මා මෙත් මගට ගෙන එන මෛත්‍රිය සහ මහා කරුණාව
සර්වඥයන් වහන්සේ නිරතුරුව සිය ශ්‍රාවකයන්ගේ දුක සැප විමසා බැලූහ. ඇතැම් විටෙක ආරණ්‍යගත වූ ශ්‍රාවකයන් සොයා ගොස් යැපිය හැකිද, පිණ්ඩපාතය සඳහා වැඩීමේදී ක්ලාන්ත නොවෙත්දැයි විමසා බැලූහ. බලවත් සේ රෝගී වූ භික්ෂූන් දැකීමට ගොස් ධර්ම දේශනා කොට සිත් සනසා මාර්ග ඵලයකට යොමු කළහ. ඇතැම් රෝගී භික්ෂූහු දුක්ඛිත වී සැනසීම සඳහා උන්වහන්සේ දකින්නට කැමැති වෙති. ඉතා ගෞරව සහිත භික්ෂූන් අත පණිවුඩයක් යවති. “ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් පවසන්න. ‘ස්වාමීනි…. භික්ෂුව හටගත් ආබාධ ඇත්තේය. දුකට පැමිණියේය. දැඩි සේ ගිලන්ය. හේ ඔබ වහන්සේගේ පා සඟල දොහොත් මුදුන් තබා වඳී’ යැයි මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ පා සඟල හිසින් වඳින්න. මෙසේද කියන්න : ‘ස්වාමීනි, අනුකම්පා පිණිස…. භික්ෂුව වෙත එළැඹෙන සේක් නම් මැනවි’ යි.”
තථාගතයන් වහන්සේ එය නිශ්ශබ්දව ඉවසා රෝගී භික්ෂුව වෙත ගොස් විවිධ අයුරින් සනසති. “ඔබට යැපිය හැකිද? ඉවසිය හැකිද? දුක් වේදනා පිරිහෙද්ද? නොවැඩෙද්ද? ඔබට යම් සැකයක් විපිළිසරයක් ඇද්ද?” ඇතැයි කී විට “ශීලයේ වරදක් ඇත්ද” අසති. නැතැයි කී කල “එසේ නම් ඔබට ඇති සැකය, විපිළිසරය කිම?” සර්වඥයන් වහන්සේ අදාළ පරිදි ප්‍රශ්නෝත්තර ක්‍රමයෙන් කෙටි ධර්ම දේශනයක් කරති. එවිට රෝගියාට ආත්ම විශ්වාසය හා ධර්ම අවබෝධය ඇති වේ.
උන්වහන්සේ වෙත භික්ෂුවක් පැමිණ අසුවල් වෙහෙර අප්‍රසිද්ධ නවක භික්ෂුවක් ඉතා බලවත් රෝගයකින් පෙළෙතියි කියා එහි වඩින්නැයි අයැදීය. සර්වඥයන් වහන්සේ නවක බව, රෝගී බව සහ නාඳුනන බව සලකා එහි වැඩියහ. භික්ෂුව දුරදීම දැක යහනින් නැගිටින්නට තැත් කරන විට උන්වහන්සේ “කම් නැත. නැගිටීම අනවශ්‍යය. මම මේ අසුනෙහි හිඳිමි” වදාළහ.
“ඔබට ඉවසිය හැකිද? යැපිය හැකිද? දුක් වේදනා අඩු වේද?
“නැත ස්වාමීනි.”
“ඔබට යම් සැකයක් විපිළිසරයක්
වේද?” – “එසේය.”
“ඔබේ ශීලයේ වරදක් ඇද්ද? – “නැත.”
“එසේ නම් සැකය කුමක්ද?”
“ශීල විශුද්ධිය පිණිස ඔබ වහන්සේ ධර්ම දේශනා කළැයි නොදනිමි.”
“එසේ නම් ඔබ දන්නේ මා කුමක් දේශනා කළ බවද?”
“ස්වාමීනි, රාග විරාගය පිණිස ධර්ම දේශනා කළ බවයි.”
