දේශපාලනික, ආගමික, සංස්කෘතිකමය මෙන්ම තවත් නේකවිධ හේතු සාධක නිසාවෙන් ශ්‍රී ලංකාවට, ඉන්දියාව සමග ඇත්තේ ඓතිහාසික වූ ශක්තිමත් ලේ බැඳීමකි. එය මෙරට විජයාවතරණයටත් පෙර අප්‍රකට ඉතිහාස යුග දක්වාම දිවෙන ඥාතිවර සබැඳියාවකි.
ප්‍රාග් බෞද්ධ යුගයේ පවා මෙරට සහ භාරතය අතර දියුණු වෙළෙඳාම් ක්‍රමවේදයන් පැවැතුණ බවට සාක්ෂි ඇතත්, මුල්වරට පිළිගත හැකි සාක්ෂි සාධක හමුවේ ශ්‍රී ලංකාවේ සුපැහැදිලි භාරත සම්බන්ධතාවක් පිළිබඳ කියැවෙන්නේ ගෞතම බුදු හිමියන්ගේ පළමුවන ලංකාගමනයත් සමගින් ය. මහියංගණයේ යක්ෂ ගෝත්‍රික පිරිස් වෙනුවෙන් දහම් දෙසීමට පළමුවර වැඩමවා වදාළ බුදු හිමියන්, දෙවැනි වර චූලෝදර මහෝදර නා සොයුරන්ගේ ආරවුල විසඳීම සඳහා නාගදීපය හෙවත් එකල නඛදිව වෙත ද වැඩම කළ බව වංශකතා සාහිත්‍ය සාක්ෂි දරයි. තෙවන ලංකාගමනය මුල්වරට බුදු හිමියන් හට සිදුකෙරෙන ඇරයුමක් මත වැඩමවන අවස්ථාව වන අතර මණිඅක්ඛිත නා රාජුගේ ඇරයුමෙන් තෙවන වරට භාරතයෙන් මෙරටට වැඩමවන බුදු හිමියන් එම අවස්ථාවේ කැලණිය, ශ්‍රී පාදස්ථානය පමුඛ ස්ථානය රැසකට මෙරටදී වැඩම කළ බව ද වංශකතාවන්හි මෙන්ම බෞද්ධ සාහිත්‍යයේ ද සඳහන් වේ. සම්බුද්ධ පිරිනිවනට ද පෙරාතුව ද උන්වහන්සේ, ලක්දිවට සේන්දු වෙමින් සිටි විජය කුමරුන් ඇතුළු පිරිසට සක් දෙවිඳුන් හරහා ආශිර්වාද පැතූ බව ද මුලාශ්‍රගත ඉතිහාසයේ සඳහන් වන අතර එම යුගයේ ධර්මද්වීපය ලෙස හැඳින්වීමට තරම් මෙරට ශිෂ්ට සම්පන්න සභ්‍යත්වයට බුදු දහමේ මුල් ආභාෂ ලැබී ඇත. එනිසා විජයාවතරණයටත් පෙර සිටම භාරතය සහ මෙරට අතර පවත්වා ශක්තිමත් බන්ධනය එකලදීම බුදු දහමෙන් ද පෝෂණය ලබා ඇත.
