Temples of Sri Lanka

නොදැන,නොවිමසා,වැරදි මත නොපවසමු…

බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද කාලාම සූත්‍රයට (කේසමුත්ති සූත්‍රය) අනුව, උත්තමයන්ට (නුවණැතියන්ට) ගැරීම යනු පුද්ගලයෙකුගේ අභ්‍යන්තර දියුණුවට සහ යහපැවැත්මට බාධාවන අකුසල සහගත ක්‍රියාවකි.

උත්තමයින්ට ගැරහීම සම්බන්ධයෙන් මෙම සූත්‍රයේ මූලික කරුණු පදනම්ව ඇති බැව් පෙනේ.

යම් ක්‍රියාවක් හෝ චේතනාවක් හේතුවෙන් උත්තමයින්ගේ (නුවණැති පුද්ගලයින්ගේ) නින්දාවට, ගැරහීමට හෝ දෝෂාරෝපණයට ලක්වේ නම්, එම ක්‍රියාව අනිවාර්යයෙන්ම අකුසලයක් (වැරදි දෙයක්) ලෙස කාලාම සූත්‍රයේ අන්තර්ගත විමර්ශන ක්‍රමය අනුව තීරණය කළ හැක.

බුදුදහම උගන්වන්නේ උත්තමයින්ට ගැරහීම වෙනුවට ඔවුන්ගේ ගුණධර්ම විමසා බලා ඔවුන් ඇසුරු කරන ලෙසයි. එයින් කෙනෙකුට යහපත හා අයහපත වෙන්කර හඳුනා ගැනීමට මඟ පෙන්වීමක් ලැබේ.

කාලාම සූත්‍රයේ සාරය සහ විග්‍රහයට අනුව,

සම්ප්‍රදායන් මත පමණක් පිහිටා තීරණ ගැනීමෙන් වැළකීම.ලෝභය, ද්වේෂය, මෝහය යන මූලික සිතිවිලි පදනම් කරගෙන උත්තමයන්ට ගැරහීම සිදු වේ නම් එය අයහපත් සහ දුක් පිණිස පවතින ක්‍රියාවක් බව අවබෝධ කර ගැනීමයි.

නො දැන විමසීමෙන් තොරව කරන ප්‍රකාශ සඳහා මනරම් ලෙස වාග් ක්‍රමවේදයන් යටතේ මිනිස් මොලය උකහා ගන්නට වෙරදරන්නන් බොහෝවිට නොදන්නේ තමා විසින් සිදු කරන පාප ක්‍රියාවේ තරමයි.

කවුරු කෙසේ කොයි ආකාරයකට නිර්මානශීලී ලෙස ගැලපෙන ලෙස උත්තමයන්ගේ ප්‍රසිද්ධියම අව හාවිතා කරන්නේ නම් …බුද්දිමත් ඔබ ඒ දෙස දෙවරක් බලා කටයුතු කල මනාය..

මිනිස් ආත්මය ඔබට ලැබුණු පිනකි…අවම වශයෙන් ඔබට භාවිතා කරන්නට දුන් ඔබේ මුඛයම ඔබට අවාසනාවේ දොරටුවට මග පාදන බව මදක් සිහියට ගන්න .එනිසා කතා කරන වචනයක් පාසා ඔබ සිත කය වචනයේ සංවර කම මැනවින් පවත්වා ගන්න ට උත්සාහ ගැනීම ඉය්හා සුදුසුයි යන්න සිතා කටයුතු කල මනාය..

වසර ගණනාවක් තිස්සේ සමහර ගිහි පැවිදි ශ්‍රාවකයන් ම කාලාම සූත්‍රය වැනි දේශනා සාවද්‍ය ලෙස අර්ථකථනය කරමින්, “බුදුරජාණන් වහන්සේ කිව්වත් පිළිගන්න එපා.” කියා ධර්මයේ සඳහන් වෙනවා යැයි පවසමින්, ශාස්තෘ ගෞරවයට ද හානි සිදුකර ගන්නා බව පෙනී යනවා. තමන් වැරදි අදහසක සිට, අන් අයව ද එහි සමාදන් කරවමින් බොහෝ අකුසල් ද රැස්කර ගන්නවා. නිහතමානීව ගුණදම් වඩමින් දහම් මඟ දියුණුකර ගැනීමේ අවස්ථාවත් මඟහැර ගන්නවා. සැබැවින් ම ඔවුන් එසේ පවසන්නේ මෙම සූත්‍ර දේශනාවට හේතු වූ පසුබිම,වත් හරිහැටි නොදැනයි.. සූත්‍ර දේශනාවේ අර්ථය හෝ එහි ප්‍රතිඵල ගැන හෝ නිවැරදි වැටහීමක් ඇතිව නො වෙයි.

