හිරු නැති කළ, සඳු කොහේද
විටෙක සසරෙන් එතෙර වීමට උනන්දු කරවන සිත, තවත් විටෙක සංසාරයේ ගමන් කිරීමට හේතු සකසයි.
දියුණු කළ නුවණකින් මේ සියල්ල වටහාගත නොහැකි වුවහොත් සිත පසුපස වල්මත්වී දුව ගොස් නැවත නැවතත් මං මුළා වීමට සිදුවීම වැළැක්විය නොහැකි කාරණයක්.
ඇතැමුන් විනාශ වූ පසුවත් තමා වැනසී ගිය බව නොදනී.නමුත් කලාතුරකින් කෙනෙකුට විනාශවීමට පෙර අහඹු සිදුවීමක් දෙකක් සිදුවී.. විනාශයෙන් ගැලවීමට අවස්ථාවක් ලැබෙනවා.
කුමන හෝ පෙර කළ පිනකට කළණ මිතුරු ඇසුර නිසා එබඳු උගුලකින් යන්තමින් ගැලවෙන්නට අවස්ථාවක් ලැබෙන එකත් මහා පිනක්..
ඇතැම් විට කලණ මිතුරන් සිටින්නේ පියවි ලෝකයේ පමණක් නොවෙයි. නොපෙනෙන ලෝකයේ කලණ මිතුරන් සිටින්නට පුළුවන්.
ඥානය නොමැති නම්.. පෙනෙන නොපෙනන කිසිදු ලොවක ජීවත් වන කලණ මිතුරෙකු හඳුනාගත නොහැකියි.
සාරිපුත්ත මොග්ගල්ලාන අග්‍රශ්‍රාවකයන් වහන්සේලා ගැන පැහැදී සිටි කෝකාලික නම් වූ භික්ෂුවකට සත්‍ය වටහා දීමට බුදුරජාණන් වහන්සේටත් නොහැකිවුනා. ඔහුට පෙනෙන්නට පැමිණි බ්‍රහ්මයෙක් ද ඒ සඳහා උත්සාහ ගත්තත් එය ද නිෂ්ඵල වුණා. අවසානයේ දී අග්‍රශ්‍රාවකයන් කෙරෙහි පැහැදුණු සිතින් යුතුව කෝකාලික අපාගත වුණා. එවන් ඉතිහාසයක චිත්ත පීඩාවන් සංසිඳුවා ගැනීමට ලැබීම ද මහා වාසනාවක්…
කෙනෙකු පීඩා විඳින ගැටලුවකට තවත් බාහිර කෙනෙක් ගෙන් සාර්ථක විසඳුමක් ලැබුනහම ඒ විසඳුමෙන් ඔහුට සැනසීමක් ලැබෙනවා නම්, ඒ සැනසීම ලැබීමට හේතු වුන අරමුණට අර පුද්ගලයා බැඳිලා යනවා …ඒක හරියට කුසගින්න නිවා ගන්නට ආහාර ගන්න පිවිසුන හෝටලයෙන් ඔහුට අනපේක්ෂිත ආකාරයේ ප්‍රණීත ආහාරයක් ලැබුන නම් ඒ හෝටලය ගැන හොඳට මතක තියාගන්නව වගේ….
ඇවතුම් පැවතුම් කියන දේවල් ජීවිතයේ අල්ලා ගන්නට අවශ්‍ය දේවල් නෙමෙයි. සමහර අය ස්වාමීන් වහන්සේලා බණ කියන විලාසය ,ගාථා කියන විලාසය, අනුකරණය කරනවා.. පැවිද්දෙක් නම් තමන් කැමති භික්ෂු චරිතය, සිවුර පාට, එය අඳින පොරවන ආකාරය,වටාපත වගේ දේවල් අනුකරණය කරනවා.
මේ වගේ කොපි ඇති තරම් අපිට සමාජයේ ද දැකගන්නට පුළුවන්. මුළු මහත් මිනිස් ප්‍රජාවට ම සක්කාය දිට්ඨිය නිසා උපදින ප්‍රශ්නයක් මේක..