කෙසේ නමුදු භාරතය සහ ලක්දිව අතර ප්‍රකටම සබැඳියාව මෙන්ම මුල්වරට භාරතයෙන් අප ලද වටිනාම දායාදය ද සනිටුහන් කෙරෙනුයේ දෙවන පෑතිස් රජ දවසේ දී ය. භාරතයේ අභිනන්දනීය චක්‍රවර්තී අධිරාජයා වූ අශෝක රජු සමගින් පෑනේ මිතුරු බැඳීමක් පවත්වාගෙන යෑමට තරම් ලක්දිව රජු වූ තිස්ස රජු සමතෙක් වී ඇති අතරම, එම මිත්‍රත්වයේ සංකේතයක් ලෙස එරට අබිසෙස් ක්‍රමවේදයෙන්ම පංචමයක් වූ රාජ කකුධ භාණ්ඩයන් ද සමග තිස්ස රජු, ‘දෙවනප්‍රිය’ යන අශෝක රජුගේ ගෞරව නාමයක් ද සහිතව විධිමත් දෙවන අභිෂේකය ලද බව මහාවංශයේ පවා සඳහන් ය. එවැනි ප්‍රබල මිතුදමක ආශිර්වාදයෙන් අශෝක අධිරාජයා තම පුත්‍ර රත්නය වූ මහා මහින්ද තෙරුන් වහන්සේම ධූත මෙහෙවරෙහි ලංකාව වෙනුවෙන් වරණය කරන අතරම එනිසාම මහින්දාගමනයත් සමග ශ්‍රී ලංකාව එදාමෙදාතුර ඉන්දියාවෙන් ලද විසල්ම මෙන්ම තුන්කාලීනව වටිනාම ත්‍යාගයද දිනුවේය. එනම් නිර්මල වූ බුදු දහම ය.
එතැන් පටන් අනුබුදු මිහිඳු හිමියන් බුදු දහමෙන් මෙරට ශිෂ්ටාචාරගත සභ්‍යත්වය පෝෂණය කළ අතරම සිය නැගණිය වූ, එනම් අශෝක අධිරාජයාගේ දෙටු දියණිය වූ සඝමිත් තෙරණින් වහන්සේ ද ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛා වහන්සේ නමක් සමග මෙරටට වැඩමවා මෙරට ආරාම කලාව, සිද්ධස්ථාන පිහිටුවීම මෙන්ම ශාසනික ප්‍රතිස්ථාපනය ද සනිටුහන් කළ සේක. එමෙන්ම දුමින්දාගමනය සමග මෙරට බොහෝමයක් වෘත්තීය වපසරීන් පෝෂණය ලද සූ සැටක් ශිල්ප ශ්‍රේණීන් ද භාරතයෙන් මෙරටට තිළිණ වූ අතර අදටත් අපට මාහැඟි නිර්මාණ බීජයන් වන කලා සම්ප්‍රදායන් මෙන්ම සාහිත්‍ය ආඛ්‍යානයන් ද මේ හරහා භාරතයෙන් අප ලද දායාදයන් ය.
විවිධ යුධමය වාතාවරණයන් සමගින් බොහෝ විට දක්ෂිත භාරතයේ නියෝජනයන් මෙරට කිහිපවරක්ම ආක්‍රමණය කළ ද ශිෂ්ටාචාරගත ඉන්දියාව, එනම් උත්තර භාරතය සමග එකල පටන්ම ලක්දිව රාජ්‍යත්වය බොහෝ ශ්‍රේෂ්ඨ ගණුදෙණු පවත්වාගෙන ගියේය. කිත්සිරි මෙවන් රජ දවස ලාංකිකයන්ට මෙරට රාජ්‍යත්වයේ සංකේතය වූ අවතංස ශ්‍රී දළඳාවහන්සේ හිමි වන්නේ ද දෙරට අතර පැවැති පාරිශුද්ධ වූ අන්‍යෝන්‍ය සුහදත්වයේ නාමයෙන් ම ය.
විජය කුමරුන්ගේ සිට පසුකාලීන පණ්ඩුවාසදේව, භද්දකච්චායනා රාජ්‍ය ධාතූන් පවා භාරතයෙන් මෙරටට සංක්‍රමණික ප්‍රවිශ්ටයක් ලබන කළ අනුරාධපුර යුගයේ පමණක් නොව පොළොන්නරු යුවයේ සිට මහනුවර, කෝට්ටේ වැනි අවදීන් දක්වාම භාරතය සමග මෙරට රාජ්‍යත්වය ආවාහ විවාහ සබඳකම් පැවැත්වූ බවට ද සාහිත්‍යත්මක මෙන්ම පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර පවා සාක්ෂි දරන්නේය.