එම නිසා කාලාම සූත්‍ර දේශනාව ගැන නිවැරදි වටහා ගැනීමක් තිබීම අප කාටත් ප්‍රයෝජනවත්.

✨️ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ විශාල භික්ෂු පිරිසක් සමඟින් කොසොල් ජනපදයේ චාරිකා කරන අතරේ කාලාම වැසියන්ගේ කේසපුත්ත කියන නියම් ගමටත් වැඩම කළා.

එවිට ඒ ගමේ මෙවැනි කල්‍යාණ කීර්ති රාවයක් පැතිර ගියා.

“ශාක්‍ය කුලයෙන් නික්මී පැවිදි වුණ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ මහත් භික්ෂු පිරිසක් සමඟ අපේ ගමටත් වැඩම කරලා. උන්වහන්සේ නව අරහාදී සම්බුදු ගුණයෙන් යුක්තයි. තමන්ගේ ම විශිෂ්ට නුවණින් අවබෝධ කළ ධර්මයක් දේශනා කරනවා. එවැනි රහතුන් දකින්ට ලැබීමත් කොතරම් යහපත් ද…” කියලා.

ඉන් පසු කාලාම වැසියන් භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස්, ගෞරවයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩි වී මෙසේ පැවසුවා.

“ස්වාමීනී, අපට ලොකු ගැටලුවක් තියෙනවා. මේ කේසපුත්ත ගමට නොයෙක් මත දරන තීර්ථකයන්, ශ්‍රමණයන් පැමිණෙනවා. ඇවිත් තමන්ගේ මතය විතරයි නිවැරදි, අනෙක් ඒවා වැරදියි හිස් කියලා තමන්ගේ වාදය විතරක් ඉස්මතු කරනවා. අනෙක් මත හෙළා දකිනවා. බැහැර කරනවා. ඒවාට පරිභව කරනවා. ඉතින් ස්වාමීනී, ගෞතමයන් වහන්ස, ඒවායින් හරි මොකක්ද? වැරදි මොකක්ද? කියා සිතාගන්න බෑ. අපට සැකයක් ම යි, විචිකිච්ඡාවක් ම යි ඒවා ගැන ඇතිවන්නේ.”

එවිට බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළා.

“කාලාමයනි, සැක කළ යුතු තැන ම යි සැක කරලා තියෙන්නේ. විචිකිච්ඡාව ඇති විය යුතු තැන ම යි විචිකිච්ඡාව ඇතිවෙලා තියෙන්නේ. ඔබට ඇතිවෙලා තියෙන සැකය බොහොම සාධාරණයි.”

බුද්ධිමත් තෝරාගැනීම නම් මෙයයි….

ඉන් පසු භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ට මෙසේ අනුශාසනා කොට වදාළා.

“කාලාමයනි,
* අහපු පමණින් ගන්න එපා (මා අනුස්සවේන).

* පරම්පරාවෙන් ආ පමණින් ගන්න එපා (මා පරම්පරාය).

* මෙහෙම මෙහෙම වුණා කියූ පමණින් ගන්න එපා (මා ඉතිකිරාය).

* අපේ පොත්වල තියෙනවා කියූ පමණින් ගන්න එපා (මා පිටකසම්පදානේන).

(මින් අදහස් කළේ වේද ග්‍රන්ථ ආදි බාහිර පුස්තක මිස ත්‍රිපිටක බුද්ධ දේශනා නො වේ)
* තර්කයට ගැළපිච්ච පමණින් ගන්න එපා (මා තක්ක හේතු).

* ගළපා ගත්තු න්‍යායට ගැළපිච්ච පමණින් ගන්න එපා (මා නය හේතු).

* මෙහෙම වුණොත් මෙහෙම වෙයි කියා කල්පනා කර ගොඩනගා ගත්තු මතයට ගැළපිච්ච පමණින් ගන්න එපා (මා ආකාරපරිවිතක්කේන).

* දෘෂ්ටියකට බැසගෙන ගන්න එපා (මා දිට්ඨි නිජ්ඣානක්ඛන්තියා).

* බලාගෙන ගියා ම ඒකත් හරිනේ කියලා ගන්න එපා (මා භබ්බරූපතාය).

* ඔය කරුණු කියන කෙනා අපගේ ගුරුවරයා හෙවත් අප ගරු කරන ශ්‍රමණයන් වහන්සේ කියා ගන්න එපා (මා සමණෝ නෝ ගරූ).

මේ අයුරින් දේශනා කොට වදාළ බුදුරජාණන් වහන්සේ යමක් ගත යුතු ආකාරය මෙසේ පෙන්වා දුන් සේක.

🙏“කාලාමයෙනි, යම් කලෙක ඔබ තමා තුළින් ම දැන ගන්නවා නම්, මේ අකුසල ධර්මයන් (ඉමේ ධම්මා අකුසලා), මේවා වැරදි දේවල් (ඉමේ ධම්මා සාවජ්ජා), මේ දේවල් බුද්ධිමතුන් විසින් ගරහන දේවල් (ඉමේ ධම්මා විඤ්ඤූගරහිතා), මේ දේවලින් සමන්විත වෙලා, මේ ධර්මයන්හි සමාදන් වෙලා හිටියොත්, බොහෝ කල් අහිත පිණිස, දුක් පිණිස පවතිනවා කියා (ඉමේ ධම්මා සමත්තා සමාදින්නා අහිතාය දුක්ඛාය සංවත්තන්තීති). කාලාමයෙනි, අන්න ඒ දේවල් දුරු කරන්න.”
ඉන් පසු භාග්‍යවතුන් වහන්සේ මෙසේ විමසා වදාළා.
“කාලාමයෙනි, සිතක ලෝභය, ද්වේෂය, මෝහය ඇතිවන්නේ යහපත පිණිස ද? අයහපත පිණිස ද?”
“ස්වාමීනි අයහපත පිණිසයි.”
“කාලාමයෙනි, ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මඩනා ලද සිතින් යුතුව තමයි කෙනෙක් ප්‍රාණඝාතය, සොරකම, වැරදි කාම සේවනය, බොරු කීම ආදි අකුසල් කරන්නේ. එහෙනම් ලෝභය, ද්වේෂය, මෝහය කුසල් ද? අකුසල් ද?”
“ස්වාමීනී, ඒවා අකුසල්.” කියා කාලාම පිරිස පැවසුවා.
“ඒ අකුසල් හරි ද? වැරදි ද?”
“ස්වාමීනී, අකුසල් වැරදියි.”
“එහෙම නම්, ලෝභ, ද්වේෂ, මෝහ සහගතව දුෂ්චරිතයේ යෙදීම බුද්ධිමත් මිනිසුන් ප්‍රශංසා කරන එකක් ද? ගරහන එකක් ද?”
“ස්වාමීනී, ගරහන එකක්.”
“එබඳු ආකාරයේ ජීවිතයක් යමෙක් පැවැත්වුවොත් හිතසුව පිණිස ද පවතින්නේ, අහිත පිණිස දුක් පිණිස ද?”
“ස්වාමීනී, අහිත පිණිස දුක් පිණිසයි පවතින්නේ.”
“එම නිසා කාලාමයෙනි, යමක් අකුසල් ද යමක් වැරදි ද බුද්ධිමතුන් ගරහනවා ද ඒක අනුගමනය කළොත් දුක් පිණිස අහිත පිණිස පවතිනවා ද අන්න ඒක අත් හරින්න.”

යහපත සෙත සුව සලසන කුසල් වඩමු….

ඉන් පසු බුදුරජාණන් වහන්සේ මෙසේ අනුශාසනා කොට වදාළා.

🙏යම් කලෙක ඔබ තමා තුළින් ම දැන ගන්නවා නම්, මේවා කුසල ධර්මයන්, මේවා හරි දේවල්, මේවා බුද්ධිමතුන් විසින් ප්‍රශංසා කරන දේවල්, මේ දේවලින් සමන්විත වෙලා, මේ ධර්මයන්හි සමාදන් වෙලා හිටියොත් බොහෝ කාලයක් හිතසුව පිණිස, සැපය පිණිස පවතිනවා කියා කාලාමයෙනි, අන්න ඒ දේවල් අනුගමනය කරන්න.”

තවදුරටත් භාග්‍යවතුන් වහන්සේ එම කාරණය මෙසේ පහදා දුන්නා.

“කාලාමයෙනි, හිතක ඇතිවන ලෝභ නැති බව, ද්වේෂ නැති බව, මෝහ නැති බව හිත සුව පිණිස ද පවතින්නේ අහිත පිණිස ද?”
“ස්වාමීනී, හිත සුව පිණිසයි.”

“අලෝභය, අද්වේෂය, අමෝහය නිසයි කෙනෙක් ප්‍රාණඝාතයෙන්, සොරකමින්, වැරදි කාම සේවනයෙන්, බොරු කීම ආදි අකුසලයෙන් වළකින්නේ. එහෙම නම් මේ අලෝභ, අද්වේෂ, අමෝහ, කියන්නේ කුසල් ද? අකුසල් ද?”
“ස්වාමීනී, ඒවා කුසල්.” කියා කාලාමවරු පැවසුවා.

“ඒවා හරි ද? වැරදි ද?”

“ස්වාමීනී, ඒවා නිවැරදි දේවල්.”

