Temples of Sri Lanka

ඇසුරු සැනින් සම්පත් ලබමු…

ක්ෂණය යනු මොහොතකි.ඒ මොහොත සැනකින් ගිලිහී යා හැකිය. එනිසා යම් මොහොතක චතුරාර්ය සත්‍යය ධර්මය ශ්‍රවණය කරන්නට ලැබෙයි නම් ඔහුට ඒ මොහොත ක්ෂණ සම්පත්තියකි. මේ නිසා දීර්ඝ සසරේ කෙනෙක් උපදින ආත්ම භවයන්ගේ ස්වභාවය ගැන පැහැදිලිව වදාළේ බුදුරජාණන් වහන්සේ පමණයි.

කෙනෙක් කල්පයක කාලයක් තුළ මරණයට පත් වන වාර ගණනේදී ඔහුගේ ඇටසැකිල්ල පස් වී නොයන්නේ නම්, ඒ ඇටසැකිලි වලින් සුවිසල් කන්දක් තැනිය හැකි බවට බුදුරජාණන් වහන්සේ වදාළේ බිහිසුනු සසරේ ස්වභාවය ගැන බුද්ධිමත් මිනිසකුට යළි යළිත් සිතන්නට ඇරයුම් කරමින්…

එබඳු දීර්ඝ ගමනක් තුළ කෙනෙකුට ලැබෙන්නේ මිනිසත් බව පමණක් නොවේ. පෘථග්ජන භාවයෙන් ම රැඳී මේ සසර චාරිකාව දිගින් දිගටම පවත්වන කෙනා එක් ජීවිතයක මිනිසෙක්, ඊළඟ ජීවිතේ ඔහු නැවත මිනිසකු වීම කලාතුරකින් සිදුවන දෙයක්. බොහෝවිට සිදුවන්නේ ප්‍රේත ලෝකයේ හෝ තිරිසන් ලෝකයේ හෝ නිරයේ වැනි තැනක උපත ලැබීමයි .

එනිසා මිනිසත් භාවය ලැබූ තැනැත්තා හට එහි වටිනාකම හඳුනා ගත හැක්කේ ශ්‍රී සද්ධර්මය තුළින් පමණයි ජීවිතය ගැන ඉතා නිවැරදි දැනීමක් ලබා ගැනීමට නම් පිරිසිදු බුද්ධ දේශනාවන්ට සවන් දිය යුතුයි ක්ෂණ සම්පත්තිය ලැබීම ගැනත් ක්ෂණ සම්පත්තිය අහිමි වීම ගැනත් ශ්‍රී සද්ධර්මය තුළ ඉතා පැහැදිලිව දැකිය හැකිය හැකියි.ක්ශන සම්පත්තිය අහිමි වීම ගැන බුදු සමිඳුන් අපට හඳුන්වා දී වදාළේ දුශ්ටක්ෂනය නමින් එනම් එහි ඇත්තේ සම්පතක් නොවේ දුෂ්ට තත්වයක්

චතුරාර්ය සත්‍ය ධර්මය ලොවට ඇසෙන්නට පටන් ගන්නේ බුද්ධ කාලයක පමණයි එය බුදුරජාණන් වහන්සේගෙන් හා බුද්ධ ශ්‍රාවකයන්ගෙන් පමණක් අසන්නට ලැබෙන දෙයක් එලෙසින් ඉතා දුර්ලභ වූ ඒ චතුරාර්ය සත්‍ය ධර්මය ලොවට ඇසෙද්දී යමෙක් සිටින්නේ එය අවබෝධ කර ගත නො හැකි පරිසරයක නම් ඒ ක්ශනය ඉතා දුෂ්ඨ වූ මොහොතක්

මේ චතුරාර්ය සත්‍ය ධර්මය නම් වූ ශ්‍රී සද්ධර්මය පිළිබඳව පරම සුන්දර පණිවුඩය මිහිරි සුවඳ සේ ලොව පුරා පැතිර යද්දී එය අවබෝධ කළ යුතු තැනැත්තා ඉපිද සිටින්නේ නිරයේ නම් එය ඔහුට දුෂ්ට ක්ෂණයක් .

