Temples of Sri Lanka

නිර්වානය උදෙසා වීර්යය වඩමු…

නිවන් දැකීම පිණිස අත්‍යවශ්‍ය අංගයකි භාවනාව. සමාධිය වැඩීම සියළු බුදුවරුන් දේශනා කළ දෙයකි. සීල, සමාධි,ප්‍රඥා යන ත්‍රිශික්ෂාවට එය අන්තර්ගතය. ආර්‍ය අෂ්ඨාංගික මාර්ගයේදී සම්මා සමාධිය ලෙසින්ද එය දක්වා ඇත. සමාධිය නිවන් දැකීම පිණිස අවශ්‍ය වන්නේ ඇයි?භාවනාව යනු කුමක්ද?

භාවනාව තුළින් සිදුවන්නේ කුමක්ද? අප එදිනෙදා ජීවීතයේදී සිත තුළින් නොයෙක් සිතිවලි වල බැඳී පැටළවී ගැට ගැසී සිටිමු. නිරන්තරයෙන්ම සිත තුළින් නොයෙක් ආකාරයේ මනසිකාර ගලයි. සිතට විවේකයක් නොමැත. ගතට කෙතරම් විවේකයන් ලබා දුන්නද, සිතට ඒ අයුරින් විවේකයක් ලැබෙන්නේ නැත. සිතිවිලි එන්නට එපා යැයි කීවාට සිත එසේ පවතින්නේ නැත. ඒ තුළින් සෑම විටම සිතිවිලි ගලයි. ප්‍රවාහයන් මෙනි. ඒ පෘතග්ජන සිත් හි ස්වභාවයයි. ගමන් කරන වාහනයක සිට එළිය බැලූ විට ඔබට පැහැඳිළිව එළියේ ඇති දේ දිස්වන්නේ නැත. ඒවා පැහැඳිළිව දැකීමට නම් වාහනය නතර විය යුතුය. මේ ආකාරයෙන් ඔබේ මනස නොයෙකුත් සිතිවිලි වලින්, අරමුණු වලින් කිළිටි වී, පිරී තිබෙන විට සංස්කාරයන්ගේ යථා ස්වරූපය, ඇත්ත ඇති සැටියෙන් දිස්වන්නේ නැත. නොයෙකුත් සංඥාවන්ගෙන් මුලාවට පත්ව අපට ඇත්ත ඇති සැටියෙන් පසක් කර ගත නොහැක. මේ සඳහා සිත නතර කර ගත යුතුය.ඇස, කණ ,නාසය, දිව, ශරීරය, මනස යන සය ආයතනයන්ගෙන් ලැබෙන අනේක විද අරමුණු ඔස්සේ අපේ සිත් අතරමං වී ඇත. ඒ අරමුණු වල ගැට ගැසී, වෙළී පැටළ වී ඇත.

පළමුවෙන් එසේ අනන්ත අප්‍රමාණ අරමුණු ඔස්සේ දිවෙන සිත, යම් පමණකට සමාහිත කර ගත යුතුය. ලෝකය වටේ දුවන සිත එක් වරම, නතර කර ගත නොහැකිය. එය සිදු කළ යුත්තේ සෙමෙන් සෙමෙන් අදියරෙන් අදියරය. නොහික්මවන ලද ගොනකු හීලෑ කරන අයුරින්ම සිතද ක්‍රමානුකූවල හීලෑ කරමින්, දමනය කර ගත යුතුය. අරමුණු කෝටියක් මැද අතරමංව පවතින සිත, පළමුවෙන් එක අරමුණකට රැගෙන ආ යුතුය. එය සුදුසු කම්මට්ඨානාචාර්යවරයකුගෙන් ලබා ගන්නා භාවනා කමටහන මත සිදුවන්නකි.
දක්ෂ භාවනා උපදෙස් දෙන ගුරුවරයකුට නම්, ඔබට වඩාත්ම සුදුසු භාවනා කර්මස්ථානය දිය හැකිය. එය ආනාපානසතිය, අසුභය, මරණානුස්සතිය, මෛත්‍රිය, බුදු ගුණ, ආදී කවරක් හෝ විය හැක. අයාලේ දුවමින් පැවති සිත මේ භාවනා අරමුණ ඔස්සේ සමාධිගත කළ හැක. භාවනා කමටහන තුළින් සිදුවන්නේ , සිත තුළින් නීවරණ යටපත්ව, සමාධිය වඩවා ගැනීමට අනුබලයකි. සමථ වශයෙන් හෝ, විදර්ශනා වශයෙන් හෝ යුගනන්ද වශයෙන් හෝ භාවනාව ප්‍රගුණ කළ හැක.

