Temples of Sri Lanka

තිසරණ සමාදානයේ වටිනාකම

සරණ ගමනීය හිමි අනෝමදස්සී බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි නිසඟ තෙරුන්ගෙන් තිසරණ සමාදන් වූහ. හිත පහදාගෙන තැන්පත් සිතින් තිසරණ ගත් පිනෙන් අසූ වාරයක් සක් දෙවිඳුව උපන්නේය. හැත්තෑ පස් වාරයක් සක්විති රජකම ලැබුණේය. මේ බුදු සසුනේ දී හත් අවුරුදු වියේදීම රහත් වීමට ද ඒ පින උපකාර විය.

යමෙක් පැහැදුණු සිතින් බුදුන් දහම් සඟුන් සරණ කොට පිහිට කොට වාසය කරයි නම් ඒ අය අපායට නො යන බව දක්වා ඇත.

මානුසං දේහං දේවකායං පරිපූරෙස්සන්ති”

මෙයින් දක්වා තිබෙන්නේ… බුදුරජාණන් වහන්සේ සරණ යන අය අපායට නො යන බවයි. ඒ වගේම තමයි ධර්මය ද සංඝයාද යමෙක් පිහිට කොට සරණ කොට වාසය කරයි නම් ඒ අයත් සුගති පරායනය  වෙන බවයි.

එසේම එක තිරිසන් සතෙකුට දානයක් දෙන ලද්දේ නම් ආත්ම සියයක් ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා ගෙන දෙන බවයි. එසේම මසුන් මරන අනුන්ට පීඩා කර ජීවත්වන දුස්සීල පුහුදුන් පුද්ගලයකුට දානයක් දෙන ලද්දේ නම් ආත්මභාව දාහක් ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා වන් ගෙන දෙන බවයි.

එසේම ඇති අගුණ වහන ස්වභාවය  නැති ගුණ පෙන්වන ස්වභාව නැති අනුන් නොපෙලා දැහැමෙන් සෙමෙන් කෘෂි වෙළද ආදි කර්මාන්තවල යෙදී ජීවත්වන පුහුදුන් සිල්වතෙකුට දුන් දානයේ විපාක ආත්මභාව ලක්ෂයක් ආයු වර්ණ සැප බල ප්‍රඥා ගෙන දෙමින් ජීවත් වන බවයි.

තවද කර්මඵල විශ්වාස කරන කාමයන් කෙරෙහි වීතරාගි සිත් ඇති ලෞකික පංච අභිඥා වන් ඇති බාහිර තාපසයකු ට දෙන දානයේ විපාක ආත්මභාව කෝටි ලක්ෂයක් ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා වන් ගෙන දෙන්නේය.

තිසරණ උපාසක කෙනෙකුට දෙන දානයේ විපාක මෙපමණයි කියා කිව නොහැකිය. අසංඛ්‍යය අප්පමෙය්ය  වශයෙන් මජ්ඣිම නිකා අටුවාවේ දක්වා ඇත.

එයට වඩා පංච ශීලයෙහි පිහිටි යෙකුට දෙන ලද දානය මහත්ඵල මහානිශංස වෙයි. ඊටත් වඩා දස සීලය ක පිහිටි අයෙකුට දෙන දානය මහත්ඵල වෙයි. ඊටත් වඩා සාමනෙර හිමි නමකට දෙන දානයක් මහත්ඵල වෙයි. ඊටත් වඩා උපසම්පන්න භික්ෂුවකට දෙන දානය මහත්ඵල ය.

ඊටත් වඩා ව්‍යක්ත සම්පන්න භික්ෂුවකට දෙන දානය මහත්ඵලය. විදර්ශනා භික්ෂුවකට දෙන දානය ඊටත් වඩා මහත් පල ගෙන දෙයි එයටද වඩා අරඹන ලද විදර්ශනා ඇති භික්ෂුවකට දෙන ලද දානය මහත් ඵලයි සෝවාන් උතුමෙකුට දෙන දානයට වඩා අරඹන ලද විදර්ශනා ඇති උතුමෙකුට දෙන දානය මහත්ඵල මහානිශංස වන බව දක්ඛිණා විභංග අටුවාවේ දක්වා ඇත.

තවත් කියතොත් වේලාම  සූත්‍රයට අනුව සෝවාන් පුද්ගලයන් සියයකට දෙන දානයට වඩා සකෘදාගාමි කෙනෙකුට ද සකෘදාගාමී සිය දෙනෙකුට දෙන දානයට වඩා එක් අනාගාමි උතුමෙකුට දෙන දානය ද අනාගාමී උතුමන් සිය දෙනෙකුට දෙන දානයට වඩා එක් රහතන් වහන්සේ නමකට දෙන දානය ද රහතන් වහන්සේලා සියක් නමකට දෙන දානයට වඩා එක් පසේබුදු කෙනෙකුට දෙන දානයේ විපාක සත සහස් ගුණයෙන් වැඩි වන්නේය .

ඒ වගේම පසේ බුදුන් සියයකට දෙන දානයට වඩා එක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට දෙන දානය මහත්ඵල මහානිසංසයි එයටත් වඩා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දෙන දානය මහත්ඵල මහානිශංස වන්නේය

සතර දිගින් වඩිනා මහා සංඝයා උදෙසා විහාරයක් කර වන්නේ නම් එය මහත් ඵල මහානිසංස වන්නේ ය.  එයටත් වඩා යමෙක් ප්‍රසන්න සිතින් බුද්ධ ධම්ම සංඝ යන රත්නත්‍රය සරණ යා නම් මහත්ඵල වේ.

එයටද වඩා යමෙක් ගැන පැහැදුණු සිතින් තිසරණ සහිත පන්සිල් සමාදන් වන්නේ නම් මහත්ඵල මහානිශංස පින් අත් වන්නේ ය එයට ද වඩා යමෙක් සුවඳ ආග්‍රහණය කරන තරම් සුළු කාලයක් නමුදු මෙත් සිත පතුරවන්නේ නම් එය මහත් ඵල මහානිශංස වන බව දත යුතුය

මෙයටත් වඩා අසුරු ක්ෂණයක් තරම් කාලයක් නමුදු අනිත්‍ය සංඥාව වඩවයි නම් මහත්ඵල මහානිශංස වන බව වේලාම සූත්‍රයේ දක්වා ඇත.

එබැවින් මේ ධර්මය ග්‍රහණය කර ගන්නා පුද්ගලයා පැහැදුණු සිතින් ම පින්කම් කෙරෙත්වා….

සහෝදරත්වයෙන් එක්වෙමු!

© Buddhist Brotherhood

You might also like
en English
X
X