Temples of Sri Lanka

මේ මනුෂ්‍යත්වය ගිලිහී යා නොදෙමු

මනුෂ්‍යකම යන්න වහල්භාවය ඉදිරියේ ‘අහෝසි කාරණයක්. පිරිමියා ශ්‍රමය සඳහා වහල්කම් කරන්නේය. ගැහැනිය ලිංගික කාර්යය සඳහා වහල්කමට ගැනුණි. එවන් අතීතයක් නිමා කිරීම වූ කලී සමස්ත මානවයාගේම ‘යටපත්ව තිබූ, පින මතුවීමකි’. පාපය බරපතළ ලෙස, කර ඔසවා බැලූ කාලයක් මානව වංශ කතාවේ වී නම්, යුද සමය සහ වහල් යුගය වේ.

වහලා යන පදය දැන් අපේ ජීවිත කතාවෙන් ගැලවී ඇත්තේය. තිබුණු දෙයක් ගලවනවා කියන්නේ සෙල්ලමක් නොවේ. වහල් සමයම ද ඒ වගේය. ස්පාටකස් වැනි සටන්කරුවෝ වහල් භූමියේ සිට මෙහෙයවූ සටන් සහ කොන්ද පණ ඇති නායකයෝ, විරෝධතා මත්තේ, මිනිස්කමෙන් ළතෙත්ව වහල්භාවයේ යදම් මානව ශිෂ්ටාචාරයෙන් ඈතට විසි කර දැමූහ.

අප දෙපා නඟා යන මේ මඟ තැනී ඇත්තේ, එවන් මිනිස්සු සිදු කළ කැපවීම් ඔස්සේය. යළි එවන් යුගයන් වෙනත් නාමකරණ ඔස්සේ පැමිණිය හැකි බැවින්, නූතන මිනිසා අත ද වගකීමක් තිබේ.

වහල් වෙ‍ෙළඳාමේ නූතන ස්වරූපය වන්නේ මිනිස් ජාවාරමය. මූලික නිදහස සීමා වන පරිදි මිනිසුන් ශ්‍රමයේ පිහිටුවීම මිනිස් ජාවාරම වේ. රට යෑමට ඇති ආශාව කරණ කොටගෙන, මේ සඳහා බොහෝදෙනෙක් අසුවන්නාහ. බෝට්ටුවේ නැඟී යුරෝපයට සහ ඔස්ට්‍රේලියාවට යනවා කියන්නේ කැමත්ත පමණක් නොවේ. ඒ සඳහා, මුදල් ද ලබා දෙන්නේ ද යන කෙනාය. එසේ වුවත් ඔහේ ගොස් වෙරළ තීරයක මිනිසෙක් දමා එනවා කියන්නේ, එදා කොන්ස්තන්තිනෝපල් නගරයේදී ලංසු තබා, කාපිරියෙකු මිලට ගැනීමේ ‘වත්මන් රූපයම’ වන්නේය. මෙවන් මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ විභාග වන නඩු ප්‍රමාණය සියයකට අධිකය. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ මිනිස් වෙ‍ෙළඳාම අත්කර ගෙන ඇති වපසරිය වේ.

ඒජන්සිකාරයා පෙන්වන රැකියා සිහිනයේ දැවටී, ගෘහ සේවයට යවන කාන්තාවෝ, අරාබියේ ගෙදරක කොටු වන්නාහ. නිවාඩුවක් නැත. නින්දක් නැත. බැරි තැනකට ආවොත් බෙහෙත් හේත් ලබන්නාහ. ගෙදරට දුරකතන ඇමතුමක් දීමට නොහැකිය. ඒ නූතන වහල් මෙහෙය හෙවත් මිනිස් ජාවාරමය.

වහල් බවේ බැමි සිඳ නිදහස් මිනිසුන් ලෙස දිවි ගෙවන සමාජ වරම අප උපතින් ලද දායාදයකි. ඒ දායාදය ලාභයට හෑල්ලු කර ‘නවයුගයක වහලුන් නොවන බව සිතිය යුතුය

