Temples of Sri Lanka

කන්හා ශාන්ති වනම් හී ළෙල දෙන උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ

ඉකුත් සැප්තැම්බර් මස 27 වැනි දින ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරය ආසන්නයේ පිහිටි ලොව විශාලතම භාවනා මධ්‍යස්ථානය වන කන්හා ශාන්ති වනම් හි දී සමස්ත බෞද්ධ ලෝකයට ඓතිහාසික දිනයක් උදාවිය.

එදිනට යෙදෙන ඉන්දියාවේ ශ්‍රී රාම් චන්ද්‍ර පදනමෙහි සභාපති සහ හෘදයාංගම මාර්ගෝපදේශක පූජ්‍ය දාජී හිමියන්ගේ ජන්ම දින සැමරුම නිමිත්තෙන්, ආචාර්ය දමෙන්ද පෝරගේ මහතා විසින් වැඩමවා ගෙන එන ලද, බෝධිගයාවේ පිහිටි ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ බෝ අංකුරයක් කන්හා ශාන්ති වනම්හිදී රෝපණය කරන්නට යෙදුණි.

මෙම ඓතිහාසික පුණ්‍යෝත්සවය සඳහා 14 වැනි ශුද්ධෝත්තම දලයි ලාමා වහන්සේ නියෝජනය කරමින් ගේෂේ දම්දුල් දෝර්ජි හිමිපාණන් ද, පූජ්‍ය ඛේමාචාරා හිමියන් ද, අන්තර්ජාතික බෞද්ධ මහා සම්මේලනයෙහි නියෝජ්‍ය මහා ලේකම් ආචාර්ය දමෙන්ද පෝරගේ මහතා ද, ශ්‍රී ලංකා- ටිබෙට් බෞද්ධ සහෝදරත්ව පදනමෙහි ලේකම් සහ අන්තර්ජාතික බෞද්ධ මහා සම්මේලනයෙහි ධර්ම ලේකම් ආචාර්ය ශර්මිලා මිල්රෝයි මහත්මිය ද ගෞරවනීය ආරාධිත අමුත්තන් ලෙස සහභාගී වූහ.

එපමණක් නොව බෝධිගයාවෙන් සහ ඉන්දියාවේ නොයෙක් ප්‍රදේශයන්ගෙන් බෞද්ධ භික්ෂූන් වහන්සේලා රාශියක් ද, හැටදහසකට අධික බැතිමතුන් ද මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.

මෙහිදී අදහස් පළ කළ ආචාර්ය දමෙන්ද පෝරගේ මහතා බෝධිගයාවේ සිට මෙලෙස රැගෙන බෝධි අංකුර රෝපණයෙහි වැදගත්කම පිළිබඳව අදහස් පළ කරන ලදී. වැඩිදුරටත් අදහස් පළ කළ එතුමා විසින් සඳහන් කරන ලද්දේ,

“මෙලෙස රෝපණය කරන්නට යෙදුන ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් පැවත ගෙන එන බෝ අංකුරය අප හට හෘදයාංගම වස්තුවකි. විශේෂයෙන්ම ක්‍රි. පූ. පස්වන සියවසෙහි බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වූයේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ පා මුලයි. ශ්‍රී ලංකාවේ අපට මෙම බෝධීන් වහන්සේ යනු ඉතාම පූජනීය වස්තුවක්. ක්‍රි. පූ. 239 දී අශෝක අධිරාජ්‍යයාගේ දියණිය වන සංඝමිත්තා තෙරණියගෙන් අපට මෙලෙසම බෝ අංකුරයක් දායාද වුණා. එය අනුරාධපුරයේ රෝපිතයි. අප විසින් සලකන්නේ මෙම පූජනීය වෘක්ෂය ප්‍රාර්ථනා බෝධියක් ලෙසයි. මිලියන සංඛ්‍යාත බැතිමතුන් බුද්ධගයාවට සහ ශ්‍රී ලංකාවට මෙම බෝධීන් වහන්සේ වන්දනාමාන කිරීම සඳහා යනවා. එබැවින් අපට මෙය ඉතා වැදගත් අවස්ථාවක්.”

කන්හා ශාන්ති වනම් හි, දහස් සංඛ්‍යාත භික්ෂූන් වහන්සේලා සහ බැතිමතුන්ගේ සාධුකාර මධ්‍යයේ මෙලෙස රෝපණය වූ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ බෝ අංකුරය කප් සුවහස් කාලයකට ලොවට ශාන්තිය උදා කරත්වා!

You might also like
en English
X
X