“සාධු සාධු. මා ධර්ම දේශනා කළේ රාග විරාගය පිණිසමයි.” සර්වඥයන් වහන්සේ රාග විරාගය පිණිස කෙටි ධර්ම දේශනාවක් කළහ. කෙළවර ‘පහ වූ රජස් ඇති, පහ වූ මල ඇති, දහම් ඇස පහළ විය’ ඒ නවක රෝගී භික්ෂුව වෙත එළඹියා පමණක් නොව ඒ භික්ෂුවට ඉතාම ගැළපෙන ධර්ම කොටස දේශනා කිරීමද උන්වහන්සේගේ මහා කරුණාව මැනවින් දක්වයි. අප්‍රසිද්ධ නවක තවත් භික්ෂුවක් රෝගී වූ විටද වැඩම කොට ප්‍රශ්න ඇසූහ. ඒ භික්ෂුව “අනුපාදා පරිනිර්වාණය පිණිස දෙසන බව දනිමි” යි කීහ. සර්වඥයන් වහන්සේ ඒ පිළිබඳව කෙටි ධර්ම දේශනයක් කළ විට ඒ භික්ෂුවද රහත් වූහ.
සර්වඥයන් වහන්සේ තවත් රෝගී භික්ෂුවක් කෙරේ මහත් කරුණාවෙන් කටයුතු කළ අයුරු : ඵග්ගුණ හිමියන් බලවත් සේ රෝගීව සිටි හෙයින් ආනන්ද හිමියෝ සර්වඥයන් වහන්සේ වෙත පැමිණ, එහි වඩනා ලෙස අයැදියහ. එය පිළිගත් උන්වහන්සේ සවස වැඩම කර, පැනවූ අසුනෙහි වාඩි වූහ. “ඉවසිය හැකිද, යැපිය හැකිද, දුක් වේදනා සංසිඳේද….” යි විමැසූහ. නැතැයි කී කල්හි දැහැමි කථායෙන් කරුණු දක්වා සමාදන් කරවූහ. උන්වහන්සේ ආපසු වඩිනා හා ම ඵග්ගුණ හිමියෝ කලුරිය කළහ. ඒ හිමියන්ගේ ඉන්ද්‍රිය විශේෂයෙන්ම ප්‍රසන්න විය. ආනන්ද හිමියන් මේ ගැන දැන්වූ කල්හි සර්වඥයන් වහන්සේ “ආනන්ද, කවර හෙයින් ඵග්ගුණගේ ඉන්ද්‍රිය අප්‍රසන්න නොවේද? ධර්ම දේශනාව අසා ඔහුගේ සිත පංච ඕරම්භාගිය සංයෝජනයෙන් විමුක්ත විය.” වදාළහ. නිසි කල්හි ධර්ම ශ්‍රවණය කිරීමේ ආනිශංසද පැවැසූහ.
උන්වහන්සේ ආරාධනා රහිතව ගිලන් භික්ෂුවක වෙත වැඩම කළ අවස්ථාවක්: වෛශාලි පුරයේ මහ වනයේ කූටාගාර ශාලාවෙහි වැඩවසද්දී දවසක ගිලන් හල කරා වැඩම කොට, දුර්වල ගිලන් භික්ෂුවකට කෙටි ධර්ම දේශනයක් කළහ. උන්වහන්සේ ගිහියන් බොහෝ රෝගී වූ ඇතැම් විටක නිවෙස්වලට වැඩම කළහ. වරෙක දීඝාවු උපාසක බලවත් සේ රෝගී වූ විටෙක සිය පියා වූ ජෝතික ගෘහපති උන්වහන්සේ වෙත යවා ගෞරව පූර්වක ඉල්ලීමක් කරවීය. කලන්දක නිවාපයේ වැඩ විසූ උන්වහන්සේ ඒ පිළිගෙන ඒ නිවසට වැඩම කොට ධර්ම දේශනාවක් කර ආපසු වැඩම කළහ. අනාගාමී වූ දීඝාවූ මඳකින් මියගියේය.
මහා කච්චාන රහතන් වහන්සේ අවන්ති රටේ කුරරඝර නුවර අසල පවත්ත නම් පර්වතයේ විසූහ. උපස්ථායක වූ සෝණ කුටිකණ්ණ නම් උපාසක පැවිදි විය. දක්ෂිණාපථයේ භික්ෂූන් හිඟ හෙයින් වර්ෂ තුනකට පසු සෝණ හිමියන් උපසම්පදා කළේ තැනින් තැනින් භික්ෂූන් දසනමක් සොයාගෙනය. සෝණ හිමියන්ට, කිසි විටෙක නුදුටු සර්වඥයන් වහන්සේ දැකීමේ ආශාවක් ඇති විය. කච්චාන රහතන් වහන්සේ නිතර සර්වඥයන් වහන්සේ දකින්නට තමන් වහන්සේටද නොහැකි නිසා ශිෂ්‍යයා අත පණිවුඩයක් යැවූහ. “භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා ඔබේ හිස නමා මගේ වචනයෙන් වඳින්න. ආබාධ රහිත බව, ලහුට්ඨාන කාය බල සැප විහරණ විචාරන්න. ‘මාගේ උපාධ්‍යාය මහාකච්චාන තෙරණුවෝ ඔබ වහන්සේගේ සිරිපා හිස නමා වඳිති,, විචාරති’ කියන්න.”