ඉතිහාසය නිර්මාණය කළේ සාමූහික මිනිසා මිස, තනි මිනිසකු හෝ දෙවියෙක් නොවේ. මනුෂ්‍යත්වය මිනිසාට ස්වභාව ධර්මයෙන් ලැබුණු මහඟු සම්පතකි. එය සාමූහික ජීවිතය උදෙසා පවත්වා ගැනීම මිනිසා විසින් සිය ශ්‍රමයෙන්ම කළ යුතුය. එහෙත් ඓතිහාසික ඛේදවාචකය වන්නේ, මිනිසා විසින්ම තැනුණු මානසික හා භෞතික සිරගෙවල් තුළ එය සිරකර තබා ගැනීම ය. එනම් ජාතිය, ආගම, කුලය, භාෂාව, දේශපාලනය දෘෂ්ටිවාදය හෝ ආර්ථික ක්‍රමය ආදි වශයෙනි. මිනිසාගේ තණ්හාව, ආශාව ආදිය එයින් වෙන්කළ නොහැකිය.

කලාතුරකින් රටක උපදින ‘වෙසෙස් මිනිසුන් අතරින් දැකිය වෙනස් මිනිසුන් මේ ලෝකය සුන්දර කරන්නේය. අප්‍රමාණ රෝගීන් වාසය කරන රටක නිරෝගීව ජීවත්වන මිනිසුන් කෙතෙක් ඇත්ද.. පණ පිටින් මියැදී සිටින මිනිසුන් අතර පණ පිටින් නොමැරී සිටින මිනිසුන් බොහොමයකි.

සුදු නම් පවිත්‍රයේ වර්ණය ලෙසය අප ඉගෙන ගෙන තිබෙන්නේ. සුදු ශෝකයේ වර්ණය ද වේ. අද සුදු වර්ණය අප දකින්නේ ‘චෞර රාජ්‍යයක’ වර්ණය ලෙසිනි. සුදු ඇඳගෙන හොඳටම හොරකම් කළ හැකි ය. මනුෂ්‍ය ඝාතන සිදු කළ හැකිය. විවිධ අපරාධ කළ හැකිය. මත්ද්‍රව්‍ය ජාවාරම් කළ හැකිය. ස්ත්‍රී දූෂණ – ළමා අපචාර කළ හැකිය. අරුමයකි, මහජන වරම් ලබන්නට ද හැකිය. මහනායක හිමිවරුන්ගෙන් බුහුමන් ලබන්නට – පිරිත් නූල් බැඳගන්නටත් හැකි ය.
සුදු වත කැත වී අපවිත්‍ර වී තිබෙන රටක හැමදාම – හැම විටකම අකම්පිතව සුදු වතින් සැරසී සිටින්නට හැකි මිනිසුන්ද වෙසෙති.

මනුෂ්‍යයාගේ මොළය, ඇස, කන, හෘදය, අස්ථි, නහර ආදි සියල්ල ස්වභාව ධර්මයේ විස්මය ජනක විද්‍යානුකූල නිර්මාණ වේ. එයින් එකක් අනිකට වඩා උසස් හෝ පහත් ලෙස නොසැලකිය යුතුය. පහත්ය යි සැලකෙන මලපහ කිරීම අනිවාර්යයෙන් නිසිලෙස සිදු නොවුණොත්, උසස් යයි සැලකෙන සිතීම නිසි පරිදි නොසිදුවිය හැකිය. සිදුවිය යුත්තේ සියල්ල ඉටු කරන ශරීරය පිළිකුල් කිරීම නොව සියලු කාර්ය නිසි ලෙස කරන ශරීරයට කෘතඥවීම සඳහා නිර්බාධිතව නිසි පරිදි පවත්වා ගැනීමය.

මනුෂ්‍යයෙක් මනුෂ්‍ය සමාජය වෙනුවෙන් යහපත් දේ කිරීමට නම් තම කය මනස දෙකම පිරිසිදුව තබා ගත යුතුය යන අදහස සන්තුෂ්ටියට හේතුවක් නොවේ ද? මනුෂ්‍යයන් ලෙස අපගේ දිවි පැවැත්ම තුල ඇත්තේ ශෝචනීය තත්වයක් නොවේ ද?

‘මිනිසෙක් සිහිනයක් දිටි. ඔහු නින්දෙන් පිබිදුණු වහාම පේන කියන්නෙකු වෙත ගොස් තමා දුටු සිහිනයේ තේරුම පහදා දෙන මෙන් ඉල්ලීය.


පේනයා ඔහුට මෙසේ පැවැසීය.

ඔබ අවදියෙන් සිටිනා විට දකින සිහින මට කියන්න. එවිට මම ඒවා පහදා දෙන්නෙමි. හැබැයි ඔබට නින්දේදී පෙනෙන සිහින මගේ බුද්ධියෙහි වත් ඔබේ සංකල්පනා වෙහි වත් ඇති ඒවා නොවේ.’