චතුරාර්ය සත්‍ය ධර්මය ශ්‍රවණය කරන්නට ලැබෙද්දී එය අවබෝධ කළ යුතු තැනැත්තා ඉපිද සිටින්නේ තිරිසන් අපායේ එනම් හෝ එය ඔහුට දුෂ්ටක්ශණයක්.. චතුරාර්ය සත්‍යය ධර්මය ඇසෙන මායිමට පැමිණීමේ වාසනාවක් ප්‍රේතයින් ට නැහැ. එය ඔවුන්ට දුෂ්ටක්ශණයක් …සතර අපායේ ඉපිද සිටින සියලු සත්වයෝ ක්ෂණ සම්පත්තිය අහිමි කරගත් පිරිසක් …

එමෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය පැතිර යද්දී යම් මිනිසෙක් එය නො ඇසෙන දුරක දිවි ගෙවයි නම් ඔහුගේ ක්ෂණ සම්පත්තිය ද අහිමි වී ඇත. එමෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කරද්දි යමෙක් එයට සවන් එයට සවන් දීමට නොහැකි මන්ද බුද්ධික කෙනෙක් නම් එය ද ඔහුට දුෂ්ටක්ශණයක්.

චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කරද්දී එයට සවන් දියනොහැකි බොහෝ ආයුෂ ඇති බ්‍රහ්ම තලවල කෙනෙක් ඉපදී සිටිත් නම් එය ඔහුට දුෂ්ටක්ශණයක්. මෙහි ඇති මෙවැනිම වූ ඉතා බරපතළ ඊළඟ අවස්ථාව නම් කෙනෙක් ඉතා බුද්ධිමත්ව මිනිස් ලොව ඉපදී සිටි ඔහුට චතුරාර්ය සත්‍ය ධර්මය ශ්‍රවණය කරන්නට ලැබුණොත් එය අවබෝධ කොට මග ඵල ලබා සතර අපායෙන් මෙන්ම සසරෙන් ද නිදහස් විය හැකි එහෙත් ඔහුට චතුරාර්ය සත්‍ය ධර්මය අසන්නට නොලැබේ .එය ඔහු ලබා ඇති දුෂ්ටක්ශණයක්.බුද්ධිමත් මිනිසකුට චතුරාර්ය සත්‍යය ධර්මය අසන්නට ලැබෙන්නේ ඔහු ඒ කෙරෙහි පහදී නම් …අනේ මටත් මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට පුළුවන යැයි සිතා ඔහු තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවට පැමිණෙයි නම් ඒ තැනැත්තාට පරම දුර්ලභ වූ ක්ෂණ සම්පත්තිය ලැබෙයි .

ලංකාවාසී අප බෞද්ධ නමුත් ගෞතම බුදුරජාණන් වහන්සේ සරණ යන නමුත් අප දන්නා තරමින් අපගේ දෙමාපියන් මුතුන්මිත්තන් නෑදෑයින් යහළු මිත්‍රාදීන් ඒ ක්ෂන සම්පත්තිය ලැබූ බවක් දැනගන්නට නැහැ .කොටින්ම අපට දහම් දෙසන ස්වාමීන් වහන්සේලා අතර පවා යමෙක් ක්ෂණ සම්පත්තිය ලබා සිටිත් නම් එය ඉතා දුර්ලභ දෙයක් ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් වදාළ ශ්‍රී සද්ධර්මය ඉතා නිරවුල්ව ඉතා ප්‍රභාෂ්වර ධර්ම විනය තුළ පවත්වා බුද්ධිමත් කෙනෙකුට දැක්ක හැකි චතුරාර්ය සත්‍යය පිළිබඳව ඉතා පැහැදිලි විස්තර අද පවා පහසුවෙන් බුද්ධිමත් කෙනෙකුට ඉගෙන ගත හැකියි. එවන් දුර්ලභ වූ පරම පිවිතුරු වූ හැම චතුරාර්ය සත්‍ය ධර්මය අසා දැනගෙන ක්ෂණ සම්පත්තිය ලබා ගැනීමට තරම් භාග්‍යවන්ත බවක් අපට නොලැබී ගියේ කුමන හේතුවකින්ද….?

වර්තමානයේ ජීවත්වන කෝටි කෝටි සංඛ්‍යාත මිනිස් වර්ගයා අතර ක්ෂණ සම්පත්තිය ලබා ගත් පිරිස වශයