Temples of Sri Lanka

තනන්නට පරපුරක්…ගුණ නැණ බෙලෙන් අගපත්

තනන්නට පරපුරක්..
ගුණ නැණ බෙලෙන් අගපත්.
කොහෙද වෙන දහමක්..
බුදු දහම මිස ගෙනෙන සුවයක්….

 

එදා සමාජයේ මවුපියන් දරුවන්ට දායාද කළේ ධාර්මිකව උපයා සපයා ගත් ධනය යි. ඒ නිසා සමාජයේ අඛණ්ඩ පැවැත්ම ධාර්මික ලෙස ගලා ගියා.

මවුපිය, දූ දරුවන්ගෙන් සැදුම් ලද පවුල සමාජයේ කුඩාම ඒකකයය වුණා.එහි සාමාජිකයන් පුරුදු පුහුණු කරන ගුණ ධර්ම, හැසිරීම්, ක්‍රියාකාරකම් සියල්ල යහපත් සමාජයකට මූලාරම්භය දෙයි.

පොසොන් පුර පසළොස්වක පොහෝ දිනෙක මිහින්තලාවේ මිස්සක පව්වෙන් ලාංකික ජන සමාජයට ධර්ම ප්‍රචාරය ඇරැඹු මිහිඳු මහ රහතන් වහන්සේ විශේෂයෙන් දහම මුල් කරගත් උසස් සංස්කෘතියකින් ශෝභමාන නොවූ ලාංකික ජන සමාජයට බෞද්ධ සංස්කෘතිය මේ යැයි වටහා දෙන්නට සමත් වුණා.

අම්මා තාත්තාගේ සෙවණේ පෝෂණය වන බිලිඳු දරුවාගේ සිට වයෝවෘද්ධ වැඩිහිටි සමාජය දක්වාම අන්‍යොන්‍ය විශ්වාසයෙන්, සංහිඳියාවෙන්, එකමුතුකමින්, පරාර්ථකාමීව ජීවත්වන සැටි කියා දුන්නා.

ඔවුනොවුන් වෙනුවෙන් ඉටුවිය යුතු යුතුකම් වගකීම් හඳුන්වා දෙමින් සමාජ සුරක්ෂිතතාව ඇති කරගන්නා සැටි සේම සතුටින් ජීවත්වීමට, සාර්ථක දිවි පෙවෙතක් ගත කිරීමට අපූර්ව දහම් මාවතක් පෙන්වා දුන්නා.

විශේෂයෙන් බුද්ධ දේශනාව අනුව පවුලක අම්මා තාත්තා, දූ දරුවන් ඔවුනොවුන් කෙරෙහි පැවැතිය යුතු ආකාරය හඳුන්වා දෙමින් ගුණ ගරුක සමාජයකට, ශක්තිමත් පරපුරක් දායාද කරන්නට මඟ පෙන්වුවා.

බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේදී මේ ලෝකයේ පුද සත්කාරයන්ට, ගෞරවය ලැබිය යුතු සිවු පිරිසක් පිළිබඳව දේශනා කොට වදාළා

අම්මා, තාත්තා පළමුවත්, දෙවනුවත් පූජනීයත්වයට පත්විය යුතු බව පෙන්වා දුන්හ. බුදු රජාණන් වහන්සේ තමන් වහන්සේ ස්ථානගත කරන්නේ තෙවැනි තැනටය. සිවුවන පිරිස මහා සංඝරත්නයයි. ඒ අනුව බුදු හිමියන් විසින් මවුපියන් මොනතරම් උසස් ලෙස අගය කර තිබේ ද යන්න පැහැදිලි වෙනවා.

සාර්ථක ගිහි ජීවිතයක පදනම පවුලයයි.. එය බිඳී විසිරී යා නොදී ආරක්ෂා කරගත හැකි වන්නේත්, සතුට සැනසුම උදාකර දිය හැකි වන්නේත් මූලික වශයෙන් අම්මා තාත්තා දෙදෙනාටය. එහිදී සිය දරුවන් හොඳින් හදා-වඩා ගැනීම ප්‍රධාන වේ. ඒ සඳහා මවුපිය දෙදෙනා දරුවන් වෙනුවෙන් සිය යුතුකම් නිවැරැදිව ඉටුකළ යුතුය.

සිඟාලෝවාද සූත්‍රයේ එන ලෙස එම යුතුකම් අතර දරුවා පාපයෙන් මුදවා ගැනීම, යහපතෙහි යෙදවීම මවුපියන් විසින් කළ යුතුය. සතුන් මැරීමෙන්, සොරකමෙන්,
බොරු කීමෙන් පවු සිදු වන බව කුඩා කල සිටම දරුවාගේ මනසට තේරුම් කර නොදුන්නේ නම් හේ පවට ලජ්ජා වන්නේ හෝ බිය වන්නේ හෝ නැත. අද ඇතැම් පාසල් දරුවන් පවා මතට ගොදුරු වී සිටින ආකාරය අපි දකිමු. කවා පොවා, පොත පත ගෙන දී, අමතර පන්ති යවා දරුවාට අධ්‍යාපනය පමණක් දුන් පමණින් සෑහීමට පත්වනවා නම් මවුපියන්ට ද, දරුවන්ට ද වරදින්නේ එතැනය.

නැණ බලයෙන් සේම ගුණයෙන් ද ළමා මනස පෝෂණය කළ යුතුය. ඇසුරු කරන්නේ කවුද, යන්නේ, එන්නේ කොතැනට ද සොයා බැලිය යුතුය. තමන් දරුවන් ගැන නිති සෙවිල්ලෙන් පසුවන බව ඔවුන්ට අසීමිත නිදහසක් ලබා දී නැති බව ඒත්තු ගැන්විය යුතුය.

විශේෂයෙන් දරුවන් ඇසුරු කරන්නේ කල්‍යාණ මිතුරන් බවට මවුපිය දෙදෙනාට විශ්වාසයක් තිබිය යුතුමය.

දරුවා පාපයෙන් මුදවා ගන්නවා සේම වැඩිහිටියන්ට, ගුරුවරුන්ට සලකන්නට, ආගමානුකූලව ජීවත්වන්නට, අසරණයන්ට පිහිට වන්නට, පරිසරය ආරක්ෂා කරගන්නට ආදී යහපත් හැසිරීම් ද ප්‍රගුණ කළ යුතුය. හොඳ අධ්‍යාපනයක් ලබා දීමෙන් දරුවාගේ අනාගතය සුරක්ෂිත වනවා සේම ජීවිතයේ මුහුණ දෙන්නට වන අභියෝග හමුවේ ජීවත්වීමේ කලාව ද ඉගෙන ගනී. බාලයන් ලෙස නොහැසිරෙන්නට ඉගෙන ගනී. ජීවිතයට හික්මීමක් ඇති කරගනියි.

සුදුසු කල ආවාහ විවාහ කර දීමෙන් අනාගත ජීවිතය නිසි පරිදි කළමනාකරණය කරගැනීමට පුළුවන. යම් වැරැදිවලට යොමු වන්නේ ද නැත. දායාද පවරා දිය යුතු වන්නේ දරුවන්ගේ ආර්ථිකය වඩාත් සුරක්ෂිත කරගැනීමට සහාය වීමක් ලෙසිනි. අලුත් ජීවිතයක් ආරම්භ කරන අවස්ථාවේ එය විසල් ශක්තියකි.

බුදු වදනට අනුව මිහිඳු මාහිමියන් ලාංකික සමාජයේ පවුල සුරක්ෂිත කිරීම පිළිබඳව මහත් උනන්දුවක් දැක්වූහ. ඒ අනුව හැඩගැසුණු ලාංකික සමාජයේ අම්මා තාත්තා දරුවන් පවින් වළකා ගත්හ. පවේ ආදීනව පෙන්වා දුන්හ. වැරැදි කළොත් අපායේ යන බවට දරුවන්ගේ සිතෙහි තහවුරු කළහ. පුරාණ පන්සල් චිත්‍ර බොහොමයක ඇති යම රජු ප්‍රමුඛ අපායේ දර්ශන ඊට නිදසුන්ය. පව් කළොත් තිරිසන් ලෝකයන්හි අසුර, ප්‍රේතාදී ලෝකයන්හි දුක් විඳින්නට වන බව පෙන්වා දුන්හ.

