Temples of Sri Lanka

දලයි ලාමා ප්‍රණාම 2022 වෙනුවෙන් ද්විභාෂිත අන්තර්ජාතික බෞද්ධ සම්මන්ත්‍රණයක් බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ දී

කරුණාවේ විශ්වීය මුද්‍රාව ලෙසින් සලකන ටිබෙටයේ ශුද්ධෝත්තම දලයි ලාමා නායක හිමිපාණන් වහන්සේගේ 87 වැනි ජන්ම දිනය නිමිති කොටගෙන ලොව පුරා වෙසෙන උන්වහන්සේ අනුගාමිකයන් සහ උන්වහන්සේගේ මිත්‍ර සමාජයේ ලෝක නායකයන් ද බොහෝ ආගමික සහ සැමරුම් උත්සව ඊයේ දින (ජුලි 06) පැවැත්වූ අතර, ශ්‍රී ලංකාවේ බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයත්, ටිබෙට් – ශ්‍රී ලංකා බෞද්ධ සහෝදරත්ව පදනමත් එක්ව උන්වහන්සේගේ ජන්ම දිනය වෙනුවෙන් ‘දලයි ලාමා ප්‍රණාම 2022’ උදෙසා ද්විභාෂිත අන්තර්ජාතික බෞද්ධ සම්මන්ත්‍රණයක් පැවැත්වීය.

 

බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ පැවැත්වුණු මෙම සම්මන්ත්‍රණය වෙනුවෙන් මුලසුන හෙබවූවේ ශ්‍රී ලංකා අමරපුර නිකායේ උත්තරීතර මහනායක ධූරීන, වංගීසවංශාලංකාර විපස්සනා කම්මට්ඨානාචාර්ය, මහා මහෝපාධ්‍යාය අග්ගමහා පණ්ඩිත අතිගෞරවාර්හ දොඩම්පහළ චන්දසිරි නායක හිමිපාණන් විසිනි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ත්‍රෛනිකායික මහා සංඝරත්නය නියෝජනය කරමින් මල්වතු, අස්ගිරි දෙපාර්ශවයේ මහනායක සහ අනුනායක හිමිවරුන් සේම අමරපුර, රාමඤ්ඤ නිකායන්හි මහනායක අනුනායක හිමිවරුන් ද දලයි ලාමා හිමියන්ට උපන්දින සුභාශිංසන පණිවුඩ නිකුත් කොට තිබීම සුවිශේෂී වේ. බෞද්ධ සම්මන්ත්‍රණයට පෙරාතුව අමරපුර මහා සංඝ සභාවේ ලේඛකාධිකාරී, රුසියාවේ ප්‍රධාන සංඝනායක මහාචාර්ය පල්ලෙකන්දේ රතනසාර හිමියන්ගේ අනුශාසනාවක් සහ අමරපුර ශ්‍රී සම්බුද්ධ ශාසනෝදය සංඝ සභාවේ මහනායක, වස්කඩුවේ රාජගුරු ශ්‍රී සුභූති විහාරාධිපති ආචාර්ය වස්කඩුවේ මහින්දවංශ නාහිමියන් ද සමරු දේශනයක් ද පැවැත්වුණි.

 

අනතුරුව ඇරඹුණු ද්විභාෂිත අන්තර්ජාතික බෞද්ධ සම්මන්ත්‍රණයේ දී ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන්ගේ ලෝක සාමය වෙනුවෙන් වූ සිව් වැදෑරුම් ප්‍රයාණය, නොබෙල් සාම ත්‍යාගලාභී දලයි ලාමා හිමියන්ගේ ගැටුම් නිරාකරණය පිළිබඳ ශූර සංවාදශීලීත්වය, විශ්වීය ආචාර්ය ධර්ම ඔස්සේ අනාගත නායකත්වය පෝෂණය කිරීම වෙනුවෙන් දලයි ලාමා හිමියන්ගේ දැක්ම සහ නවීන විද්‍යාව හා බෞද්ධ දර්ශනය සංකලනගත කළ දලයි ලාමා හිමියන්ගේ දූරදර්ශී අනුශාසනා යන කාලීනව වැදගත් මාතෘකා රැසක් සාකච්ඡා කෙරුණු අතර ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ භාෂා අධ්‍යන පීඨයේ පීඨාධිපති, මහාචාර්ය ලෙනගල සිරිනිවාස හිමියන්, අතිගෞරවාර්හ මහාචාර්ය මිරිස්වත්තේ විමලඥාණ හිමියන්, අතිගෞරවාර්හ මහාචාර්ය මොරගොල්ලාගම උපරතන හිමියන් මෙන්ම ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර යන ගිවි පැවිදි විද්වත් මඩුල්ලක් එක්වූහ. දෙස් විදෙස් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සියයකට ආසන්න ප්‍රමාණයක් සජීවීව මෙම සම්මන්ත්‍රණය වෙනුවෙන් සම්බන්ධ වූ අතර, සජීවි විකාශයක් ඔස්සේ ද එය දෙස් විදෙස් මාධ්‍ය ගණනාවක් වෙනුවෙන් ආවරණය විය. මෙවැනි අර්බුධකාරී වාතාවරණයක වුවද සිය ජන්ම දිනය සමරමින් දක්වන ආධ්‍යාත්මික සහෝදරත්වය සහ කෘතඥතාව උදෙසා සිය ගෞරවාදරය දක්වමින් ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන් ද ශ්‍රී ලංකාව වෙනුවෙන් ඊයේ දින පණිවුඩයක් නිකුත් කොට තිබූ අතර එය ද මෙහිදී බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ බෞද්ධ සංස්කෘතිය අධ්‍යන අංශයේ මහාචාර්ය අලුත්ගම විමලරත්න හිමියන් විසින් ප්‍රකාශයට පත්කරනු ලැබීය. ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන් වැනි තුන්කාලීන වටිනාකමකින් යුතු සුසමාදර්ශී චරිතයක් පිළිබඳ තව තවත් අධ්‍යනය කරමින් ගවේෂණය කිරීම වඩාත් කාලෝචිත බව මෙහිදී පැමිණි ගිවි පැවිදි දෙපක්ෂයේම ඒකමතික අදහස විය.

 

You might also like
en English
X
X