Temples of Sri Lanka

ලැබීමට නම් , දීමත් වටිනවා…

ගෞරවය ක් ලැබීමට නම් ගෞරව කිරීමත් යුතු දෙයක. එය අප හොඳින්ම දන්නා කරුණකි. අපි කතා කරන විට අනෙක් තැනැත්තා ඊට සවන් දෙන්නේ නම් ඒ ඔබට කරන ගෞරවයකි.

 

 

එවිට තමන් තුළ මෙන්ම අනෙකා තුළද විශ්වාසයක් ගොඩ නැඟෙයි. විශ්වාසය අන් සියලු කාරණාවලටත් වඩා ආදරය කිරීමේදී වැදගත්ය.

 

 

සැමියාට බිරියට තමන්ට වටිනාකමක් ඇතිබව හැඟෙන්නේ එකිනෙකාට ගෞරව කිරීමෙන් ගොඩ නැඟෙන විශ්වාසයෙනි.

ආදරය නිසා දෙදෙනෙක් පතිපතිනියන් වී දිවි ගෙවයි. දෙදෙනා එක් අයකු ලෙස දිවි ගෙවීමට උත්සාහ ගනියි. එහෙත් දවසින් දවස ගත වන විට එය මොන තරම් දුෂ්කරදැයි සිතෙයි. යථාර්ථය සත්‍ය වශයෙන්ම එයයි.. ආදරය විවාහය නම් බන්ධනයේ කොඳු නාරටිය බව සැබෑවකි. එහෙත් එය පමණක්ම ආදරය පවත්වාගෙන යාමට උපකාරී වන්නේ නැත.

 

ගෞරවය, ආදරය සමඟ අත්වැල් බැඳගත් අනෙක් වදනයි..

 

ගෞරවය ඇති විට අනෙකාගේ යහපත් ගති මෙන්ම දුර්වලතා නොරිස්සුම් සහගත දේ සහ අයහපත් ගතිද විඳ දරා ගැනීමට හැකියාවක් ලැබේ.
එසේම ඉවසීමටද පුරුදු කරයි.

 

 

වෙනස් ගති ස්වභාවයෙන් යුතු දෙදෙනකු එකට ජීවත්වීමේදී වඩාත්ම දුෂ්කර දේ වන්නේ ඉවසීමයි. එහෙත් බිරියට / සැමියාට ගෞරවයක් ඇති විට මොනතරම් මතභේදාත්මක සිතිවලි ඇති අවස්ථාවකදී වුවද ඉවසීමට පුරුදු වෙයි.

 

 

දිගු කාලයක් සාර්ථක විවාහ දිවියක් ගත කළ දෙදෙනකු සමඟ ඔවුනගේ අත්දැකීම් ගැන කතා කළොත් ඔවුන් ආදරය යන වචනයට වඩා ‘ගෞරවය’ යන වචනය වැඩි වාර ගණනක් පවසනු ඔබට ඇසෙනු ඇත.

ආදරය ඇතැම් විට ලැව් ගින්නක් වැනිය. කාලයකදී පැහැය අඩුවීගෙන යන සායම් බොඳවෙන රෙද්දක් බඳුය. කෙනකුගේ රුව නිසා පමණක් සෙනෙහසින් බැඳුණානම් ඒ රුව විරූපී වූ පසු සෙනෙහස ද පෑල දොරින් පලායයි. එහෙත් ආදරයෙන් මෙන්ම ගෞරවයෙන්ද එකිනෙකා කෙරෙහි බැඳුණු විට එසේ වන්නේ නැත.

සැමියා – බිරිය ගෞරවයෙන් බැඳී සිටීමේදී අනෙකාගේ සිත රිදවන, හදවත පාරන කිසිවක් කිරීමෙන් වැළකී සිටියි. වංචා සිතක් පහළ වුවද යටපත් කරගනී.

සැබෑ ආදරයද ආයුෂ මෙන් ගුණනය වන්නකි. අංක එකෙන් ඇරඹූ ආදරය මිලියන, බිලියන, ට්‍රිලියන ගණන් වැඩි කර ගැනීමට හැකිවන්නේ ගෞරවයත් ඊට සුසංයෝග වූ විටය.

බිරිය, සැමියාට ගරු කළ යුතුයි යන්න බොහෝ සංස්කෘතීන්වල ලියවී ඇති නමුදු සැමියාද බිරියට ගරු කළයුතුය. ගෞරවය ලැබීමට නම් තමාද ගරු කළ යුතුමය.

ඇතැම් ආදර සබඳතා විවාහයෙන් කෙළවර නොවන්නේද දෙදෙනා එක හා සමානවම දෙදෙනාට ගරු නොකිරීම නිසාය.

විවාහ උපදේශකයන්, මනෝ උපදේශකයන් වෙත පැමිණෙන බොහෝ දෙනෙක් එකිනෙකාට ඇඟිලි දිගු කර ගැනීමට ප්‍රධාන හේතුවක් කර ගන්නේ ගෞරවය සම්බන්ධ පැන නඟින ගැටලුය.

 

 

“එයා මට හැම වෙලාවෙම හැඳිමිටේ නුවණ තියෙන මෝඩ ගෑනි කියනවා.”

“හොද්දට ලුණු ටිකක් වැඩි වුණත් මෙයා මට ගහනවා.”

“මගේ පෞද්ගලික තොරතුරු එයාගෙ යාළුවන්ට කියනවා.”

 

 

මෙවැනි චෝදනා එල්ල වන්නේ ගෞරවයක් නැති කුටුම්බයන් තුලිනි.

 

‘ගැහැනියට අවශ්‍ය ආදරයයි’, ‘පිරිමියාට අවශ්‍ය ගෞරවයයි’ යන්නද සුලබව පවතින මතයකි. එහෙත් සැබෑව නම් දෙදෙනාටම ආදරය වගේම ගෞරවය ද අවශ්‍යය.

 

 

බිරියට ගෞරවය කරන පිරිමියා සැම විටම දෑස් රඳවන්නේ බිරිය වෙත පමණය. ලෝක රූපරාජිනිය තමා අබියස සිටියද ආදරයෙන් දෑස් හැඟුම්බර වන්නේ බිරිය ඉදිරියේදී පමණි.

බිරියගේ බලාපොරොත්තු මල්පල ගන්වන්නේ ඇයගේ සිහින සැබෑ කරන්නේ බිරියට ගරු කරන සැමියකු පමණි.

පවුල වෙනුවෙන් වෙහෙසවී හරි හම්බ කරන්නේ බිරියට ඇති ගෞරවය නිසාය. අලස සැමියකු කිසිවිටකත් බිරියට ගෞරව කරන්නකු නොවෙයි.

 

 

බොහෝ විට ගෙදර දොර වැඩකටයුතු ගෘහණියටම පමණක් සීමා වූවකි. බිරිය ද තමන් මෙන්ම රැකියාවක නියැළියද නිවෙසේ වැඩ කටයුතු ඇය අතින්ම සිදුවිය යුතුයි කියා සිතන පිරිමියා බිරියට ගරු කරන්නෙක් නොවෙයි. ඇතැම් පවුල් සංස්ථාවල සැමියාවරන් බිරින්දෑවරුන් රැකියාවලට නොගියද මුළුතැන්ගෙයි රාජකාරි කටයුතුවලට සහාය වෙයි. රෙදි සෝදා දෙයි. එයින් නිහඬවම කියා පාන්නේ බිරියට තම සිතේ ඇති ගෞරවයයි.

 

 

බිරියගේ කතා බහ කාලයාගේ ඇවෑමෙන් සැමියාට කර්ණ කටුක අත්දැකීමක් බවට පත්වෙයි. එහෙත් සැමියාට සරාගී බව අවශ්‍ය වන්නේ යම්සේද බිරියට සැමියත් සමග කරන සුහද කතාබහද ඒ හා සමානව වටින්නේය. බිරියට යමක් පවසන්නට ඇතිවිට දුරකථනය සංවාදය නවත්වා ඊට සවන් යොමන්නේ නම් රූපවාහිනිය නැරඹීම නවතා බිරියගේ කතාවට ප්‍රමුඛතාව දෙයි නම් එයින් පෙන්වන්නේ ඇයට ඇති ගරුත්වයයි.

 

 

බිරියට ගරු කරන පිරිමියා කිසි විටකත් ඇයට බොරු නොකියයි. බිරියට අසත්‍ය පැවසීම ඇයට කරන නිග්‍රහයකි.

දින දසුනේ සටහන් වන කාර්යයන් අතරේ බිරියගේ අවශ්‍යතාවන්ට ප්‍රමුඛතාව දීම මෙවැනි සැමියාවරුන්ගේ සිරිතය.

මෙවැනි ගෞරවයක් ලබන බිරිය සැබෑ වාසනාවන්තය. එවැනි බිරියකට කිසිදිනක සැමියාට ද්‍රෝහි විය නොහැකිය.

බිරිය ද සැමියාට ගරු කළ යුතුය. බොහෝ රටවල සංස්කෘතියද ගොඩනැගී ඇත්තේ ඒ අයුරිනි. සැබෑවටම සැමියා බිරියගේ ගෞරවය ලබන්නෙක් නම් ඔහුට ජීවිතයේ අභියෝග ජය ගැනීම ඉතා පහසුවෙයි.

 

 

සහෝදරත්වයෙන් එක්වෙමු!

©️ Buddhist Brotherhood

You might also like
en English
X
X