ගෘහ නිර්මාණවේදය, යුධ තාක්ෂණය, චිත්‍ර සහ මූර්ති වැනි කලා මාධ්‍යයන්, වාස්තුවේදය, ජෝතිෂ්‍යය, ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම, වෙළෙඳ අධිකාරි බල පවත්වාගැනීම මෙන්ම පසුකාලීනව කෘෂිකර්මය සහ වාරි තාක්ෂණය සඳහා පවා ශ්‍රී ලංකාව, සහෝදරය භාරතයෙන් යම් යම් පුනරුද ආභාෂයන් ලබා ඇති බව පැහැදිලි ය. විශේෂයෙන් ප්‍රතිමා, කැටයම්, චිත්‍ර සහ මූර්ති වැනි නිර්මාණ කලාව ගත් කළ ගුප්ත, අමරාවතී සහ පල්ලව යන භාරත කලා ගුරුකුලයන්හි නියත ආභාෂයක් ලද බව මෙරට අව්කන පිළිමය, පොළොන්නරු රාජධානී අවශේෂ, ඉසුරුමුණි විහාරය සහ රන්මසු උයන වැනි කැපීපෙනෙන නිර්මාණ නෂ්ටාවශේෂ ඔස්සේ සනාථ වන්නේය.
මේසා විශාලා කාලයක් මුළුල්ලේ ඓතිහාසික ලෙසින් සවිමත් වූ ඉන්දු – ලංකා සහෝදරත්වය යටත් විජිත පරිචයේ දී පවා ලංකාව හා තදින් බැඳී සිටි ආසියානු රාජ්‍යයක් වීය. දේශීය නිදහස් ව්‍යාපාරයට මෙන්ම අධ්‍යාපනික, ශාස්ත්‍රීය සහ දේශපාලනිකව මෙරට හටගත් නවෝදය විෂයෙහි ද බොහෝමයක් ශ්‍රී ලාංකේය ප්‍රාමාණික වියත්හු ඉන්දියානු සහය සමග ශක්තිමත් වූහ.
අවිහිංසාවේ පීතෘවර මහත්මා ගාන්ධිතුමන්ගේ සිට නව භාරත පාලන තන්ත්‍රයේ කැපීපෙනෙන පාලකයන් රැසක්ම මෙරට සමග සම්මුතිගතව, එමෙන්ම විවිධ වූ එකඟතාවන් සහ ගිවිසුම්ප්‍රකාරව අනේකවිධ වූ බාධක අවස්ථාවන්හි මෙරට පාර්ශවයේ සිට ගත්හ. අත්‍යුදාර ජාතික නායකයෙකු වූ ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය ශ්‍රී රජිව් ගාන්ධි මැතිතුමා විසින් 1987 අග භාගයේදී ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය සම්බන්ධයෙන් ඉන්දු ගිවිසුම ඇති කිරීම නිසා 1919 මැයි 21 වන දින එතුමා කෲර ලෙස ඝාතනය කරනු ලැබීය. 1987 දී ශ්‍රී ලංකාවේ ‘ඉන්දු – ලංකා සාම ගිවිසුම’ ස්ථාපනය වීම මගින් අප රට තුළ කේන්ද්‍රීය භූමිකාවක් ඉටු කිරීමට හේතු භාරතයෙන් ලද පන්නරය හේතු වූ බව පෙනේ. එමෙන්ම පළාත් සභා කටයුතු මෙහෙයවීම පවා නිර්මාණය වූයේ මෙමගින් බව අතීතය දෙස හැරී බැලීමේ දී පැහැදිලි ය.
තවද ඉන්දියානු සාම සාධක හමුදාව ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ දී රුපියල් බිලියන විසිපහක පමණ මුදලක් ද ඉන්දියානු ආණ්ඩුව විසින් කැපකරමින්, වටිනා හමුදා ජීවිත දහස් ගණනක් ද අහිමි කර ගත් අනුවේදනීය පරිත්‍යාගය අදටත් අපට ප්‍රත්‍යවේක්ෂා කළ හැකිය. වර්තමානයේ පවා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට යාබධ “අපේගම” සංස්කෘතික කේන්ද්‍ර පරිශ්‍ර පිවිසුම පසුකරමින් යනෙන විට භාරත සෙබළුන් වෙනුවෙන් ඉදිකෙරුණු ස්මාරකය දැකීමෙන් පවා අපේ සිතේ උපදිනුයේ ඒ අනුවේදනීය අතීතයේ රුදුරු මතක සටහන් ය. අපගේ මාතෘ භූමියේ ස්වාධිපත්‍ය හා නිදහස වෙනුවෙන් දිවිපිදූ භාරත වීරෝදාර සෙබලුන් අනුස්මරණය වෙනුවෙන් ඉදිකළ එම ස්මාරකයන් ද සදාකල් ජීවමානව පවතිමින් දෙරට අතර වූ රුධිරගත බැඳීමක යටගියාව පසක් කරදෙන්නේය.
1974 වසරේ ජූනි මාසය වන තෙක් ම ඉන්දියාව සතුව තිබූ “කච්චතිවු දූපත” ශ්‍රී ලංකාව වෙත නැවත නෛතිකවම පවරාදෙන ලද්දේ ද තමිල්නාඩු ප්‍රාන්තයෙන් පැනනැගි තද බල විරෝධය පවා නොසලකා හරිමිනි.
ශ්‍රී ලංකාවේ යුද හමුදාව සහ එල්.ටී.ටී.ඊ. සංවිධානය අතර පැවැති සිවිල් යුධ තත්ත්වය අවසන් වූ දා සිටම ඉන්දියාවෙන් ලත් මූල්‍යමය සහය ඇමරිකානු ඩොලර් මිලියන විසිපහක පමණ දළ අගයක් ගන්නා අතරම යුද්ධයෙන් අවතැන් වූ ජනතාව නැවත පදිංචි කරවීම, ත්‍රස්ත චූදිතයන් පුනරුත්ථාපනය කිරීම, කැඩී බිඳීගිය ස්ථානය නැවත ඉදිකිරීම සහ ප්‍රතිසංස්කරණය, පරිහරණය කළ නොහැකි තත්ත්වයේ වූ මහා මාර්ග හා දුම්රිය මාර්ග අළුත්වැඩියාව, නව යටිතල පහසුකම් සහ නිවාස පහසුකම් සැපයීම, ජීවනාධාර ප්‍රදානය යනාදීන් සඳහා මෙලෙසින් භාරතය, ලක්දිවට අනුපමේය සහයෝගයක් ලබා දී ඇත.
ශාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල වූ මිලේච්ඡ තස්ත්‍ර ප්‍රහාරයෙන් විපතට පත් ජනතාවගේ සුවදුක් විමසීම සඳහා ද 2019 වසරේ ජූනි දෙවන දින ශ්‍රී ලංකාවට සපැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිඳුන්ගේගේ පළමු විදෙස් සංචාරයම එලෙසින් මෙරටට අත්කර දුන්නේ සුවිශේෂීතාවකි. ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ආරක්ෂක තත්ත්වය පිළිබඳව පවා මෙයින් ජගත් ඉඟි සැලවූවා පමණක් නොව එය තත්කාලීනව මෙරට සංචාරක ක්ෂේත්‍රය වෙනුවෙන් පවා ධනාත්මකව බලපෑවේ බව නොකියා බැරිය.
