Temples of Sri Lanka

මේ අල්පේච්ඡතාව පෙන්වා දෙන්නේ බුදු දහමින් මයි

අප ශාන්ති නායක අමා මෑණී බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය ස්වාක්ඛාත වූ අකාලික දහමක්. එය තුන් කාලයට ම පොදු වූ ධර්මතාවයක්. ඒ අනුව පුද්ගල ජීවිතය සාර්ථක කර ගැනීමට නම් අල්පේච්ඡතාවයෙන් යුතුව කටයුතු කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නා. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ දේශනාවන් තුළින් දේශනා කොට වදාළේ පරලොව හිතසුව පිණිස පමණක් නොවේ, මෙලොව පරලොව යන උභයාර්ථය ම සාර්ථක කර ගැනීමටයි.

අල්පේච්ඡ යන වචනයේ අර්ථය මුලින් ම පැහැදිලි කර ගත යුතුයි. ‘අප්ප’ යන්නෙන් අදහස් වන්නේ ‘අඩු’ යන තේරුම. එසේම ඉච්ඡ යනු ‘ආශාව‘ ඒ අනුව අල්පේච්ඡ යනු ආශා අඩු බව යි.

මධ්‍යස්ථ ස්වභාවය, උපේක්ෂා සහගත බව කියන්නෙත් මේ අල්පේච්ඡ බවට ය. ගිහි පැවිදි සමාජයේ ප්‍රගතිය උදෙසා අල්පේච්ඡතාවයෙන් යුතුව කටයුතු කරන්නේ නම් දෙලොව සාර්ථක කරගත හැකි බවයි. එහෙත් මිනිස් ස්වභාවය නම් කොපමණ වස්තුව තිබුණ ද සෑහීමකට පත් නොවීම යි. ඒ බව ධම්ම පදය බුද්ධ වග්ගයේ එන මේ ගාථාව මනාව තහවුරු වේ.

“න කහාපණ වස්සේන
තිත්ථි කාමේසු විජ්ජති
අප්පස්සාදා දුක්ඛ කාමාt
ඉති විඤ්ඤාය පණ්ඩිතෝ”

කහවණු වැස්සෙනුදු වස්තුකාම ක්ලේශකාමයෙහි තෘප්තියෙක් නො වේ. මේ නිසා කාමයෝ සිහිනයෙන් පානය කළ පානක් මෙන් මඳ ආශ්වාද ඇතියෝ ය. බොහෝ දුක් ඇතියෝ ය. එසේ සිතා පණ්ඩිතයෝ එය නුවණින් දැනගත යුතු ය.

බුදුරදුන් වැඩසිටි සමයේ විශාලා මහනුවර ඇති වූ දුර්භික්ෂය මෙන් ම මේ 21 වන සියවසෙහි ද අප ජීවත්වෙන සමාජය තුළ දරුණු දුර්භික්ෂයක් පැමිණ ඇත. පුද්ගලයන් කොපමණ ලෞකික සැපවත් ජීවිත ගත කරන්න යෙදුණත් තමන්ට අත්වන පොදු ඉරණම මෙමඟින් පෙන්වා දුනි. එමෙන් ම, මිනිසුන් පරිසරය විනාශ කරමින් ස්වභාව දහමින් ඈත් වෙද්දී ස්වභාව දහමින් අපට පෙන්වාදුන් ප්‍රතිවිපාක යි මෙමඟින් පෙන්නුම් කරන්නේ. මිනිසුන්ට කවදාවත් ස්වභාව දහමට අභියෝග කළ නොහැකි බවයි. අල්පේච්ඡතාවයෙන් තොරව ජීවත් වූ මිනිසුන්ට වර්තමාන සන්දර්භය තුළ අල්පේච්ඡතාවයට යොමුවන මාවතද පෙන්වා දී තිබේ. එසේනම් අපි එක් කරුණක් සිතේ තබාගත යුතුයි. අපි සොබා දහමට අනුව කටයුතු කරන්නේනම් ගහට පොත්ත මෙන්, පොත්තට ගහ මෙන් අල්පේච්ඡතාවයෙන් යුතුව බොරු ආටෝපවලින් තොරව ජීවත් විය යුතු ය. භෞතික සැප සම්පත් කෙරෙහි ඇති කරන්නා වූ ගිජුකම නිසා එය පරිහානියට හේතුවක් වෙයි.

තමන්ගේ ජීවිතයට අදාළව ආදායමට සරිලන ආකාරයට වියදම් කළ යුතු ය. එහිදී අල්පේච්ඡතාවය ඉතා වැදගත් වේ. ඒ බව ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේ දක්වා තිබෙනුයේ මේ ආකාරයටයි.

ආදායමෙන් කොටස් හතරෙන් එක් කොටසක් අනුභවය පිණිස ද, තමාගේ හා අඹු දරුවන්ගේ යැපීම පිණිස යොදා ගත යුතු ය. ඉන් කොටස් දෙකක් හෙවත් 2/4 තමා ධනය උපයන රැකියාව හෝ කර්මාන්තය දියුණු කර ගැනීම සඳහා යෙදවිය යුතුය.

කොටස් සතරෙන් ඉතිරි කොටස හෙවත් 1/4 ඉතිරි කළ යුතු අතර, එය ආපදාවක්, ලෙඩක්, දුකක් වූ විට ගැනීම සඳහා ය.

අප ජීවිතයේ තිබෙන බොරු ආටෝපවලින් මිදී අල්පේච්ඡතාවයෙන් කටයුතු කළ යුතුයි.

“කිච්ඡෝ මනුස්ස පටිලාභෝ – කිච්ඡං මච්චාන ජීවිතං”

මිනිසත් බව ලැබීම දුර්ලභ බවත්, මිනිසුන්ගේ දිවි පැවැත්ම අපහසු බවත් මෙම ගාථා පාඨයෙන් ගම්‍ය වේ

ඒ අනුව ලබාගත් මනුෂ්‍ය ජීවිතය ආශා තෘෂ්ණාදියෙන් පොදිබැඳ නො ගෙන සරල චාම් ජීවිතයක් හුරු කර ගැනීම සසර දිවි මාවත දිනන්නට හේතුවක් වෙයි.

අප නිතර නිතර භාවිතා කරන “කරණීය මෙත්ත සූත්‍රයේ” දැක්වෙන “අප්පකිච්චෝච සල්ලහුක වුත්ති” පාඨයෙන් දැක්වෙන්නේ කටයුතු බහුල නොවීම, සරල ගතිපැවතුම් ඇති බවයි. අල්ප කෘත්‍යතාවයෙන් හා සැහැල්ලු දිවිපැවැත්මෙන් කටයුතු කිරීම පුද්ගල ජීවිතය යහපත්වීමට හේතු සාධක වෙයි. සමස්ත කරුණු දෙස අවධාරණය කරද්දී, කරණීය මෙත්ත සූත්‍රයේ කරුණු කෙ තරම් දුරට ජීවිතයට සම්බන්ධ වනවාද යන්න සරල අර්ථය මෙනෙහි කිරීමෙන් පැහැදිලි වේ.

එමනිසා කටයුතු බහුල නොවන සමාජයක හිතකර ආකල්ප වර්ධනය කර ගත හැකි ය.

බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට තම සිවුරු තුළින් අල්පේච්ඡතාවය පුරුදු කළ ආකාරය දැක ගත හැකි ය. සිවුර හැකිතාක් ප්‍රයෝජන ගත යුතු අතර ප්‍රයෝජන ගත නොහැකි විට ද ඉවත් කළ යුතු ය. නමුත් තවත් ප්‍රයෝජනයක් සඳහා එය යෙදිය යුතු වේ. ඇඳ ඇතිරිල්ල ලෙස සිවුර පරිහරණයට ගැනීම භික්ෂුවගේ කාර්ය යි. යම් හෙයකින් ඇඳ ඇතිරිල්ලට ද එම සිවුරු නුසුදුසු නම් බැහැර කළ හැකි ය. නමුත් නැවත පාපිස්සක් ලෙස යොදා ගැනීමට වග බලාගත යුතු ය. අවසානයේ දී එසේ ද නුසුදුසු නම් සිවුර සිහින් වන සේ ඉරා මැටි සමඟ අනා බිත්තියට තැබිය යුතු ය.

සිදුහත් බෝසතාණන් වහන්සේ අත්ථකිලමතානු යෝගය හා කාම සුඛල්ලිකානු යෝගය, යන අන්ත දෙක අනුගමනය කොට එහි නිස්සාරත්වය අවබෝධ කරගෙන මැදුම් පිළිවෙත තුළින් සම්මා සම්බුදු බව අවබෝධ කර ගත්හ. ඒ තුළින් ලෝකය දක්නා මාර්ගය සලසා ගත්හ. එම නිසා බුදුවරු අවබෝධිත දහම තුළ කටයුතු කළ පුද්ගලයා විමුක්තිකාමියකු වෙයි. පෘථග්ජනයා පංචකාම වස්තු පිනවීමට උත්සාහ දරන අතර, ඒ තුළ ඇලී ගැලී කටයුතු කරයි. සැපයි, මිහිරිය කියා ගන්නා දේ සංසාර දිගු පැවැත්මට මාවතක්, මෙවලමක් කර ගනී. එනිසා සියල්ල දෙස මොහොතින් වෙනස්වන මොහොතින් නැති වී විනාශ වී යන ස්වභාවය අවබෝධ කර ගත යුතු ය.

ගිහියා සැමවිට ම “සුඛ කාමානි භූතානි” සියලු දෙනා සැප විඳීමට කැමති ය. “දුක්ඛ පටික්කුලා” දුක් පිළිකුල් කරති. දුක් විඳීමට අකැමැති ය. නමුත් සසර ගමනේ දී, සියල්ල එක හා සමානව සිදු නොවේ. දුක් විඳීමට පවා සිදුවේ. ඒ යථාර්ථය අවබෝධ කර ගත් උත්තමයෝ සසර සැනසීම උදාකර ගනිති.

“අත්තදීපා භික්ඛවේ විහරථ, අත්තසරණා අනඤ්ඤසරණා” තමාගේ පිහිට තමා පමණක් බව හඳුනාගත හැකි ය. එහෙයින් අපි මේ ගෙවන ජීවිතය සාර්ථක ජීවිතයක් බවට පත් කර ගත යුතුයි. අපි කරන පින්, පව්, කුසල්, අකුසල් පමණයි රැගෙන යන්නේ. ඒ නිසා නොපමාව කුසල් ධර්මයන් රැස් කර ගැනීමට කටයුතු කරන්න. යනාදී වශයෙන් මිනිසත් බවේ දුර්ලභත්වයත් බුදුදහම අවධාරණය කරයි. එනිසා ලබාගත් මනුෂ්‍ය ජීවිතය දෙස මොහොතක් බලා විමසීමෙන් කටයුතු කරන්නාට එය සුවදායී කරගත හැකිය.

ඒ සඳහා ඉවහල් වන මූලික ධර්ම කාරණයක් ලෙස අල්පේච්ඡතාවය හැඳින්විය හැකි ය. අල්පේච්ඡතාවයෙන් තොර වූ විට ජීවිතයේ විනාශය ඇතිවේ. එනිසා මෙම කරුණු පිළිබඳ අවබෝධ කරගෙන ඒ අනුව ජීවිතය සැපවත් කර ගැනීමට උත්සුක විය යුතු ය.

ඔබ සැමට තෙරුවන් සරණයි..🙏

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X