Temples of Sri Lanka

ශුද්ධෝත්තම දලයි ලාමා වහන්සේගේ 89 වැනි උපන්දිනය ශ්‍රී ලංකාව තුළ අර්ථවත් ලෙස සමරන්නට යෙදුනු බවයි

හෙයියන්තුඩුවේ පිහිටි ලොව ප්‍රථම පාලි සහ සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානයේ (Semkay Ling) බුද්ධ මන්දිරය නිරාවරණය කිරීම අති උත්කර්ෂවත් හා චාරිත්‍රානුකූල අයුරින් 2024 ජූලි 6 වන දින එනම් ශුද්ධෝත්තම දලයි ලාමා වහන්සේගේ 89 වැනි ජන්ම දිනයේ දී පවත්වන්නට යෙදුණි. මෙම සුවිශේෂී කටයුත්තට දෙස් විදෙස් ජ්‍යෙෂ්ඨ මහා සංඝරත්නය සහ සම්භාවනීය ආරාධිත අමුත්තන් රැසක් සහභාගී විය.


ශුද්ධෝත්තම දලයි ලාමා වහන්සේගේ උපන්දිනය යෙදෙන ජූලි 06 වැනිදා දිනය සාමය සඳහා වූ ආසියානු බෞද්ධ සම්මේලනය විසින් ඒකමතිකව විශ්ව කරුණාවේ දිනය ලෙස ඉකුත් දා නව දිල්ලියේ දී පවත්වන්නට යෙදුනු මහා සභා රැස්වීමේදී නම් කර තිබුණි. මෙම සුවිශේෂී අවස්ථාව සිහිපත් කිරීම සඳහා අභිනවයෙන් ඉදිකරන ලද බුදු මැදුර මහා සංඝරත්නයේ සෙත් පිරිත් මධ්‍යයේ සුබ මොහොතින් නිරාවරණය විය.


අභිනව බුද්ධ මන්දිරය විවෘත කිරීමේ උත්සවය පාලි සහ සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානයේ නිර්මාතෘ, ශ්‍රී ලංකා බෞද්ධ සහෝදරත්ව පදනමේ සභාපති මෙන්ම අන්තර්ජාතික බෞද්ධ මහා සම්මේලනයේ නියෝජ්‍ය මහලේකම්, ආචාර්ය දමෙන්ද පෝරගේ මහතාගේ මූලිකත්වයෙන් අන්තර්ජාතික බෞද්ධ මහා සම්මේලනයේ සභාපති අතිපූජ්‍ය ආචාර්ය වස්කඩුවේ මහින්දවංශ මහානායක හිමි, අතිපූජ්‍ය මහාචාර්ය පල්ලේකන්දේ රතනසාර මහානායක හිමි, අතිපූජ්‍ය මහාචාර්ය කන්දේගොඩ විමලධම්ම මහානායක හිමි, අතිපූජ්‍ය ආචාර්ය වලේබොඩ ගුණසිරි අනුනායක හිමි, අතිපූජ්‍ය ආචාර්ය මාදම්පාගම අස්සජී අනුනායක හිමි, අතිපූජ්‍ය ඇලිකේවල සීලානන්ද නාහිමිපාණන් වහන්සේගේ, අතිපූජ්‍ය වනවාසී රාහුල නායක හිමි, පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය  යෝධකණ්ඩියේ අරියවංශ හිමි, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය  කුඩාකත්නෝරුවේ විනීත හිමි,  විචිත්‍ර ධර්ම කථික පූජ්‍ය නිග්ගහ ඥාණින්ද හිමි තල්වත්ත ශ්‍රී සුනන්දාරාමාධිපති බියගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති පූජ්‍ය අලුදෙණියේ සුමනරතන හිමි, මාබිම ශ්‍රී නන්දාරාමාධිපති පූජ්‍ය පුලතිසිගම ධම්මරතන හිමි, පූජ්‍ය කිතලගම සුමේධ හිමි, පූජ්‍ය ලොල්ලේගොඩ ඥානරංසි හිමි, පූජ්‍ය වැලන්හින්නේ සුමේධ හිමියන්ගේ සහභාගිත්වයෙන් සිදුවිය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර, හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග, කැළණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘත අධ්‍යයනාංශයේ ප්‍රධානී මහාචාර්ය කේ.බී. ජයවර්ධන, ප්‍රවීණ චිත්‍රශිල්පී රංජිත් ප්‍රේමතිලක මහතා, ප්‍රවීණ සංස්කරණ ශිල්පි ඔගස්ටින් මනතුංග මහතා, සියම්හවුස් අධිපති ලයනල් ප්‍රනාන්දු මහතා සහ ට්‍රයිකෝ සමූහ ව්‍යාපාරයේ අධිපතිනිය ශ්‍යාමලි කන්නන්ගර මහත්මිය ඇතුලු සම්භාවනීය අමුත්තන් රැසක්ද සහභාගි විය.

ශුද්ධෝත්තම 14 වන දලයි ලාමා හිමියන්ට නිදුක් නිරෝගී බව සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම සඳහා පාලි සූත්‍ර සජ්ඣායනය සමඟින් අෂ්ඨ පාන, මල්, සුවඳ දුම් සහ පහන් පූජා කිරීම ද මෙහිදී සිදුකරන්නට යෙදුනි.
පාලි හා සංකෘත සංස්කෘතික මධ්‍යස්ථානය තුලින් බෞද්ධ උරුමය, විශ්ව සංහිඳියාව, සාමය සහ දයානුකම්පාව ප්‍රවර්දනය කරමින් විවිධ සම්ප්‍රදායන්ට අයත් ලෝක බෞද්ධ ජනතාව එක්රැස් කරන ලෝක සාමයේ චිරස්ථායි වටිනාකම සනිටුහන් කරන තෝතැන්නක් බව මෙහිදී රැස්වූ මහා සංඝ රත්නය සහ විද්වතුන් ගේ අදහස විය.

 

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X