ඉතා සියුම් උත්ප්‍රාසනීය රචනයක් ලෙස මිනිස් මනසේ මේ කුඩා නිමැවුව විකසිත නොවේද?

තමන්ට දැනෙන්න ජීවත් වීම ඉතා වටිනවා. මේ ඉර හඳ පායන ලොව තුළ විවිධාකර මිනිස්සු ඉපිද මියයති. අප රට තුළ ද එසේම ය. අප රටේ ඉපදී මිය යන බහුතරය මියැදෙන්නේ තමන් ගැන තෘප්තියෙන් ද? තමන්ට හෝ රටට හෝ පලක් නැති ජීවිත ගත කොට මිය යන්නන් නිසා නොවේ ද රටක් විනාශය කරා ගමන් කරන්නේ?

තවත් පැත්තකින් ඉපදී යෙහෙන් වැජඹෙන පුද්ගලයන් රට තුළ ඉපිද රටෙන්ම පෝෂණය වුණ මහා උගත්තු වෙති. ඔවුහු දැනුමෙන් සන්නද්ධ බවත් පැවසෙති. එහෙත් බලය රකිනු පිණිස වැල යන අතට මැස්ස ගසන්නෝ වෙති.

මිනිහෙක් ජීවත් විය යුත්තේ බුද්ධිමත්ව නම්, ඊට අදාළ වන්නේ අධ්‍යාපනය නම්, අද අපේ රටේ බුද්ධිමත්තු කියා පිරිසක් නොමැති ද? උගත්තු නම් සිටිති.

තමන්ගේ ජීවිතය තමන්ට දැනෙන අන්දමට දීර්ඝ කාලයක් තිස්සේ ගත කළ මිනිසෙකුට මා රටට ණය නැති මිනිසෙකි යනුවෙන් උදානයක් හඬගා පවසා දිවි සැරිය නිම කළ හැකිය. තමන්ගේ ජීවිතය මනුෂ්‍යත්වය වෙනුවෙන් කැප කළ මිනිසෙකුව ‘තමන්ටත් දැනෙන‘ අන්දමට ජීවත් වුණ මනුෂ්‍යයෙකු නම් ඔහු මිය යන්නේ කායිකව පමණකි. එහි බොරුවක් නැත.

ඒ ම්නිසුන් ජන සමාජයට කළ දේට වඩා අප්‍රකටව රටේ දිළිඳු ජනයා වෙනුවෙන් කළ දේ අගනේය. ඔවුන්ට එය කළ හැකිවන්නේ ජනහදවත් ගැහෙන රිද්මයට සංවේදී බැවිනි.

පොතේ දැනුම
පොතින් කියවා
ගන බොල් කසළ කඳු ගණන්
හිස තුළ පුරවන තැනැත්තේ
සැබෑ බුද්ධිමතෙක් නොවේ.
ජීවිතේ අබිරහස
නමැති පොත ඔහුට නොවැටහෙන හෙයිනි
තෘණ විද්‍යාව පොතින් උගත්තහුට
තණ පත් පිබිදෙන හඬ සවනට නෑසේ
දන්නා තාක් සිප් සත දෙසා බෑව ද
ඔහු කියන දෙයින් ගැඹුරු සම්බුද්ධියක්
ඔබට නොලැබෙනු ඇත
ජීවිතය වටහා ගැන්මට
ජීවිතය දෙස ම බලනු මිස
රෑ පහන් වන තුරා
පොත් පිටු අතර මැරි මැරී ඉපදීම
කවර පලයක් එලවා ද?

තම හදවත ගැහෙන හඬ
වැරදියට වටහා ගෙන එය ගලවා
වීසි කරන අය බුද්ධිමත්තු ද?
ඔබේ සියලුම වදන් අතර
ඉතාම ගැඹුරු ඉතාම මිහිරි රස වන්නේ
මිනිසා ගැන
මිනිසාට දැනුම දෙන වදන් ය,

ස්වකීය ජීවිත කාලයම මිනිසා වෙනුවෙන් මිනිසාට දැනුම ලබා දෙන්නට කැපවුණ මිනිස්සු පහළ වන්නේ ඉතා කලාතුරකින්. ඇසුරු කරන්නට ලැබෙන්නෙ කලාතුරකින් .

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X