Temples of Sri Lanka

පාලි භාෂාව සංරක්ෂණය සහ සංවර්ධනය කිරීම..

බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කිරීම සඳහා භාවිත කළ පාලි භාෂාව සහ එම භාෂාවෙන් රචිත පූජනීය ග්‍රන්ථ සංරක්ෂණය සහ සංවර්ධනය කිරීම සඳහා සිය රජය මගින් පුළුල් පියවර රාශියක් ගන්නා බවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රකාශ කළේය.

අගමැති ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා ” අද ඓතිහාසික අවස්ථාවක්, එය අභිධම්ම දිනයයි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ධර්මය දේශනා කලේ පාලි භාෂාවෙන්. වර්තමානයේදී පාලි භාෂාවට සම්භාව්‍ය තත්ත්වයක් උදා වී තිබෙනවා. ඒ නිසා එම ධර්මය අවබෝධ කර ගැනීම සඳහා පාලි අත්‍යාවශ්‍ය වෙනවා” එමෙන්ම ” භාෂාවක් යනු සන්නිවේදන මාධ්‍යක් පමණක් නොවන බවත් එය ශිෂ්ඨාචාරයක සංස්කෘතිය, උරුමය සහ ආත්මය වෙන බවත් ඒ නිසා පාලි භාෂාව ජීවමානව පවත්වා ගනිමින් බුදුන්ගේ දේශනාව ද ජීවමානව පවත්වා ගැනීම අපගේ වගකීම වෙන බවත් ප්‍රකාශ කර සිටියේය.එමෙන්ම පාලි භාෂාව දැනට භාවිතයේ නොමැති වුව ද ඕනෑම භාෂාවක්, සාහිත්‍යයක්, කලාවක් සහ ආධ්‍යාත්මික සම්ප්‍රදායක් විසින් ප්‍රකාශ කරන්නේ කිසියම් ජාතියක උරුමයයි එහි අනන්‍යතාවයයි. එබැවින් ඉන්දීය රජය විසින් පාලි භාෂාව සංරක්ෂණය කර ප්‍රවර්ධනය කිරීමට කැපවන බවට මම සහතික කරමි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පවසා සිටියේ ඉකුත්දා ඉන්දීය සංස්කෘතික අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් හා අන්තර්ජාතික බෞද්ධ මහා සම්මේලනය (IBC) විසින් සංවිධානය කරන ලද උත්සවයක සමාරම්භක අවස්ථාවේ, ප්‍රධාන දේශනය පවත්වමිනි.

තවදුරටත් අදහස් දක්වමින් එතුමා ප්‍රකාශ කර සිටියේ නිදහසට පෙර සියවස් ගණනාවක් පැවති යටත්විජිත පාලනය හා විවිධ ආක්‍රමණිකයන් ඉන්දියාවේ අනන්‍යතාවය අතුගා දැමීමට උත්සාහ කළ අතර, නිදහසින් පසු වහල් මානසිකත්වයක් තිබූ අයත් ඊට උත්සාහ කළ බවත් ඉන් ඉන්දීය උරුමයන් විනාශ වී, රටක් ලෙස ඉන්දියාව බොහෝ පසුබට වූ බවත් ප්‍රකාශ කලේය.

එසේම පවතින පාරිසරික තත්ත්වයන් ඉන්දියාව ඇගේ උරුමයෙන් ඈත්කොට ඇති බවත් එනිසා තම රට බොහෝ පසුගාමී වී ඇති බවත් එතුමා ප්‍රකාශ කර සිටියේය. එසේම ඉන්දීය රජය විසින් මෙම නැති වී ගිය බෞද්ධ උරුමයට පුනර්ජීවය ලබා දීමට සියලුම ප්‍රයත්මයන් දරණ බවත් පසුගිය වසර කිහිපය තුළ වෙනත් රටවල තිබූ කෞතුක වස්තු 600කට අධික ප්‍රමාණයක් නැවත රැගෙන ආ බවත් ඉන් බොහොමයක් ඒවා බෞද්ධ පුරාවස්තු බවත් එතුමා ප්‍රකාශ කර සිටියේය.

තවදුරටත් සභාව අමතමින් තම රජය විවිධ ඩිජිටල්කරණ යෙදුම් සහ ලේඛනාගාර පර්යේෂණ හරහා පාලි භාෂාව ප්‍රවර්ධනය කිරීමට උත්සාහ ගන්නා බවත් දරමින් පාලි භාෂාව තේරුම් ගැනීමට ශාස්ත්‍රීය මෙන්ම ආධ්‍යාත්මික උත්සාහයන් ද අත්‍යවශ්‍ය බවත් ඒ සඳහා උගතුන්, ශාස්ත්‍රඥයන් ජනතාවට මග පෙන්විය යුතු බවත් ප්‍රකාශ කර සිටියේය.

මෙලෙස බෞද්ධ උරුමය පුනර්ජීවනය කිරීමේදී ඉන්දියාවත් නැවතත් සිය අනන්‍යතාවය සොයා ගනිමින් සිටියි. එය වේගවත් සංවර්ධනයක් සහ පොහොසත් උරුමයක් කරා වන මහඟු පියවරකි.

එමෙන්ම අග්‍රාමාත්‍යවරයා විසින් රටේ තරුණ තරුණියන් අමතා ද වටිනා ප්‍රකාශයක් සිදු කළේය. “ඉන්දීය තරුණ තරුණියන් විද්‍යාවෙන් හා තාක්ෂණයෙන් ලෝකයට නායකත්වයක් දෙනවා පමණක් නොව, ආඩම්බර විය යුතු බව ද” එහිදී එතුමා සඳහන් කළේය.

මෙම අගනා දේශනයෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා විසින් සංඝයා වහන්සේලා සඳහා චීවර දානය ද සිදු කළ අතර උන්වහන්සේලා සමඟ සුහද කතාබහක ද නිරත විය.

මෙම උත්සව අවස්ථාව සඳහා මධ්‍යම සංස්කෘතික අමාත්‍ය ශ්‍රී ගජේන්ද්‍ර සිං ශෙකාවත් මහතා ද, පාර්ලිමේන්තු කටයුතු සහ අන්‍ය ආගමික කටයුතු පිළිබඳ මධ්‍යම අමාත්‍ය ශ්‍රීකිරන් රිජිජු මහතා ද සහභාගී වූහ.

එමෙන්ම ඉන්දියාවේ බනාරස් හින්දු විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය බිමලේන්ද්‍ර කුමාර් මහතා විසින් ඉන්දියාවේ සම්භාව්‍ය භාෂාව ලෙස පාලි භාෂාවේ ඇති වැදගත්කම පිළිබඳ විශේෂ දේශනයක් පවත්වන ලදී.

එමෙන්ම මෙම උත්සව අවස්ථාවට සමගාමීව ප්‍රදර්ශන දෙකක් ද සංවිධානය කර තිබූ අතර, ඉන් එකක “අග්නිදිග ආසියාතික රටවල විවිධ අක්ෂර නිරූපණය කරන ලියවිලි සහ පාලි භාෂාවේ ව්‍යාප්තිය පෙන්වන කලාපීය සිතියමක්” ප්‍රදර්ශනය කරන ලදී.

අනෙක් ප්‍රදර්ශනයෙහි වූයේ “බුදුන් වහන්සේගේ ජීවිතය සහ ඉගැන්වීම්” ය.

You might also like
en English
X
X