Temples of Sri Lanka

ආගමික පසුබිම යහපත් නම්,සමාජයත් සුන්දරයි

ධාර්මික වගේම යහපත් සමාජයක් ගොඩනැගිය හැක්කේ, රට තුළ ආගමික පසුබිම ශක්තිමත් කිරීම තුළිනි.

බෞද්ධයින් විදියට බෞද්ධ දර්ශනය තුළ බෞද්ධාගමික කටයුතු පිළිබඳව අපි සෑම කෙනෙකුටම තිබෙන අවබෝධය, දැනුම පිළිබඳව අපි කතා කිරීම අවශ්‍ය වන්නේ නැහැ.
බෞද්ධ රටක් විදියට අපේ රටේ ඉතිහාසය පුරා සෑම රාජ්‍ය පාලන සමයකම ගෞරවනීය මහා සංඝරත්නය ඒ සෑම පාලනයකටම උපදෙස්, අනුශාසනා දෙමින් අපේ රට ගොඩනගන්න බෞද්ධාගමික සමාජයක් වශයෙන් ශක්තිමත් කරන්න මුළු ඉතිහාසය පුරා කැපවීම් කර තිබෙනවා. ඒ නිසා අපිට යහපත් බවින්, විනයකින්, හික්මීමකින් යුතු සමාජයක් පිළිබඳව කතා කිරීමට හැකිවී තිබෙනවා.
ලෝකයේ ඇතැම් රටවල්වල සංවර්ධනය, තාක්ෂණික දියුණුව සංවර්ධනය කොතෙක් තිබුණත් ඇතැම් වෙලාවට ඒවා තුළ යහපත්කම සහ මනුෂ්‍යකම නොමැතිවීම බොහෝ වේලාවට අපි දකින දෙයක්. බෞද්ධාගමික සමාජයක් තුළ සැමවිටම යහපත් සමාජයක්, යහපත් මිනිසුන් ගොඩනගන්නට කරන මගපෙන්වීම පිළිබඳව අපි සෑම කෙනෙකුටම අවබෝධයක් තිබෙනවා.

බෞද්ධ දර්ශනය පිළිබඳව සාකච්ඡා කිරීම මෙන්ම සමාජය තුළ රටවල් තුළ තිබෙන්නාවූ විවිධ සමාජ, ආර්ථික, දේශපාලන ප‍්‍රශ්නවලදී බෞද්ධ දර්ශනය තුළ අවශ්‍ය මගපෙන්වීම සැමවිටම තිබෙන බව අපි කවුරුත් දන්නවා. සෑම රටකම රට තුළ යහපත් සමාජයක් ගොඩනැගීමටත් ජාත්‍යන්තර වශයෙන් මානව සමාජය එක්වීම, සහෝදරත්වය ගොඩනගන්නත් මේ ලෝක බෞද්ධ තරුණ සමුළු ඉතාමත් වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා.

අපේ රටේ වැඩවෙසෙන ගෞරවනීය ස්වාමීන් වහන්සේලා දෙන නායකත්වය, මගපෙන්වීම, අනුග‍්‍රහය අපි ඉතාමත් අගය කළ යුතු වෙනවා. හොඳ රටක් හොඳ සමාජයක් ගොඩනැගෙන්න සැමවිටම ආගමික පසුබිමක් තියෙන්නට ඕන. ආගමකින් උගන්වන යහපත් බව මනුෂ්‍යකම නැති වුණොත් මිනිසුන්ගේ තිබෙන මිනිස්කම් ගුණගරුකකම් ඉවත්වී මිනිසුන් සතුන් වගේ හැසිරෙන්න ගන්නවා. ඒ නිසායි සමාජයකට ධර්මයක්, ආගමක් ඉතාමත් අවශ්‍ය වන්නේ. ලෝකය ප‍්‍රමුඛව උතුම් ආගමික දර්ශනයක් වූ බෞද්ධ දර්ශනය මුළු ඉතිහාසය පුරා කටයුතු කර තිබෙන ආකාරය අනුවයි ලෝකයේ යහපත්බව සැමවිටම ආරක්ෂාවී තිබෙන්නේ.
අපිට යහපත් රටක්, යහපත් සමාජයක් ගොඩනගන්න ඉතිහාසය පුරා ගමේ පන්සල ගමේ හාමුදුරුවෝ මූලිකත්වය ගත්බව අප දන්නාකරුණක්..පන්සල ශක්තිමත්වූ විට, ගමේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ගමේ ස්වාමීන් වහන්සේලා ශක්තිමත්වූ විට සැමවිටම ගම තුළ යහපත් බවක් ඇති වෙනවා. ගමේ පන්සලයි ගම හදන්න වගේම රට හදන්න ඉතිහාසය පුරා නායකත්වය ගෙන තිබෙන්නේ.

