Temples of Sri Lanka

මේ ධර්ම‍ය මහා සාගරයක්..

බුදු දහම දැනගැනීම හෝ ඉගනගැනීම හෝ සම්‍පූර්ණ වන්නේ බුදු දහම තමාගේ සජීව අත්දැකීමක් බවට පරිවර්තනය වූ විටය.

කිසියම්‍ විෂයක් ඉගන ගන්නවා යනු ඒ පිළිබද දැනීම රැස්කර ගැනීමයි. බුදු දහම ඉගන ගන්නවා යනු දැනීම ලබා ගැනීමෙන් තොරව සිද්ධ වන දෙයක් නොවෙයි.

එහෙත් බුදු දහම ඉගනීමේ‍ අරමුණ සම්‍පූර්ණ වූවා යයි කිව හැක්කේ ඒ ඉගනීම නිසා මගේ ජීවිතයේ පරිවර්තනයක් සිදුවුනහොත් පමණි.

බුදු රජාණන් වහන්සේ උගන්වා ඇති ධර්මය මුළුමනින් ම මගේ අත්දැකීමක් ගැන, අත්දැකීම තුළින්ම, මට අත්දැකිය හැකි දේවල්ම උගන්වන ඉගැන්වීමේ‍ ක්‍රමයක් වනුයේ ඒ නිසාය.

භාෂාව, තර්ක විතර්ක ආදිය ඒ සදහා උපයෝගී කර ගන්නා උපකරණයක් පමණි.

දවසක් තුළ ඉගන ගන්නට ලැබෙන්නේ එකම එක සත්‍යක් වුවත්, එය මගෙි අත්දැකීමේ‍ අංගයක් හැටියට ඒකාබද්ධ වන තුරු ඒ ඉගනීම සම්‍පූර්ණ වන්නේ නැත.

අසන්නට ලැබෙන ධර්මය බොහෝය, ඇසූ තරමින් එය ධර්මය නොවේ‍. එය මගේ ජීව්තයේ අඩු ලුහුඩු තැන් පිරවීමට තරම්‍ පරිපූර්ණ තත්වයකට අවබෝධ වන තුරු එය “ඇසූ පිරූ තැන්” සහිත ධර්ම අත්දැකීමක් නොවන්නේය. ධර්මයේ ඇති ඒ සුවිශේෂ ලක්ෂණය වටහා ගැනීමේ‍ අරමුණ ඇතිව ධර්මය අවබෝධ කිරීමට යොමුවිය යුතුය.

“බුදු දහම තමාම තමන් විසින් එක එල්ලේ ලබන අත්දැකීමක තත්වයෙන් අවබෝධ කර ගත යුතුය” යන කියමන වටහා ගන්නේ කොහොමද?

පළමු කොට “මා අත්දකිනවා” කියන කාරණය තේරුම්‍ ගන්නට ඔනෑ.

අත්දැකීම (experience) යන වචනයේ සාමාන්‍ය තේරුම “කිසියම්‍ මොහොතක එක එල්ලේ මගේ හිතට, කයට හෝ වෙනත් ඉන්ද්‍රියකට හසු වන අරමුණක් ඒ මොහොතේම සජීවීව භුක්ති විදීම” යනුයි.

අත්දැකීමක ප්‍රධාන අංග ලක්ෂණ අනුව යම අරමුණක් කෙළින්ම, එක එල්ලේම මගේ හිතට යොමු විය යුතුය.

මා යමෙකුට “කෙළින්ම මට කතා කරන්න” යි කිවහොත් එහි අදහස “වෙනත් අයකුගේ මාර්ගයෙන් නැතිව එක එල්ලේම (direct) මට කතා කරන්න” යන්නයි.

මා දන්නා බොහෝ දේවල් දැනගෙන තිබෙන්නේ පොත් පත්වල සදහන් වී ඇති අනුන්ගේ අදහස්, අත්දැකීම්‍ ආදිය ගැන කියවීමෙනි.

නැති නම්‍ අනුන්ගේ දේශනා වලට ඇහුම්‍කම්‍ දීමෙනි. මේ‍වා කියැවීමෙන් හා ඇහුම්‍කම්‍ දීමෙන් ලබා ගත් දැනුම වුනාට ඒවාට “අත්දැකීම්‍” යයි ව්‍යවහාර කිරීමට නොහැක.

ඒවා මා කලින් දැනගෙන සිටි වචනවල තේරුම හා අලුත් වචන හා සමග සන්සන්දනය කිරීමෙන් බැස ගන්නා තීරණ මිස, මගේම ඉන්ද්‍රිය මාධ්‍යයෙන් ලබා ගත් සාක්ෂි අනුව මා විසින් සනාථ කොට අවබෝධ කර ගත් දේවල් නොවෙයි.

කලින් තීරණය කරගත් පූර්ව විනිශ්වයන්ට අනුව බැසගන්නා නිගමන මගේ පෞද්ගලික අත්දැකීම්‍ හැටියට ගණන් ගන්නට බැහැ.

“බුදු රජාණන් වහන්සේ දේශනා කර තිබෙන ධර්මය මෙය” යැයි කියා පිළිගැනීමත් ”මගේ අත්දැකීමක්” වන්නේ නැහැ.

මෙයින් අදහස් කරන්නේ නැහැ මට අත්දැකිය නොහැකි සියල්ල නොපිළිගත යුතුයි කියා. ලෝකය පිළිබද සෑම සත්‍යක්ම එක පුද්ගලයකුගේ අත්දැකීමක් හැටියට දැනගත් දේවල් නොවේ‍.

අපේ අත්දැකීමෙන් සනාථ වන තුරු, ශාස්තෘන් වහන්සේ කෙරෙහි ඇතිකර ගත් ශ්‍රද්ධාවෙන්, උන්වහන්සේ ගේ දේශනය පිළිගෙන එය මට ඒත්තු යන තුරුම විමර්ශනයට භාජනය කරන්නේ ඒ නිසාය.

ප්‍රත්‍යක්ෂ කරනවා යනු එයයි.

තෙරුවන් සරණයි
🙏
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X