2015 වර්ෂයේ මාර්තු 13 වන දින අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර ශ්‍රී මෝදිගේ, ලංකා සංචාරයේදී එතුමන් මෙරට උත්තරීතර පාර්ලිමේන්තුව ද ආමන්ත්‍රණය කළ අතර අවතැන් වූ ජනතාව වෙනුවෙන් ඉදිකළ නිවාස සංකීර්ණයක් සංකේතාත්මකව ජනතා අයිතියට පැවරීම ද එවකට සංචරණයේ සුවිශේෂි අවස්ථාවක් සේ සැලකිය හැකිය. ඔහු යළිත් වරක් 2017 වර්ෂයේ දී මැයි මස ලංකාවට පැමිණියේ කොළඹ කේන්ද්‍ර කොටගෙන පැවැති ජාත්‍යන්තර වෙසක් දින සැමරුම වෙනුවෙන් ප්‍රධාන ආරාධිතයා ලෙසිනි. එම අවස්ථාවන්හීදී දේශපාලනික, සංස්කෘතිකමය සහ ආර්ථික වශයෙන් මෙන්ම ආධ්‍යාත්මික වශයෙන් ද ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති ශක්තිමත් වූ ඉතිහාසගත සබැඳියාවන් පිළිබඳ මතකය ද එතුමන් නිරන්තරයෙන් සිහිපත් කිරීමට අමතක නොකළේය.
වර්තමානයේ වුවද අප දැයක් ලෙස මුහුණුදෙමින් සිටින කොරෝනා වෛරසයෙන් පීඩිත පරිචයේ දී පවා මුල්ම වරට ලාංකිකයන් වෙනුවෙන් එන්නත් මාත්‍රා තොගයක් පරිත්‍යාග කෙරුණේ ද සහෝදර භාරත දේශයෙන්ම ය. වසර එකකුත් අඩක් ඉක්මවන මෙම කොරෝනා සමයේ දී වුවද සෞඛ්‍යමය වශයෙන් දෙරට අතර පවත්වා සුහදතාව දෙරටටම මහත් ශක්තියකි. භාරතය නුතන විශාලා මහනුවරක ස්වරූපය ගෙන දෛනිකව දහස් සංඛ්‍යාත රටවැසියන් මියෙමින් දැවෙන දිනයන්හිදී මෙරට පුරා විහාරස්ථානයන් තුළ භාරතීය දැයේ නිරෝගී බව පතා රතන සූත්‍ර දේශනාවන් පැවැත්වුණි. එමෙන්ම අද්‍යතනයේ අප එවැනිම අවස්ථාවක් දර්ශනය වෙමින් සිටින විටෙකදී පවා අන් සියලු රාජ්‍යයන්ට මත්තෙන් අපට එන්නත්කරණයෙන් මෙන්ම අනෙකුත් පහසුකම්වලින් වුවද හෘදයාංගම ලෙස උපකාරී වන්නේ සහෘද ඉන්දියානු රජයයි.
එනිසා මෙලෙසින් දෙරට අතර පවත්නා සහෝදරත්වයේ බන්ධනය අදින් මතු තවත් සියවස් ගණනාවක් ගතවුණ ද තව තවත් තීව්‍ර වනු විනා අංශුමාත්‍රයකුදු පළඳුවීමක් නොවිය යුතු යැයි ලාංකිකයන් ලෙස අප දැඩිව විශ්වාස කරන අතරම අදට යෙදෙන භාරතීය නිදහස් දිනය වෙනුවෙන් පවා මෙලෙසින් සහෝදරත්වයේ සෙනෙහස ද කැටිකරගත් සුබ පැතුම් සමගින් නව කොරෝනා වෛරසයෙන් පීඩා විඳිමින් යථා තත්ත්වයට පත්වීමට සියලු උත්සාහ දරමින් සිටින භාරතීය දේශය වෙනුවෙන් සුව ප්‍රාර්ථනා ගෙන එමි.
භාරතයට සුවෙන් සපිරි ජයග්‍රාහි අනාගතයක්ම උදාවේවා !
© Satipatthana Buddhist Magazine