ශාසනය විතරක් නෙවෙයි ශාසනයෙන් පිටතත් මේ ප්‍රශ්න තියෙනවා.යම් නළුවෙක් නිළියක් ගැන පැහැදිලි තාවයක් ඇති වුනොත්, ක්‍රීඩකයෙක් ක්‍රීඩිකාවක් ගැන පැහැදීම ඇති වුනොත්, ගායකයෙක් ගායිකාවක් පිළිබඳව පැහැදීම ඇති වුනොත්, මේ විදියමයි සිද්ධ වන්නේ..
සිත පොළඹවන්නේ ම අනුකරණයට.පැරණි නළු නිළියන්ගේ පැරණි ගායක ගායිකාවන්ගේ පැරණි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කොපි ඇති තරම් අපිට අද දකින්නට පුළුවන්.. ඒ විතරක් නෙමෙයි ප්‍රකට දේශපාලනඥයකුගේ අනුගාමිකයන් වුණත් බලන්න… ඔහු වාගේ අඳින්න පළඳින්න සෑහෙන උත්සාහයක් දරනවා. ඔහුගේ දර්ශනය අනුගමනය කරනවා වෙනුවට ඔහු ගේ බාහිර පෙනුම ඇවතුම් පැවතුම් ටිකයි අනුගමනය කිරීමට මහන්සි ගන්නේ.
ගිහි හෝ පැවිදි ශ්‍රාවකයකුගෙන් චතුරාර්ය සත්‍යය ධර්මය ශ්‍රවණය කරලා සිත පහදවා ගත්ත නම්… කෙලෙස් ගැටලුවක් නිවැරදිව විසඳා ගත්තා නම්… සෝතාපන්න හෝ වුනානම්… සියල්ලටම පළමුවෙන් ඔබ මට මහත් උපකාරයක් කළා ඔබ නොසිටින්න මම ලොකු විනාශයක වැටෙනවා කියලා ප්‍රකාශ කළ ශ්‍රාවකයන් ඉන්නවද කියලා සොයා බලන්න..නිවැරැදිවම ධර්ම මාර්ගයට පැමිණියා නම්.. ඔහු මුලින්ම එසේ ප්‍රකාශ කරන්නේ නැහැ. මුලින්ම ඔහුගේ මුවෙන් පිට වෙන්නේ වෙනත් දෙයක්.. ඒ තමයි “නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස” ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
අන්ධකාරයේ සිටි ඇස් පෙනෙන අයකුට තෙල් පහනක් දල්වා ලු පරිද්දෙන්, මංමුලා වූ කෙනෙකුට පාර පෙන්වූ පරිද්දෙන්, යටට හැරවූ දෙයක් උඩට හරවා පෙන් වූ පරිද්දෙන්, භාග්‍යවතුන් වහන්සේ සියල්ල පහදා දුන් සේක… කියලා බුදුරජාණන් වහන්සේට ප්‍රශංසා කරන්නේ.. ධර්මයට ප්‍රශංසා කරන්නේ… ආර්ය මහා සංඝ රත්නයට… ප්‍රශංසා කරන්නේ… ඊට පස්සේ තමයි තේරුම් කරලා දුන්න කල්‍යාණ මිත්‍රයාව සිහිපත් කරන්නේ..
නමුත් සක්කාය දිට්ඨිය විසින් ඒක ලැබිලා තියෙන්නේ වෙන කෙනෙකුට… මේ කියන්නෙ ධර්මය කියාදුන් උපකාර කළ කෙනා සිහි කරන්න එපා කියලා නෙවෙයි..
නමුත් පළමුව ඒ උතුම් බුදුරජාණන් වහන්සේට ප්‍රශංසා කොට පසුව කියා දුන් කෙනා සිහි කරමින් කෘත ගුණ දක්වමින් සත්කාර සම්මාන දක්වන එකයි කල යුතු…
එවිට ආමිසයෙන් කුටි සෙනසුන් වලින් පුද දුන්නත් වරදක් නෑ.. ශාස්තෘ ගෞරවය පෙරටු කරගෙන ඉන්න නිසා උපතිස්ස පරිබ්‍රාජකයා අස්සජි මහරහතන් වහන්සේගේ ගාථාවක් ශ්‍රවණය කොට සෝතාපන්න වුණත් උන්වහන්සේ අස්සජි රහතන් වහන්සේගෙන් විමසුවේ ඔබ වහන්සේගේ ශාස්තෘන් වහන්සේ කවුද කියලයි…
ශාස්තෘන් වහන්සේ සොයා ගොස් පැවිදි උපසම්පදාව ලබාගෙන පසුව දින වත් ලබාගෙන පසුව දිනපතා බුදුරජාණන් වහන්සේටත් තමාට මුලින්ම ධර්මය කියාදුන් අස්සජි මහරහතන් වහන්සේගේ වැඩ සිටින දිශාවටත් නමස්කාර කරලා තමයි සැතපිලා තියෙන්නේ…
ඉතින් මේක නේද සැබෑ ශ්රාවකයා විසින් කළ යුතු වන්නේ..