ප්‍රායෝගික ජීවිතයේ දුක් විඳින තිරිසන් සතුන් මෙන්ම විවිධ පීඩාවන්ට ගොදුරු වූ මනුෂ්‍යයින් ද උදාහරණයට ගනිමින් ආදීනව කොට දක්වමින් පවට බිය ඇති කළහ. දරුවෝ ද ඒ අසා පවට බිය වූහ. ලජ්ජා වූහ. එදා අපේ සමාජයේ වැරැදි අඩු වූයේ ඒ නිසා ය. එහෙත් වර්තමානයේ මෙහි යම් අඩුවක් පෙනෙන්නට තිබේ. දරුවන් යහපතෙහි පිහිටුවීම සම්බුදු දහමට අනුව ප්‍රමුඛ වුවද අද මවුපියන් මුල් තැන දෙන්නේ ශිල්ප ශාස්ත්‍රවලටය. අවසන එයින් නිමැවෙන්නේ රොබෝ වැනි දරුවෙකි. එවැනි කෙනෙකුගෙන් සමාජයට යහපතක් සංවේදී බවක් බලාපොරොත්තු විය නොහැකිය.

මිහිඳු හිමි දෙසු දහමින් පෝෂිත වූ එදා සමාජයේ මවුපියන් දරුවන්ට දායාද කළේ ධාර්මිකව උපයා සපයා ගත් ධනයයි. ඒ නිසා සමාජයේ අඛණ්ඩ පැවැත්ම ධාර්මික ලෙස ගලා ගියේය.

ඒ වගේම ආච්චි අම්මා සීයා, අම්මා තාත්තා, නැන්දා මාමා ආදි සාමාජිකයන් රැසක් සිටි විස්තෘත පවුලේ දරුවන්ට පවට ඉඩක් තිබුණේ ද නැත. අද න්‍යෂ්ටික පවුලේ ඒ ආරක්ෂාව අඩුය. දරුවන්ට අයහපතට පෙලඹීමට ඇති නිදහස වැඩිය. මේ ගැන වත්මන් වැඩිහිටියන් නිසි අවධානය යොමු කළ යුතුය. එසේ නොමැති වීමෙන් සිදු වන්නේ වයෝවෘද්ධ වූ දිනෙක මවුපියන්ට ද දරුවන්ගේ රැකවරණය අහිමි වීමය. යහපත අයහපත, කළ යුතු නොකළ යුතු දේ ගැන නිසි කළ දරුවන්ට නිසි අවබෝධයක් නොලැබීම ඊට හේතුවයි.

විශේෂයෙන් නුදුරු අතීතයට ගිය ද යම් ආකාරයකින් විදේශ ආක්‍රමණ නිසා බිඳ වැටීම් තිබුණ ද අපේ සමාජයේ මවුපියන්ට සැලකීම උසස් කොට සැලකුණි. එහෙත් ධර්මානුකූල විවරණ බැහැර ලා, භෞතිකවාදී මාවතක ගමන් කරන වත්මන්හි සමහර දරුවන් මවුපියන් අසරණ කරන ආකාරය ශෝචනීයය. ඊට පිළියම ඇත්තේ අවසානයේ නොව ආරම්භයේදීමය. එනම් නිසි කල දරුවන්ට මනාව යුතුකම් ඉටු කිරීම තුළය. යහපතෙහි යෙදවීම තුළය.

මෙහිදී මවුපියන් ආදර්ශ සම්පන්න වීම ද වැදගත්ය. මවුපියන්ට තුනුරුවන් ගැන අචල ශ්‍රද්ධාවක් තිබේනම් එය අසන දකින දරුවා ද ඒ මඟ ගමන් කරයි. තුනුරුවන් ගැන, විශ්වාසය ඇති කරගනියි. ඒ අනුව ජීවිතය හැඩ ගස්වා ගනියි.