සමථය වශයෙන් ගත් කළ, ධ්‍යාන අංග ඉස්මතු කරගනිමින් පසුව එම ධ්‍යාන අංග ඉක්මවා ධ්‍යානයකට හිත පත් කර ගත හැකිය. රූපාවචර ධ්‍යාන හතරක්ද, අරූපාවචර ධ්‍යාන හතරක්ද වශයෙන් ධ්‍යාන වඩවා ගත හැක. විදර්ශනා භාවනාව සිදු කිරීමේදී මුල සිටම, සංස්කාරයන්ගේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ස්වභාවය මනසින් දකිමින් භාවනාව සිදු කරගෙන යා හැකිය. ඇතිවන ඇතිවන භාවනා තත්වයන්ගේ අනිත්‍ය බව, අනාත්ම බව දකිමින්ම ඒවා සිතින් අත හරිමින් අත හරිමින් භාවනා මාර්ගය තුළ ඉදිරියට යා හැක. සමථ වශයෙන්, හෝ විදර්ශනා වශයෙන් හෝ කවර ක්‍රමයකට භාවනාව සිදු කළද අවසාන ඉලක්කය නිර්වාණයයි.

ධ්‍යාන වඩවන්නකු නම්, ඔහු විසින් තමන් ලද ධ්‍යාන සිතේ අනිත්‍ය, අනාත්ම බව දැක ඒ සිතත් අත හැරිය යුතුය.. කුමන මාර්ගය ඔස්සේ ගමන් කළද ගමනාන්තය වන්නේ නිර්වාණයයි. නිර්වාණය නම් සියළු සංස්කාරයන්ගෙන් සිත මුදවා ගත්, සියළුම සංඥාවන්ගෙන් සිත මුදවාගත්, සියළු වේදනාවන් සමනය වී ගිය ඉතා ශාන්ත වූත්, නිවී ගිය මානසික තත්වයකි.
එවැනි මානසික ස්වභාවයක් කරා යෑමට නම් සිතට අත හැරීම පුරුදු පුහුණු කළ යුතුය.
සිත තුළ පවතින දැඩි වූ ලෝභය තුනී කළ යුතුමය. තෘෂ්ණාව කෙරෙන් සිත මුදා ගත යුතුය. ද්වේශය ආදී අකුසල සිතිවිලි වලින් ඈත්විය යුතුය.

සිත උතුම් වූ නිර්වාණය කරා මෙහෙයවීම අවශ්‍යයෙන්ම කළ යුතුය. සියළු භෞතික වස්තූන් තුළ පවතින අනිත්‍ය බව, දුක් සහගත බව සිතට අවබෝධ කර දීම තුළින් ඒවා කෙරෙහි පවතින දැඩි තෘෂ්ණාව තුනී කර දැමිය හකිවනු ඇත. කෙතරම් ආශාවෙන්, ළංකරගත්තද සියල්ල ඇඟිලි තුඩු අතරින් ගිලිහි වැටෙනා ජලය මෙන් අප කෙරෙන් නික්මී යයි. කෙදිනක හෝ නියත වශයෙන්ම සියල්ලන්ගෙන්ම වෙන් වී අත හැර යා යුතුමය. එම අත හැරීම සෑම මොහොතකම මනසින් දකිමින් ජීවත් වීම තුළින් සිත ක්‍රමයෙන් අත හැරීමට පුරුදු වේ.

භාවනාව තුළින් මිච්ඡා සමාධීන් වලට අසු වී ප්‍රමාදයට, මුලාවට පත්වීමට ඇති ඉඩ කඩ බහුලය. නිසි ගුරු උපදේශයක්, මාර්ගෝපදේශනයක් අත්‍යවශ්‍ය වන්නේ එබැවිනි. සිත හිස් වූ පමණකින්, නතර වූ පමණකින් මාර්ගඵල ගත්තා යැයි සිතා මුලාවට පත් වූ පිරිස් අපමණය. එවැනි අය කරා යන අනුගාමිකයන්ද මුලාවට පත් වන්නේය. නොයෙකුත් අකුසල කර්ම රැස් කරගෙන සසර තව තවත් දික් කර ගන්නේය. මාර්ගඵලයක් ලැබුවා නම්, එය එම පුද්ගලයා විසින්ම ප්‍රත්‍යක්ෂ කර ගත හැකිය. ප්‍රහීණ වී ගිය සංයෝජන ධර්මයන් ප්‍රත්‍යවේක්ෂ කොට දැක ගත හැකිය.
තමා තුළ ඉතිරිව ඇති සංයෝජන ධර්මයන්ද දැන ගත හැකිය.

මේ ආකාරයෙන් මුලාවට පත් නොවී, නිසි පරිදි ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය තුළ ගමන් කරමින්, බුදු රජාණන් වහන්සේලා, පසේ බුදු රජාණන් වහන්සේලා, මහ රහතන් වහන්සේලා පසක් කොට වඳාළ උත්තම නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට අද අදම වීර්යය වඩවමු.

තෙරුවන් සරණයි🙏

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X