බෞද්ධ දර්ශනය පිළිබඳව ආධ්‍යාත්මික වශයෙන් ඇති වන දැනුම සහ අවබෝධය සමග ඇතිවන උනන්දුව සෑම කෙනෙකුගේ ජීවිතය සකස් වෙන්න, චරිතය හැඩගස්වන්න, යහපත් පුරවැසියන් ලෙස ජීවත්වීමට යහපත් පවුල් සංස්ථාවක් ගොඩනගන්න යහපත් පාසල් දරුවන් ලෙස සිටින්නට සැමවිටම විශාල මගපෙන්වීමක් කරනවා.
බෞද්ධ දර්ශනය තුළ තිබෙන ගැඹුරුභාවය. එහි තිබෙන සංකීර්ණභාවය. බෞද්ධ දර්ශනයේ විවිධ ක්ෂේත‍්‍ර හරහා කතා කරන විට අපට පැහැදිලි වෙනවා. බෞද්ධ දර්ශනය පිළිබඳව අපි විවිධ ක්ෂේත‍්‍ර හරහා කතා කරනවා. ධම්මපදය, ත‍්‍රිපිටකය, චතුරාර්ය සත්‍යය, ඒ සියල්ලේ තිබෙන ගැඹුරු බව හා එහි අර්ථය එක්ක අපිට අපේ ජීවිත හැඩගස්වා ගැනීමට මඟ පෙන්වනවා. ගුත්තිල කාව්‍යයේ කවියක් මේ මොහොතේ මතක් වෙනවා. එහි සඳහන් වන ”සියපින් සිරින් සරු – දෙතිස් ලකුණෙන් විසිතුරු” මේ පුංචි කවිය තුළින් කියැවෙන අර්ථය වෙත අපි හිත යොමුකරනවා. එමගින් අපේ හිත කොයිතරම් සන්සුන් වෙනවාද? අපි උතුම් බුද්ධ ප‍්‍රතිමා වහන්සේ නමක් ඉදිරියට ගිහින් හෝ බෝධීන් වහන්සේ නමක් ඉදිරියට ගොස් ඒ කවිය කිව්වොත් අපේ හිත කොයිතරම් සන්සුන් වෙනවාද?

මිනිසෙක් ඉපදුන දින පටන්ම තිබෙන්නේ සසළ බව, වෙනස්වීම. මිනිසෙක් මැරුණාම නිසල දේහය කියලා කියනවා. දේහය නිසල වෙන්නේ මැරුණට පසුවයි. නමුත් ඉපදුන දින පටන්ම ගතත් සසළයි, හිතත් සසළයි. අපිට යහපත් සමාජයක් හදන්න. සන්සුන් ජීවිතයක් ගොඩනගන්න. සමාජය තුළ ඇතිවෙන විවිධ ප‍්‍රශ්නවලට මුහුණදීමට කරන මඟ පෙන්වීම බෞද්ධ දර්ශනයේ තරම් වෙනත් කිසිදු දර්ශනයක පෙන්වන්නේ නැහැ.

ලෝකයේ තිබෙන අනෙක් ආගම්වලත්, යහපත් සමාජයක් ගොඩනගන්න මගපෙන්වීම කරනවා. හැම ආගමකට අරමුණ සමාජය යහපත් කරන්නයි. හෙට අපේ රට බාරගන්න සිටින දරුවන් අද සමාජයේ තිබෙන විවිධ අභියෝගත් සමග මත්ද්‍රව්‍ය මෙන්ම සමාජයට අහිතකර නොයෙකුත් ඇබ්බැහිවීම්වලින් වළක්වාගැනීම අද ප‍්‍රබල අභියෝගයක් බවට පත්වෙලා තිබෙනවා.!

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X