සර්වඥයන් වහන්සේ වැඩවිසුවේ ශ්‍රාවස්තියේය. සෝණ හිමියෝ ඒ මහා දුර ගෙවා එහි ගියහ. (උන්වහන්සේ වෙනුවෙන් පැවිදි වී භාරතයේ විවිධ දේශවල විසූ භික්ෂූන් වහන්සේ දැකීමට ඉතා දුරු මගක් ගෙවා ගිය අයුරට මෙය නිදසුනකි.) සර්වඥයන් වහන්සේ “මහණ, මේ දුර ආයාසයක් නැතිව ආවෙහිද? ආහාරයෙන් ක්ලාන්ත නොවීද?” අසා, තමන් වහන්සේගේ විහාරයේම සෝණ හිමියන්ට ද සේනාසන පනවන ලෙස ආනන්ද හිමියන්ට කීහ. ඒ මහත් අනුකම්පාවෙන් මෛත්‍රියෙන් කරුණාවෙනි සිතමි. පසුවදා අලුයම උන්වහන්සේ, වටහාගත් දහමක් කියන්නැයි සෝණ හිමියන්ට පැවැසූහ. සෝණ හිමි අට්ඨක වග්ගයේ සියලු සූත්‍ර සජ්ඣායනා කළ විට උන්වහන්සේ සතුටු වූහ.
උන්වහන්සේගේ මෛත්‍රී කරුණා ගුණය ප්‍රකට වන තවත් සිද්ධියක්: නිග්‍රොධාරාමයේ වැඩ විසූ උන්වහන්සේ යම් කරුණක් නිසා භික්ෂූන් බැහැර කර, දෙවන දවසේ පිඬු සිඟා වැඩ, සවස් කල මහ වනයට පිවිසියහ. නාඹුල් බෙලි ගසක් යට රහෝගතව සිටියදී චිත්ත පරිවිතර්කයක් හට ගත්තේය. “මම භික්ෂූන් බැහැර කළෙමි. මෙහි නවක වූ, ශාසනයට ආධුනික භික්ෂූහු වෙති. මා නොදක්නා විට ඔවුන්ට සිත් පෙරළියක් ඇති වෙයි. මව නොදක්නා ළපැටි වසුට හෝ දිය නොලබනා තරුණ බීජයකට මෙන් පෙරළියක් වෙයි. එහෙයින් ආපසු වැඩම කොට බියසුලු භික්ෂූන් තනි තනිව, දෙදෙනා බැගින් එත්වායි සෘද්ධියක් කළහ. එසේ ආ කල්හි භික්ෂු භාවයේ ලාමක බව ගැන දේශනා කළහ. “මව නොදක්නා ළපැටි වසු” යන උපමාව මෛත්‍රී කරුණා ගුණය දක්වයි.
උන්වහන්සේ සෑම විටම භික්ෂූන්ට ප්‍රශංසා කර ධෛර්යවත් කළහ. වරෙක ශ්‍රාවස්ති පුරයේදී එක් භික්ෂුවක් උන්වහන්සේ වෙත එළැඹ, වැඳ “ස්වාමීනි, කවරකු විසින් ලෝකය ගෙන යනු ලැබේද? කවරකුගේ වසයට යේදැ?” යි ඇසීය. “සාධු සාධු භික්ෂුව, ඔබේ ප්‍රඥා ගමන, ප්‍රතිහානය භද්‍රය, පරිපුච්ඡාව කල්‍යාණය. භික්ෂුව, සිත විසින් ලෝකය ගෙන යනු ලැබේ. සිත විසින් අදනා ලැබේ. උපන් චිත්තයාගේ වසයට යයි.” ඉක්බිති ඒ භික්ෂුව ප්‍රශ්න ගණනාවක් ඇසූහ. ඒ හැම වාරයකදීම සර්වඥයන් වහන්සේ “සාධු සාධු” යැයි ප්‍රශංසා කර, ඉහත දැක්වෙන ප්‍රශංසාවද කළහ. (අං. නි. 2 – බහුස්සුත සූත්‍රය) මෙවැනි තවත් අවස්ථා රාශියක් වේ.
සැමට තෙරුවන් සරණයි…🙏
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood