කතු වැකිය – සතිපට්ඨාන අගෝස්තු කලාපය 2025
ආචාරධර්ම යනු, සදාචාරය පිළිබඳ දාර්ශනික අධ්‍යයනයයි. සදාචාරය හා ආචාරධර්ම යන යෙදුම් සිරිත් විරිත් සමඟ ද සබැදේ. බුදුරජාණන් වහන්සේ ඉතා නම්‍යශිලි ආගමිකරණයක් සහ තාර්කික පුද සිරිත් පිළිබඳ දේශනා කළහ. උන්වහන්සේ පිරිසුදු ජීවිතයක් සහ චින්තනයක් තුළින් උසස්ම යහපත සහ විමුක්තිය ලබා ගැනීමට මඟ පෙන්වන මාධ්‍යයක් ප්‍රවර්ධනය කළ සේක. එසේම බෞද්ධ ආචාරධර්ම කිසිසෙත් ම අනුගාමිකයන්ගෙන් අන්ධ විශ්වාසයක් හෝ භක්තියක් ඉල්ලා නොසිටියි. එසේම බෞද්ධ ආචාරධර්ම පිළිබඳ න්‍යායන් ශික්ෂාපද තුළ ප්‍රායෝගිකව ප්‍රකාශ වෙයි. භූ දේශපාලන විෂමතා නොසලකා හරින විට ආචාරධර්ම යනු, සියලු මනුෂ්‍යයන්ට යහපත සලසාු, සියලු මනුෂ්‍යයන්ගේ ආරක්ෂාව තහවුරු කරන ක්‍රියා පද්ධතියකි. එහෙත් නූතන ලෝකය තුළ විද්‍යාවේ දියුණුවත්, තාක්ෂණයේ ප්රවර්ධනයත් සමඟ ඇති වී තිබෙන භෞතිකවාදී දැක්ම තුළ මනුෂ්‍යයා කෙතරම් ආරක්ෂිත ද යන්න පිළිබඳ සිතිය යුතුය.
නුතන විද්‍යාවේ ප්‍රතිඵල සඳහා පවත්වාගෙන යන යුක්තිසහගත ලෙස සැලකෙන ප්රමිතීන් සහ ඒ හා සබැඳුණු භෞතිකවාදී දැක්ම මිනිසාගේ සාමකාමී ජීවිතය කෙරෙහි ඇති ප්රබලතම බලපෑම වේ. සැකෙවින් ගත් කල විද්‍යාත්මක යුක්ති සහගතභාවය විශාල භෞතික ප්‍රගතියක් ඇති කර ඇති නමුත් මිනිසා වඩා තෘප්තිමත් ජීවිත ගත කරන බවටත්, ඔවුනට සුරක්ෂිතභාවයත් දැනෙන බවටත් තම සගයන් විසින් අසාධාරණ ලෙස හානි නොකරනු ඇති බවටත් තහවුරු කළ නොහැකිය.
සන්නද්ධ ගැටුම්, ත්‍රස්තවාදී ක්‍රියා, මානව හිමිකම් උල්ලංඝනය වීම් සහ ජාතිවාදී, වර්ගවාදී, සපරාධි ක්‍රියා තුළින් නිරපරාධ මිනිසුන්ට එරෙහිව ඇති ප්රචණ්ඩත්වය යනු, සදාචාර අපරාධයකි. ඒ තුළින් හටගෙන ඇති දරිද්‍රතාව සහ දුගී බව ද අසාමාන්‍ය නොවේ.
බුදුදහමේ සදාචාර ඉගැන්වීමට අනුව අකුසල මානසික මූලයන් වන ලෝභය, ද්වේශය, මෝහය උදුරා දැමිමෙන් සදාචාරාත්මක පරිපුර්ණත්වය ළගා කර ගත හැකි ය. යමක් සදාචාරාතත්මකව නිවැරැදි හා වැරැදි බවත් හොඳ හෝ නරක බවත් වෙන්කොට හඳුනා ගැනීමට මිනිසාට ඇති වලංගුතාවය බුදුදහම පිළිගනියි. සදාචාරාත්මකව ජීවත් වීමේදී එයට තමා මෙන්ම, අන් අයටත් දුක් පීඩා ඇති නොකිරීම, අන් අයගේ දුක් පීඩා සැහැල්ලු කිරීම ද ඇතුළත් වෙයි. බුදු දහමේ පදනම අනුව සදාචාරාත්මක තීරණ ගැනීම සඳහා වලංගු පදනමක් සොයාගත යුත්තේ කිසියම් පාරභෞතික යථාර්ථයකට අනුව නොවන අතර, එය මිනිස් අත්දැකීම්වලට අනුව සිදුවිය යුත්තකි. නුතන සමාජීය ගැටලු දෙස බුදු දහමේ දෘෂ්ඨිකෝණයෙන් බැලු කල එම සියලු ගැටලුවලට මුලික පදනම වී ඇත්තේ විද්‍යාව සහ තාක්ෂණය සදාචාරාත්මක ප්‍රඥාවෙන් වෙන්වීම ය. පවතින සෑම සමාජ අන්තර් ක්‍රියාවක් ම බැඳි හුය වන්නේ ලෝභ, ද්වේශ හෝ මෝහය වේ. එමඟින් ප්රචණ්ඩත්වය, මානව හිමිකම් උල්ලංඝනය වීම් සහ දරිද්‍රතාව නිර්මාණය කොට ඇත.
බුදුදහමේ ඉගැන්වෙන ශික්ෂාපද යමෙකු විමුක්තිය කරා යන ගමනේ දී යා යුතු දිශාව පෙන්වීමට ඇති පොදු මාර්ගෝපදේශයකි. ඒවා සෘණාත්මක ස්වරූපයෙන් ප්‍රකාශ වී තිබුණ ද, ඒ තුළින් නපුරෙන් වැලකී සිටීම පමණක් අපේක්ෂා නොකරන අතර, යහපත උදා කිරීමේ අනුපූරකයක් ද ඊට අන්තර්ගතය. අකාලික වු මේ මඟ පෙන්වීම තුළ බුදුරජාණන් වහන්සේගේ චින්තනය මෙන්ම ඉගැන්වීම් අදටත් යුගයේ අවශ්‍යතාවක් බව නොපැකිලව ප්‍රකාශ කළ යුතුය.
© සතිපට්ඨාන සඟරාව