උතුම් නවම් පොහොය අදයි
නැවුම් සිතැති
නවම් පෝදා
බැති සිතින්
පුදමු…වඳිමු…
ඒ උතුම් මුනි සිරිපා…
අවුරුද්දේ දෙවන මාසය වන පෙබරවාරි මාසයේදී නවම් පුන් පොහොය සමරනු ලබයි. බුදුන් වහන්සේගේ දෑගසව්වන් වූ සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා සම්බුද්ධ ශාසනයෙහි එම තනතුරු ලැබුවේ නවම් පුන් පොහෝදාකයි.
ප්රථම ධර්ම සංගායනාව සිදු වී ඇත්තේ ද අද වන්වූ නවම් පෝදාකයි.
බුදුරජාණන් වහන්සේ ආයුසංස්කාරය අත් හරිනු ලැබුවේ ද නවම් පුන් පොහොය දිනකයි .
ඕවාද ප්රාතිමෝක්ෂය නමින් පටු ආකල්ප බැහැර කොට සමාධිගත දිවි පෙවතකට සඟරුවන යොමු කරවීමේ දේශනාව බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේද අද වන් වූ උතුම් නවම් පුන් පොහොය දිනයකයි.
ශ්රී ලාංකීය අපට වගේම ලෝකවාසී බෞද්ධ ජනතාවටද, නවම් පුර පසළොස්වක පොහොය දිනය ඉතාමත් වැදගත් වෙයි.
මහා කාශ්යප තෙරුන් වහන්සේගේ ප්රධානත්වයෙන් ප්රථම ධර්ම සංගායනාව සිදු වී තිබීම නවම් පොහොය දිනයක සිදුවූ උත්කර්ෂවත් අවස්ථාවකි .සැරියුත් මුගලන් මහරහතන් වහන්සේ දෙනමගේ පිරිනිවන් පෑමෙන් පසු බුදුරජාණන් වහන්සේ රජගහ නුවරින් නික්ම ගොස් චාපාල චෛත්ය කරා වැඩම කරවීම ද මෙම පොහොය දිනයේ දී සිදුවිය.
සූර්යයා කුම්භ රාශියේ ගමන් කරමින් සිටින බව පැවසෙන නවම් මාසයේ වැදගත්කම ශ්රී ලංකාවේ බෞද්ධයන්ට වඩා බුද්ධ ශාසනයේ චිර ජීවනය උදෙසා සිදුකරන ලද උතුම් සිදුවීම් ගණනාවකින්
ඔප් නැංවෙයි.
පිදිය යුත්තන් පිදීම, සුදුස්සාට සුදුසු තැන ලබාදීම, වැනි නුවණැති ක්රියාවන් නිසි ලෙස සිදු නොවන සමාජයක් පරිහානියට ලක් වනු විනා දියුණුවක් නොලබයි.
බුද්ධ චරිතය හා බැඳුණු බොහෝ නවම් මස සිදුවීම් තුළ ඇත්තේ ඉතාමත් දියුණු මනුෂ්ය ගුණධර්මයන්ගෙන් පොහොසත් ප්රඥාවන්ත ක්රියාවන් පිළිබඳව පූර්වාදර්ශ සමූහයක් බව පැවසිය හැකියි.
භික්ෂු සමාජයෙ හි ආචාරශීලීබව, ගුණ ගරුක බව, හා විනය නිසි ලෙස පවත්වාගෙන යාම සඳහා විවාද ප්රාතිමෝක්ෂය දේශනා කිරීම නවම් පුර පසළොස්වක පෝදා සිදු වූ ඉතා වැදගත් සිදුවීමක් වන අතර එම දේශනාව අවවාද වලින් යුත් ගාථා තුනකින් සමන්විත විය.
*ඉවසීම නමැති ශාන්තිය උතුම් තපසකි.බුදුවරු නිවන උතුම් කොට ප්රකාශ කරති .අනුන් නසන්නා පැවිද්දකු නොවේ. අනුන්ට පීඩා කරන්නා මහණෙක් ද නොවේ.
*සියලු පව් නොකිරීම ද කුසල් රැස් කිරීම ද තම සිත පිරිසුදු කර ගැනීම ද යන මෙය සියලු බුදුවරුන්ගේ අනුශාසනයයි.
*අනුන්ට නොබැනීමත්, අනුන්ට හිංසා නොකිරීමත්, ප්රාතිමෝක්ෂ සංවරයත් ,ආහාරයෙහි පමණ දැන ගැනීමත්, ගමින් දුර පිහිටි වනසෙනසුන් හි ඇල්මත් ,අෂ්ට සමාපත්තීන් හි යෙදීම ගැන කරුණු සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි
උක්ත අරුත් එම ගාථා ත්රිත්වයේ අරුත් ගනී.
මහා කාරුණික වූ බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසක් පුරා බොහෝ මිනිසුන් ගේ පමණක් නොවෙයි… දේව, බ්රහ්ම ,රාක්ෂ, යක්ෂ ආදීන්ගේ හා අපා දෙපා සිවුපා සතුන්ගේ යහපත උදෙසා ධර්මය දේශනා කළ සේක .
අසූ වැනි වියට ළං ව සිටිය දී සියලු සත්ත්වයාට පොදු අනිත්යතාව තමන් වහන්සේට ද පොදු බව පහදා දෙමින් පිරිනිවන් පෑමට තීරණය කළ සේක.
මේ තීරණය ආයු සංස්කාර අත්හැරීම ලෙස හඳුන්වනු ලබනවා.. බුදුරජාණන් වහන්සේ මෙසේ ආයු සංස්කාරය අත්හළේ නවම් පොහොය දිනයක ලෙස බෞද්ධ ඉතිහාසයේ සනිටුහන් වෙනවා…
මෙවන් උතුම් වැදගත් ආගමික සංසිද්ධීන් සනිටුහන් වන මේ බැතිබර පෝදා …තෙල් මල් සඳුන් පෙරටු කොට ඒ උතුම් මුනිඳු පුදමු…
තෙරුවනේ අනන්ත ගුණ බලෙන් ඔබට සෙත් වේවා!!!
සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood