට පෙර දක්නා ලද ශරීර කොටස නැතිවී ගොස් එතන ඝන කලුවරක් මෙන් සිතට දිස්වේ..

මෙසේ කරගෙන යද්දී ක්‍රමයෙන් මුළු ශරිරයම සිතට නොපෙනී ගොස් ඝන කළුවරක් මෙන් දිස් වේ.. කොතෙක් සිතින් අරමුණු කළද කය සිතට නොපෙනේ.. මෙය ඕලාරික ශුන්‍යතාවයකට සිත පත් වීමයි.. එනම් සිතෙන් මම මගෙ කියා අල්ලාගෙන සිටි ශරීරය එසේ නොවන බව පසක් වී යයි. එය සිතේ පවත්නා මෝහ සංඥාවක් පමණි. සාමාන්‍ය ජීවිතයේදීද ක්‍රියාත්මක වන්නේ මේ සත්‍යයය මය. නමුත් නිත්‍යය සංඥාවෙන්, අසතියෙන් වැසී පවත්නා නිසා සිතට මෙම සත්‍යයය නොපෙනේ. දැන් සතිය සමාධිය ප්‍රඥාව ක්‍රමයෙන් වැඩී යත්ම සිතට සත්‍යය පෙනී යයි..

මෙසේ ශරීරය මුළුමනින්ම සිතට නොපෙනී ගිය පසුද තව දුරටත් භාවනාවේ යෙදෙන්න.. ඉන්පසු තවත් සමාධිය වැඩෙත්ම ඒ ශුන්‍යතාවයේදීම සිතේ ක්‍රියාකාරිත්වය ප්‍රකටව පෙනේ.. සිතද මේ ආකාරයෙන්ම අනිත්‍යය වී යන අයුරු දැකිය හැකි වේ.. දැන් දක්නා සිතට පෙර දකින ලද සිත සම්පුර්ණයෙන්ම නිරුද්ධ වී ගොස් ඇති අයුරු පෙනේ. දැන් පවත්නා සිත පමණක් පවතී. ඊට පෙර සිත නැත්තටම නැතිවී ගොස් ඝන කලුවරකි. මේ සත්‍යය දකිමින් තව දුරටත් භාවනාවේ යෙදෙන්න.

එවිට එකම එක සංස්කාර මාත්‍රයක පැවැත්ම පමණක් දැකිය හැකි තරමටම සිත සියුම් වේ.. සතිය , සමාධිය, ප්‍රඥාව හොදින්ම වැඩී තිබිය යුතුය.. මේ සංස්කාර මාත්‍රය ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇතිවෙමින් නැතිවෙමින් යන අයුරු දකිමින් එදෙසම බලමින් සිටින විට, ඒ සියුම් සංස්කාර මාත්‍රයේ, ඒ සිතේ පැවතීමම දුකක් බව අවබෝධ වේ. ඒ සියුම් සිතද නිවී නැත්තටම නැතිවී යනවා නම් සිත පරම සුවයට පත්වන බව අවබෝධ වේ. පැවතීමම දුකක් බව අවබෝධ වේ . මේ සිත ක්ෂණයක් ක්ෂණයක් පාසා අනිත්‍යය වෙමින් යන අයුරු දක්නා කල එය කවුරුවත් විසින් කරන ලද්දක් නොව, මට ඕනෑ ලෙසට පවතිනා එකක් නොවන බවද, හේතු අනුවම ඇතිවෙමින් නැතිවෙමින් යන බවද අත්දකී. එවිට සිතට අනාත්මය හොදින් අවබෝධ වේ.අනිත්‍යය , දුක්ඛ , අනාත්මය යන ත්‍රිලක්ෂණයම මේ එකම එක සංස්කාරයක් තුළ ක්‍රියාත්මක වන අයුරු ප්‍රත්‍යක්ෂයෙන් දකී.

එසේ ඒ දෙසම සතියෙන් බලා සිටිනා කල්හි, එක් වරම ඒ සංස්කාර මාත්‍ර්‍යද නිරුද්ධ වී ගොස්, සකල සංස්කාර ලෝකයම නිවී සිත නිවනට පත් වේ.. මෙතෙක් කල් නිත්‍ය, සුඛ, ආත්ම සංඥාවෙන් වැසී මුලාවට පත්ව තිබූ සිත සත්‍යය පළමු වරට ස්පර්ශ කරයි.. දුක්ඛ සත්‍යයය ත්, දුකට හේතුවත්, දුක්ඛ නිරෝධයත්, දුක්ඛ නිරෝධ මාර්ගයත් යන චතුරාර්ය සත්‍යය ම ප්‍රත්‍යක්ෂයෙන් අත් දකී.. ධර්ම මාර්ගයම, නිවනම, පැවැත්මම මේ එකම එක සංස්කාර මාත්‍ර්‍යක් තුළ ක්‍රියාත්මක වන අයුරු ප්‍රත්‍යක්ෂයෙන් දකී..

මේ අවස්ථාවේ සිත තුළ සම්මා සම්බුදු රජාණන් වහන්සේ පිළිබදව උන් වහන්සේ දෙසූ ධර්මය පිළිබදව, තම ගුරුවරුන් පිලිබදව ඇතිවන ශ්‍රද්ධාව වචන වලට පෙරලිය නොහැකිය.. මේතාක් සසරේ අනන්ත අප්‍රමාණ දුක් විදිමින් මහා මුලාවකට පත්ව ගමන් කළ අයුරු පිළිබදව තමා ද සියළු ලෝක සත්වයා පිළිබදවද කරුණාවක් ඇති වේ..

අසූචි කුඩා ප්‍රමාණයක් තිබුණද දුගදය.. විශාල ප්‍රමාණයක් තිබුණද දුගදය. සසර පැවැත්ම එලෙසමය. භව හතක් තිබුණද, භව එකක් තිබුණද , දිව්‍ය තලයක ඉපදුණද, ශුද්ධාවාසයක ඉපදුණද ඉපදීම ඉපදීමමය… බුදුවරු වර්ණනා නොකළ දෙයකි.. ක්‍රම ක්‍රමයෙන් අත් හරිමින් මාර්ගය වඩමින් සසර දුක මුළුමනින්ම නිමා කරනු විනා අන් විකල්පයක්, අන් සැනසීමක්, අන් නිදහස් වීමක් නොමැත්තේමය…

මේ ගෞතම බුදු සසුනක ඉපදීමම අති දුර්ලභය.. ධර්මාවබෝධය පිණිස වීරියය කිරීම හැර අන් දෙයක් ඔබට ප්‍රමුඛ විය නොහැකිය.. ධර්මය පළමු තැන අන් කාර්‍යයන් දෙවෙනි තැන තබනවා නොව, ධර්මය එකම කාර්‍යය විය යුතුය. අන් සියල්ල පැවැත්ම උදෙසා කළ යුතු බැවින් කරන ඒවා විය යුතුය.. මන්දයත් සසර පුරා කලේම එවැනි දේවල් මය.. මේ සම්බුදු සසුන තුළ සෝවාන් ඵලයෙන් වත් සැනසිය නොහැකි නම් එය කවර නම් අලාභයක්දැයි වචන වලින් කිව නොහැකිය..
එතරම් අවාසනාවක් මිනිසෙකුට තිබිය යුතු නොවේ..
දුක්ඛ සත්‍යයය යනු කුමක්දැයි තව තවත් අවබෝධ කරගන්න..ඒ අවබෝධයම ඔබට වීර්‍යය පිණිස හේතු වේ…

තෙරුවන් සරණයි..🙏

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X