ඒ වගේම යමෙක් බුදුරජාණන් වහන්සේට කාරණා සහිතව අවබෝධයෙන්ම පැහැදෙනවා නම් ඒකෙ නායක කාන්තයෙන් ම කාරණා සහිතව අවබෝධයෙන්ම ශ්‍රී සද්ධර්මය කෙරෙහිත් ආර්ය මහා සංඝරත්නය කෙරෙහි පැහැදෙනවා ඒ වගේම යම් කෙනෙකුට බුදුරජාණන් වහන්සේ ගැන සැලකිය යුතු ප්‍රසාදයක් ඇති නොවී සංඝයා ගැන බලවත් පැහැදීමක් තියෙනවා නම් එය ආර්ය වූ පැහැදීමක් වෙන්නේ නැහැ මේ ගැන ලස්සන සූත්‍රයක් තියෙනවා අංගුත්තර නිකායේ එන… ඒ සක්කච්ච සූත්‍රය.
මේ සූත්‍රයේ දී පැහැදිලිව ම දේශනා කරනවා ශාස්තෘන් වහන්සේම දේශනා කරනවා ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරවය පැහැදීම ඇති නොවී ධර්මය කෙරෙහි වත් සංඝයා කෙරෙහි වත් පැහැදීමක් ඇති වෙන්නේ නෑ කියලා ඒ වගේම සංඝයා කෙරෙහි පැහැදිලා ගෞරවය ඉපදිලා සංඝයාට සත්කාර කරමින් බුදුරජාණන් වහන්සේට වඳින්න පුදන්න ගරු සත්කාර කරන්න අවශ්‍ය නෑ කියල කෙනෙකුට හිතෙනවා නම් ඒකත් අනාර්ය වූ දෙයක් කියලා ඒ සූත්‍රය කියවද්දී තේරුම් ගන්න පුළුවන්
බොහෝ දෙනා දිවා රෑ වෙහෙසී ධර්මය ඇසුවත් නුවණින් විමසන්නේ ඉතාමත් අඩුවෙන්. ධම්මානුධම්ම පටිපදාව පුහුණු කොට ඒ නුවණින් විමසීම ජීවිතයට බද්ධ කර ගන්නේ ඊටත් වඩා අඩුවෙන්. ඇත්තෙන්ම නැති තරම් දවස තිස්සේම බණ අහන අය හොඳට රණ්ඩු කරගන්න හැටි අපට පේනවා. රාගෙන් ඇවිස්සිලා නොමනා ක්‍රියා සිදු කරන හැටි අපි දකිනවා. මේ88 සියල්ලට හේතුව අභ්‍යන්තර උපකාරයට අදාළ අංග නැතිවීමයි එනිසා මේ දේවල් පුරුදු පුහුණු වෙනවා නම්… කිසිම ගැටලුවක් නැතිව නොබෝ කලකින්ම සෝතාපන්න වෙන්න පුළුවන් ඒ නිසා මේ කාරණා වලට කියන්නේ සෝතාපත්ති අංග කියලා
කල්‍යාණ මිත්‍ර සේවනය සද්ධර්ම ශ්‍රවණය කියන තමාගෙන් බාහිර ඉන් ලැබෙන උපකාර සහ ධර්මය නුවණින් විමසීම නම් වූ යෝනිසෝමනසිකාරයක්. ධර්මය නුවණින් විමසීම තුළින් ආර්ය අෂ්ටාංගික මාර්ගය සීල සමාධි ප්‍රඥා කොටස් දියුණු කරමින් ජීවිතයට බද්ධ කර ගැනීම නම් වූ ධම්මානුධම්ම පටිපදාවයි කියන අභ්‍යන්තරයන් ජීවිතය සමඟ බද්ධ කරගැනීම කල යුතුම ගුණාංගයි…
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood