Temples of Sri Lanka

උතුම් මැදින් පෝ දා අදයි..

තිලෝගුරු බුදු පියාණන් වහන්සේ කිඹුල්වත වෙත ගමන ඇරඹූ උතුම් මැදින් පෝ දා අදයි..

ඇසළ පුර පසළොස්වක පොහොය දිනෙක යශෝධරා දේවිය පින්වත් පුත්‍ර රත්නයක් බිහිකළ දිනයේම දරුවා දෙස පමණක් බලා නින්දේ සිටි යශෝධරා දේවියටත් පිය මහ රජතුමාටත් කිරි මව්තුමිය වන මහා ප්‍රජාපතී ගෝතමියටත් නොකියා එකදා උපන් තම මිතුරා වන ඡන්න ඇමැතිට පමණක් කියා ඔහු සමග කන්ථක අසු පිටට නැඟී මහභිනික්මන් කළ පුවත බෞද්ධයන් වන අප කවුරුත් හොඳින් දනී.

එසේ හොර රහසේ නික්මගිය තම පුත් කුමරු වන සිදුහත් කුමාරයා සිටිනුයේ කොහිද යන කාරණය සුදොවුන් රජු ඇතුළු රජ මැඳුරේ කිසිවකුත් නොදන්නේය.

කෙසේ වෙතත් සිදුහත් තවුසාණෝ (කුමාරයා) සාවුරුද්දක් හෙවත් අවුරුදු හයක් දුෂ්කර ක්‍රියාකොට වෙසක් පුර පසළොස්වක පොහොය දිනෙක බුද්ධත්වය ලබා ඇසළ මස පුර පසළොස්වක පොහොය දිනෙක දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරන ලදී. මේ විස්තර රජගහ නුවර බිම්බිසාර රජතුමා හොඳින් දන්නේය. ඒ ගැන සියලු තොරතුරු හසුන් පතක ලියා තම මිතුරු සුද්ධෝදන රජු වෙත බිම්බිසාර රජතුමා විසින් දන්වන ලදී. තම පුත්‍ර රත්නය පිළිබඳ තොරතුරු සොයමින් සිටි සුදොවුන් රජුට මේ පුවත අමාපැණි මෙන් විය. ඒ නිසා තම පුතා පමණක් නොව මුළුමහත් තුන් ලොවටම අග්‍රවූ බුදුවරයකු දැකගැනීම ඉමහත් ආශාවක් එතුමාට ඇති විය.

ඒ අනුව තම පුත් බුදුන් වහන්සේ තම රජ මාලිගයට ගෙන්වා ගැනීමට අවශ්‍ය විය.

ඒ අනුව තම අමාත්‍ය මණ්ඩලයේ එක් ඇමතිවරයකු ගෙන්වා දහසක් පිරිවර ලබාදී කිඹුල්වත් නුවර සිට රජගහ නුවරට පිටත් කළේය. මේ පිරිස ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා නිවන් අවබෝධ කර ගැනීමට පෙරුම් පුරාගෙන එන පිරිසකි. ඒ බව කිසිවකු නොදනී. රජගහ නුවරට ළඟාවත්ම පෙර පින ඉස්මතුවී බුදුන්ගෙන් බණ අසා රහත් බව ලැබූහ. බිම්බිසාර රජුගේ හසුන් පතක් මගින් ඒ බව සුදොවුන් රජුට දැන්වීය. තම පුත් බුදුන් වහන්සේ ගෙන්වා ගැනීමේ පළමු උත්සාහය ව්‍යර්ථ වුවද රජතුමා පසුබට නොවී තවත් ඇමැතිවරයකු දහසක් පිරිවර සමග පිටත් කළේය. පෙර සේම තමන්ගේ පෙර පින ඉස්මතු වී එම පිරිස ද රහත් බව ලැබූහ. මේ ආකාරයෙන් වාර නවයක්ම දහස බැගින් පිටත් කළහ. අවසානයේ සුදොවුන් රජතුමා අලුත් තීරණයක් ගත්හ. සිදුහත් කුමාරයා උපන් දිනයේම උපත ලැබූ එකට කෙළි සෙල්ලම් කළ කාළුදායි ඇමැතිවරයා ගෙන්වා “පුත, ඔබත් මාගේ පුත්‍රයාත් අතර තිබෙනුයේ ලොකු බැඳීමක්. ඒ බව මම දන්නවා. ඔබ දෙදෙනා ඉපදුණේත් එකම දිනයක. කෙළි සෙල්ලම් කළේත් එකට. ඉගෙන ගත්තේත් එකට. ඔබ දෙන්නා හොඳ කල්‍යාණ මිත්‍රයන්. මගේ පුත්‍රයා වගේම මට ඔබත් වටිනවා. ඇමැති මණ්ඩලයේ මගේ සුවච කීකරු ඇමැති ඔබයි. ඒ නිසා මගේ ඉල්ලීම ඉවත නොදමා කෙසේ හෝ ඉටුකර දෙන්න” යැයි ඉල්ලා සිටියහ.

“මහ රජතුමනි, මොකක්ද මගෙන් ඉටුවිය යුතු කාරණය. කියන්න, මම දිවි හිමියෙන් ඉටු කර දෙන්නම්” කාළුදායි ඇමැති පැවසීය.

“එසේ නම් ඔබගේ තනියට මම දහසක පිරිවර දෙන්නම්. මීට වසර හයකට පෙර අප අතහැර ගිය සිදුහත් කුමාරයා බුද්ධත්වයට පත්ව බිම්බිසාර රජතුමා විසින් ඉදිකරදී ඇති වේළුවනාරාමයේ වැඩ සිටින බව මගේ මිතුරා හසුන් පතක් මගින් මට දන්වා එවා තිබෙනවා. උන්වහන්සේ දැකගන්නා තුරු මට ඉවසිල්ලක් නැහැ. ඒ නිසා ඔබ දහසක පිරිස සමග ගොස් බුදුරජාණන් වහන්සේ මේ නුවරට කැඳවා ගෙන එන්න” යැයි ආයාචනා කරන ලදී.

“හොඳමයි රජතුමනි, මම ඔබතුමාගේ ඉල්ලීම කෙසේ හෝ ඉටුකර දෙන්නම්. හැබැයි මට එක වරයක් දෙන සේක්වා.”

“කියව පුත, කියව, ඕනෑම වරයක් දෙන්නම්”

“මට මහණවීමට අවසර දෙන්නේ නම් රජගහ නුවරට ගොස් මා ඇතුළු පිරිස සමග බුදු හිමි වැඩම කරවාගෙන කෙසේ හෝ එන්නම්.”

මේ පිරිස ද පෙරුම් පුරාගෙන එන පිරිසක් බව දන්නේ ඔවුන්ම පමණි. පිරිස රජගහ නුවරට ළඟා වූහ. බුදුන් වහන්සේ හමුවී වැඳ එකත්පසක සිට බණ අසන ලදී. රහත් ඵලය ලබා පැවිදි වූහ. ටික දිනක් ගත විය. යහපත් කාලගුණයක් ඇත. ගස් වැල් මල් හා ඵලවලින් පිරී ඇත. කාලගුණය ඉතාම හොඳය. වර්ෂාවත් නැත. ශීතලත් නැත. උණුසුමත් නැත. සුදොවුන් රජුගේ ආයාචනය සිහිපත් විය. මේ නම් රජගහ නුවර සිට කිඹුල්වත් නුවරට යෑමට ඇති හොඳම කාලය බව කාළුදායි මහ රහතන් වහන්සේට හැඟී ගියහ. බුදුන් වහන්සේ හමුවීමට ගොස් වැඳ නමස්කාර කර පවතින යහපත් කාලගුණය, වටාපිටාව හා සොබාදහම පිළිබඳව ගාථා 60කින් වර්ණනා කළහ. බුදුන් වහන්සේ එම ගාථාවලට හොඳින් සවන් දී සිටියහ. එසේ නම් භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, මගේ කල්‍යාණ මිත්‍ර ගෞතමයන් වහන්ස, ඔබත් මමත් ඉපදුණේ එකම දිනයක. කෙළි සෙල්ලම් කළෙත් එකට. ඔබේ පියාණන් වහන්සේ ඔබවහන්සේ දැක ගැනීමට බලවත් ආශාවෙන් පසුවෙනවා. ඒ නිසා කිඹුල්වත් නුවරට වැඩම කරවීමට මෙය හොඳම කාලයයි” පවසමින් සිරිපතුල් වන්දනා කළහ.

මේ සියල්ල හොඳින් අසා සිටි බුදුරජාණන් වහන්සේ තුෂ්ණිම්භූතව එම ඉල්ලීම ඉවසා වදාළහ. බුදු ඇසින් ලොව බැලූ බුදුන් වහන්සේ රජගහ නුවර සිට කිඹුල්වත් නුවරට දුර ප්‍රමාණය යොදුන් 60ක් බවත් දිනකට එක් යොදුන බැගින් පා ගමනින් ගමන් කළහොත් දින 60 ක් ගතවන බව අවබෝධ කරගත්හ. බුද්ධත්වයට පත්ව වසරක් ගත වනුයේ ඉදිරි වෙසක් පොහොය දිනයේදී කිඹුල්වත් නුවරට පා තැබීමට සුදුසු බව මෙනෙහි කළහ. ඒ කාලවකවානුව කිඹුල්වත් නුවර උත්සවශ්‍රී ගන්නා බවද වටහා ගත්හ. තම එකම සහෝදරයා වන නන්ද කුමාරයා විවාහ වීමට තීරණය කර ඇත්තේත් හෙතෙම ඔටුනු පැලඳවීම කරනු ලබනුයේත් ඉන්පසු අලුත් මාලිගාවට ගෙවදීම සිදු කරනු ලබනුයේ ඊට ආසන්න දිනවලදීය. ඒ නිසා නගරය ඉතා අලංකාර ලෙස සරසා නගර වැසියන් ද ප්‍රීති ප්‍රමෝදයෙන් කාලය ගත කරන දින කිහිපයකි. තවද ගිහි කල තම එකම පුත් රාහුල කුමාරයා 7 වෙනි වියට පා තැබීමට ආසන්න බවද අවබෝධ කරගත්හ. ඒ අනුව වෙසක් පෝය දිනයේදී කිඹුල්වත් නුවරට ළඟාවීමට නම් මැදින් පුර පසළොස්වක දින සවස් භාගයේදී රජගහ නුවරින් ගමන ආරම්භ කළ යුතු බව බුදු නුවණින් වටහා ගත්හ. ඒ අනුව කාළුදාස මහ රහතන් වහන්සේ අමතා “ඉදිරි මැදින් පුර පසළොස්වක පොහොය දින රජගහ නුවරින් ගමන ආරම්භ කරන බවත්, ඒ සඳහා කටයුතු සූදානම් කරන ලෙසත් කාළුදායි රහතන් වහන්සේට දැන්වූ සේක. ඒ අනුව අද වැනි මැදින් පුර පසළොස්වක පොහොය දිනය වැදගත් වනුයේ බුදුරජාණන් වහන්සේ තම පියගම වන කිඹුල්වත් නුවරට වැඩම කරවීම සඳහා රජගහ නුවරින් පා ගමන ආරම්භ කළ දිනය ලෙසින් ය.
ලෝකාර්ථචර්යාවෙහි යෙදුණු භාග්‍යවතුන් වහන්සේ විසි දහසක් පමණ ආර්යමහා සංඝයා පිරිවරාගෙන සුද්ධෝදන පිය රජතුමාටත් ස්වකීය ඥාතීන් වූ ශාක්‍ය වංශිකයන්ටත් අමා මහ නිවන් සුව ලබාදෙනු වස් රජගහ නුවර වේළුවනාරාමයේ සිට කිඹුල්වත් පුරයට වැඩමවීමට ගමනාරම්භය සිදුවූයේ මැදින් පුන් පොහෝ දිනයකය.”

එම මැදින් පොහොය දිනය පිළිබඳ විස්තරයේම තවත් තැනෙක මෙසේ දක්වා ඇත.

“ශාක්‍යයෝ බුදුන් ප්‍රමුඛ විසිදහසක් භික්ෂු සංඝයා හට වැඩ සිටීමට නීග්‍රෝධ කුමාරයාගේ උයනෙහි ආරාමයක් සාදවා තැබූහ. භාග්‍යවතුන් වහන්සේ වෙසක් පුර පසළොස්වක දා කිඹුල්වත් පුරයට වැඩම කළහ.”

ලෝ පුරා සදහම් සුවඳ විහිදෙන උතුම් මැදින් පෝ දාවක් වේවා ඔබ සැමට….

තෙරුවන් සරණයි🙏
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X