“ඒවාට බුද්ධිමතුන් ගරහනවා ද? ප්‍රශංසා කරනවා ද?”

“බුද්ධිමතුන් ප්‍රශංසා කරනවා.”

“යම් කෙනෙක් ඒවා සමාදන් වෙලා වාසය කළොත් ඒක හිතසුව පිණිස පවතී ද? අහිත පිණිස පවතී ද?”

“ස්වාමීනී, ඒක හිතසුව පිණිස පවතිනවා.”

“එම නිසා කාලාමයෙනි, යමක් කුසල් ද නිවැරදි ද බුද්ධිමත් අය එයට ප්‍රශංසා කරනවා ද එය අනුගමනය කිරීමෙන් බොහෝ කාලයක් යහපත පිණිස හිතසුව පිණිස පවතිනවා ද එය පුරුදු කරන්න.”

ඉන් පසු බුදුරජාණන් වහන්සේ වදාරනවා,

“කාලාමයෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා, ලෝභ නැති බැවින්, මෛත්‍රියෙන්, කරුණාවෙන්, මුදිතාවෙන්, උපේක්ෂාවෙන් යුතුව දස දිසාවට ම සතර බ්‍රහ්ම විහරණ පතුරුවාගෙන වාසය කරනවා. ඒ අයුරින් සිව් බඹ විහරණ දස දිසාවට ම පතුරුවාගෙන වාසය කිරීම නිසා, ඔහුට මේ ජීවිතයේ දී ම සැනසිලිදායක කරුණු හතරක් ලැබෙනවා.
ඒ තමයි,

* ඉදින් පරලොවක් තියෙනවා නම්, යහපත් කුසල කර්මයන්ගේ විපාක තියෙනවා නම්, මම මරණින් මතු සුගතියේ උපදිනවා.

* ඉදින් පරලොවක් නැත්නම්, මං මේ ජීවත්වෙන කාලය තුල දුක් නැති සැප සහගත ජීවිතයක් ගතකරනවා.

* යම් කිසි කෙනෙක් මේ ලෝකෙ පව් කරනවා කියා සම්මත ද ඒ ගොඩට මම වැටෙන්නෙ නෑ.

* මේ ලෝකේ යම් කෙනෙක් පින් කරනවා කියා සම්මතයි ද ඒ කොටසටයි මම අයිති.

ඔය අයුරින් අස්වැසිලි හතරක් එයා ලබනවා.”

එවිට කාලාම වැසියන් මහත් සතුටින් යුතුව භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ දෙසුම අනුමෝදන් වී දිවි තිබෙන තුරාවට තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයන් බවට පත් වුණා.

මෙහි දී කිසිම අයුරකින් “බුදුරජාණන් වහන්සේ කිව්වත් පිළිගන්න එපා.” කියා සඳහන් නොවන අතර කිසිසේත් ම එවැනි අර්ථයක් ද ඉස්මතු වන්නේ නැහැ. සමහරුන් එසේ පවසන්නේ “මා සමණෝ නෝ ගරූ” යන පදයේ ව්‍යඤ්ජනය ද අර්ථය ද වැරදියට වටහාගැනීමෙන් විය යුතුයි. දීඝ නිකායේ පාසාදික සූත්‍ර දේශනාවේ මෙසේ සඳහන් වෙනවා. “මහණෙනි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ස්වාක්ඛාත වූ මේ ශ්‍රී සද්ධර්මය කිසිදු අඩුවක් නොමැතිව පරිපූර්ණ ව පිරිසිදු නිවන් මඟ පෙන්වා දෙයි. එහි දී නිවැරදි ලෙස ව්‍යඤ්ජනය ද අර්ථය ද වටහා ගත යුතු ය.” එම නිසා සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් සමතිස් පෙරුම්දම් සපුරා, ගුරු උපදේශ රහිතව සම්බුද්ධත්වය සාක්ෂාත් කොට, නිකෙලෙස් හද මඬලක් දරා වැඩ සිටිමින් භාග්‍යවතුන් වහන්සේ වදහළ උතුම් සම්බුදු වදන් අප ශාස්තෘ ගෞරවයෙන් ඇසිය යුතුයි. කියවිය යුතුයි. මතකයේ දරාගෙන නුවණින් විමසිය යුතුයි.

ඒ ධර්මයට අනුව පිළිවෙත් පිරිය යුතුයි. බිහිසුණු සතර අපායෙන් නිදහස් වී, සුගති රැකවරණ ලබා, උතුම් ධර්මාවබෝධය කරා යා හැකිවන්නේ ශාස්තෘ ගෞරවයෙන් යුතු ශ්‍රද්ධාවන්ත නිහතමානී ශ්‍රාවකයන්ටයි.

තෙරුවන් සරණයි🙏

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X