Temples of Sri Lanka

අසිරිමත්ය, ඒ බුදු සමිඳාණෝ…

අපේ මේ ලැබූ මිනිස් ජීවිතය අර්ථවත් කර දීම පිණිස මේ ලෝකයට පහළ වුණු මුනිඳාණන් තමයි සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ ගැන මේ මොහොතේ ඔබ සුළු මොහොතක් කල්පනා කරනව නම්, ඒ මොහොත ඔබේ හිතේ පැන නගින බුද්ධානුස්සති භාවනාවයි.

බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරන හැම මොහොතකම සිත පිරිසිදු වෙනවා. හිත තැන්පත් වෙනවා. ඒ බුද්ධ ගතාසතිය තමන්ගේ සිතේ තැන්පත් වෙන කොට, තමන් නොදැනීම අලූත් ජීවිතයක් කරා පිය නගනවා.

බුදුරජාණන් වහන්සේට තිබුණ නිකෙලෙස් හදවතක්. උන්වහන්සේගේ මනස සදා පිවිතුරු භාවයට පත්වෙලා තිබුණා. බුදුරජාණන් වහන්සේ මොනම හේතුවක් නිසාවත් කෝප වුණේ නෑ. මොනම හේතුවක් නිසාවත් දරුණු වුණේ නෑ. මේ බාහිර ලෝකයේ මායාවට බුදුරජාණන් වහන්සේ වසඟ වුණේ නෑ. මේ නිසා උන්වහන්සේට කියනවා රහතන් වහන්සේ කියල.

අරහං කියල. ඒ බුදුගුණයෙන් යුක්ත බුදුරජාණන් වහන්සේව සිහිකරන්න පුළුවන් නම්, ඔබේ සන්තානය පිරිසිදු වෙනවා. බුදුරජාණන් වහන්සේ රහසින් වත් පව් නොකළ සේක. සියලූ කෙලෙසුන්ගෙන් නිදහස් වුන සේක. සියලූ දුක් දොම්නස් වලින් නිදහස් වුන සේක. ගුරු උපදේශ නැතිව චතුරාර්ය සත්‍යය අවබෝධ කළ සේක. සමස්ත ලෝක ධාතුව ගැනත්, සමස්ත සත්ව වර්ගයා ගැනත්, මේ ජීවිත ගැනත් පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කළ සේක. සියලූ දෙවියන්ටද මිනිසුන්ටද යහපත් මාර්ගය පෙන්වා දීමෙන්, පරිපූර්ණ වූත්, දක්ෂ වූත් ආචාර්යවරයා වන සේක. මේ විදිහට ඔබට බුදුරජාණන් වහන්සේ ගැන සිහිකරන්න පුළුවන් නම්, ඒ සෑම මොහොතකම ඔබ සිහි කරන්නෙ මේ ලෝකයේ පහළ වෙච්ච, මේ මානව ඉතිහාසයේ පහළ වෙච්ච ස්වර්ණමය යුගය සනිටුහන් කළ උතුම් මුනි රජාණන් වහන්සේ ගැනයි.

ධර්මය තුළින් බුදු සමිඳානන් දැකගන්න…

ඉතින් එබඳු බුදුරජාණන් වහන්සේ ගැන ඔබ මේ වෙලාවේ සිතන්න පටන් ගන්නවා නම්, මේ මොහොතේ සිට ඔබේ සිත පිරිසිදු වෙන්න පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට මුණගැහෙන්නේ කළාතුරකින්. බුදුරජාණන් වහන්සේ නමක් අඳුනගන්න පුළුවන් වෙන්නෙ බුද්ධිය දියුණු කරන්න පුළුවන් කෙනෙකුට විතරයි. ඉතින් ඔබ යම් හෙයකින් බුදුරජාණන් වහන්සේව මුණගැහෙනවා නම්, ඔබට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ‍්‍රවණය කරල, බුද්ධිය දියුණු කරල, ඒ ශ‍්‍රවණය කරපු ධර්මය තුළින්මයි. එවිට බුදුරජාණන් වහන්සේව ඔබේ ජීවිතය තුළින් දැකගන්නට පුළුවන් වෙනවා.

ඒ බුදුරජාණන් වහන්සේගේ නිකෙලෙස් ගුණය, පරිපූර්ණ ප‍්‍රඥාව, මහා කරුණාව, පිවිතුරු සමාධිය, ධෛර්ය සම්පන්න වීර චරිතාපදානය, මේ සෑම දෙයක්ම ඔබේ ලෝකය ආලෝකමත් කරන්න උපකාර වෙනවා.

ඒ නිසා බුදුරජාණන් වහන්සේ ගැන සිතීමේදී ඔබට බොහොමත්ම ලේසියි අරහං, සම්මා සම්බුද්ධ, විජ්ජාචරණ සම්පන්න, සුගත, ලෝකවිදූ, අනුත්තරෝ පුරිසදම්ම සාරථී, සත්ථා දේවමනුස්සානං, බුද්ධ, භගවා කියන සියලු බුදු ගුණ ඔබ සිහි කරන්න. ඔබේ ජීවිතය තුළ නිතර මනසිකාරයේ යෙදෙන්න. මේක සුලූ පටු දෙයක් නෙවෙයි.

මිනිස් ජීවිතය කියන්නෙ ගලාගෙන යන දොලපාරක් වගේ. සිඳීගෙන යන දොල පාරක් වගේ. මේ මිනිස් ජීවිතය අහිමි වෙන්න ඉස්සර වෙලා මිනිසත් බවත් එක්කම ඔබ ලැබූ බුද්ධිමත් භාවය ඔබට දියුණු කරගන්න පුළුවන් දුර්ලභ වාසනාවක් මේ බුද්ධානුස්සති භාවනාව තුළින් ඔබට ඇති කරගන්න පුළුවන්.

තෙරුවන් සරණයි🙏

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X