Temples of Sri Lanka

දුක හදන හේතු නිවා දමමු

බුදුන් වහන්සේ අපට පෙන්වා දෙනවා “සබ්බ” කියන සූත්‍රයේදී, “සියල්ල” කියන්නෙ කුමක්ද කියල. “පින්වත් මහණෙනි, මම ඔබට සියල්ල කියන්නෙ කුමක්ද? සියල්ල ගැන කියා දෙන්නම්” කියල. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා,

මේ ඇස-ඇසට පේන රූප, කන-කනට ඇසෙන ශබ්ද, නාසය-නාසයට දැනෙන ගඳ සුවඳ, දිව-දිවට දැනෙන රස, ශරීරය-ශරීරයට දැනෙන පහස, ඊළඟට සිත-සිතට දැනෙන අරමුණු. මෙන්න මේවට තමයි භාග්‍යවතුන් වහන්සේ සියල්ල කියල පෙන්වා දෙන්නෙ.

ඉතින් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා, මේවටත් වඩා එහාට ගිය සියල්ලක් නෑ කියල. සියල්ල ම එතන තිබෙනවා කියල. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ “ලෝක” කියන වචනයත් අපට පෙන්වා දෙන්නේ ඇස-ඇසට පේන රූප, කන-කනට ඇසෙන ශබ්ද, නාසය-නාසයට දැනෙන ගඳ සුවඳ, දිව-දිවට දැනෙන රස, ශරීරය-ශරීරයට දැනෙන පහස, ඊළඟට සිත-සිතට දැනෙන අරමුණු. මේව තමයි අපිට ලෝකය විදිහට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන්නේ. සියලු ම ලෝකය එතන තියෙනව.

අපි දිව්‍ය ලෝක ගත්තත්, බ්‍රහ්ම ලෝකය ගත්තත්, මනුෂ්‍ය ලෝකය ගත්තත්, තිරිසන් ලෝකය, පෙරේත ලෝකය, නිරය මේ කොහේ ගත්තත් ආධ්‍යාත්මික ආයතන සහ බාහිර ආයතන පමණයි තිබෙන්නේ.

මේ ආධ්‍යාත්මික වූ ආයතන ඇස, කන, නාසය, දිව, ශරීරය සිත සහ බාහිර ආයතන රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු පමණයි තිබෙන්නෙ.

එතකොට සියලු ලෝකය විදිහට අපිට හඳූනගන්න තිබෙන්නේ, ආධ්‍යාත්මික ආයතනත්, බාහිර ආයතනත්. එතනින් එහාට ලෝකයක් නැහැ. එතකොට අපි සියලු ලෝකය කෙරෙහි කැමැත්ත දුරුකරගැනීම පිණිස කටයුතු කළ යුත්තේ, ආධ්‍යාත්මික ආයතනත් බාහිර ආයතනත් කෙරෙහි ඇල්ම දුරුකර ගැනීමට උත්සාහ කිරීමෙන්.

ඇයි මේ ආධ්‍යාත්මික ආයතන, බාහිර ආයතන ගැන තිබෙන ඇල්ම දුරුගන්න උත්සාහ කළ යුත්තේ. ඒ කුමක් පිණිස ද? මේ ආයතන නිසා කර්කෂ වූ දුක් පීඩා උපද්දල දෙනව. ඇස නිසා දුක් පීඩා උපදිනව. කන නිසා, නාසය නිසා, දිව නිසා, ශරීරය නිසා, සිත නිසා දුක් පීඩා ඉපදෙනව.

බලන්න ඇසෙන් ප්‍රියමනාප රූපයක් දැකල, ඒ නිමිති සිහිකර කර ඉන්ට පුරුදුවුණොත් රාගය ඉපදෙනව. රාගය ඉපදුනහම මොකද වෙන්නෙ? ඒ රාග ගින්නෙන් හිත දැවෙනව. හිතත් දැවිල, කයත් පිච්චෙන්න පටන් ගන්නව. එතකොට ඒ ඇහැ මුල්වෙලා අපිට යහපතක් සිදුවුණාද, අයහපතක් සිදුවුණාද? ඇහැ මුල්වෙලා අපිට විශාල අයහපතක් සිදුවුණා.

එතකොට ඇහැ මුල්වෙලා ප්‍රිය මනාප රූපයක් දැකල, ඒ ප්‍රිය මනාප රූපයේ නිමිති මුල්කරගෙන රාගය උපද්දගෙන, රාගයෙන් යටවෙලා ඉන්න වෙලාවෙ මළොත් මොකද වෙන්නෙ?

භාග්‍යවතුන් වහන්සෙ පෙන්වා දෙන්නේ, එයා නිරයේ ඉපදෙනව.

එතකොට බලන්න, ඇහැ මුල්වෙලා අපිට යහපතක් ඇතිවුණාද කියල? ඇහැ මුල්වෙලා යහපතක් ඇතිවුණේ නෑ. කන මුල්වෙලත් ඒ වගේ. නාසය මුල් වෙලත්, දිව මුල් වෙලත් එහෙමයි. ශරීරයත් එහෙමයි. සිත මුල් වෙලත් එහෙමයි. අපිට මහා දුක්ගොඩක් උපද්දවල දෙනව.

නමුත් මේක තේරෙන්නැතුව අපි ඇහැට පි‍්‍රය කරනව, කනට ප්‍රිය කරනව, නාසයට ප්‍රිය කරනව, දිවට, ශරීරයට, සිතට ප්‍රිය කරනව. මේව ඉතා ම ප්‍රිය මනාප දේවල් විදිහට තමයි අපි පරිහරණය කරන්නෙ. මිත්‍රයො විදිහට. මට සැප උපද්දල දෙන දෙයක්, යහපත උපද්දල දෙන දෙයක් කියල තමයි අපි පරිහරණය කරන්නෙ ඒවා.

නමුත් සිද්ධවෙන්නෙ මොකක්ද? අපි යහපත, උපකාරය සලසනවා කියල ඉතා ම හිතවත්ව අපි මේව පරිහරණය කරනව. නමුත් ඇත්තෙන්ම මොකක්ද වෙන්නෙ? අපි දන්නෙ ම නැතිව මේ ඇසම මුල් වෙලා, මේ කන ම මුල් වෙලා, මේ නාසය ම මුල් වෙලා, මේ දිව ම මුල් වෙලා මේ ශරීරය ම මුල් වෙලා, මේ සිත ම මුල් වෙලා මේ ආයතන මුල් වෙලා ම තමයි රාගය කියන ගින්න උපද්දවල අපිව දවල දමන්නෙ.

මේ ආයතන හය මුල්වෙලා ම තමයි ද්වේෂය කියන ගින්න උපද්දවල අපිව දවන්නෙ. මේ ආයතන හය ම මුල්වෙලා තමයි මෝහය කියන ගින්න උපද්දවල අපිව දවන්නෙ. සියලු ලෝකය කෙරෙහීම ඇල්ම දුරුකරගැනීම පිණිස සියලු දෙනාටම භාග්‍ය උදාවේවා.

සහෝදරත්වයෙන් එක්වෙමු!

©️ Buddhist Brotherhood

You might also like
en English
X
X