අපේ රටේ ආදර්ශ සම්පන්න මවුපිය දෙපළකි විහාරමහා දේවිය සහ කාවන්තිස්ස රජතුමා. ඔවුහු දරුවන් පෝෂණය කළෝ ආගමට දහමට ළැදිවය. සතුරු රජෙකු වූ එළාර බුද්ධ ශාසනය විනාශ කරමින්, රට තුළ වියවුල් තත්ත්වයක් ඇති කළ ද, කූට උපක්‍රම භාවිත කරමින් ලාංකිකයන් රවටමින් ගෙන ගිය වැඩපිළිවෙළ පරාජය කළ යුතු බව දැන සිටිය ද එම මවුපියන් දෙපළ දරුවන් තුළ වෛරය පෝෂණය කළේ නැත. සුදුසු කල එළඹෙන තුරු උපායශීලීව, දූරදර්ශීව, මානව හිතවාදීව කටයුතු කිරීමට පුරුදු කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස සතුරා වුවද එළාර රජු පරාජය කළ මොහොතේ, එනම් ගැමුණු කුමරු අතින් එළාර රජු මියගිය මොහොතේ මියගිය රජුට විශේෂ ගෞරවයක් ලබා දෙන්නට පසුබට වූයේ නැත. ගැමුණු කුමරුගේ ඒ ක්‍රියාකලාපය ඉතා ප්‍රශංසනීයය. එවැනි විරෝදාර සහ උදාර ගති ඇති පුතුන් දෙපළක් බිහි වූයේ මවුපියන්ගෙන් ලද ධාර්මික පෝෂණය මතය.

ධනයෙන්, බලයෙන්, තනතුරෙන් අහංකාර වන, ජනප්‍රිය කමින් මත්වන ඒ අනුව දරුවන් ද ඒ මඟ ගෙනයන සමහර මවුපියන්ට ඒ චරිත මාහැඟි ආදර්ශයන්ය. ඇතැම් මවුපියෝ කටේ කිරි සුවඳ යන්නටත් පෙර සිය දියණිවරුන්, පුතණුවරුන් ඇතැම් නොගැළපෙන මාධ්‍ය වැඩසටහන්වලට සහභාගි කරවති. දරුවන්ගේ මනසට අනවශ්‍ය බරක්, මාන්නයක් ඇති කරති. අසංවර ඇඳුම පැලඳුමට හුරු කරවති. එහෙත් ඒ සියල්ලට ඇති උනන්දුව ගුණධර්ම උගන්වන්නට නැත. අවසානයේ එහි ප්‍රතිඵල ලැබෙන කල ඒ මවුපියන් ප්‍රමාද වැඩියි.

යථාර්ථයට මුහුණ දෙන්නට අපේ අම්මලා තාත්තලා තාමත් ප්‍රමාද නැත. ජීවිතය හැඩ ගස්වා ගන්නට, ජය ගන්නට, සතුටින් ජිවත්වන්නට, පරලොව ජීවිතය ද සුගතිගාමී කරගන්නට උතුම් ධර්ම මාවතක් අපට උගන්වා තිබේ.

ඒ ධර්ම මාවතට අවතීර්ණ වෙමින්, කුහක සිතිවිලි බැහැර කර, වෛරය, ක්‍රෝධය බැහැර කර මෛත්‍රී සිතින්, දයාවෙන්, කරුණාවෙන් ඉවසීමෙන්, අන්‍ය මතවලට ගරු කිරීමෙන්, අන් සැපේදී සතුටු වීමෙන්, පරාර්ථකාමී බවින් ජීවත් වන්නට උත්සාහ කළ යුතුය. දරුවන්ට ද ඒ මඟ පෙන්වා දිය යුතුය. මිහිඳු හිමියන් ස්ථාපිත කළ සංස්කෘතිය එයයි. ඒ උසස් සංස්කෘතියෙන් නැවත සමාජය සුපෝෂිත කරන්නට මේ පොසොන් සමයේ අධිෂ්ඨාන කරගනිමු.

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X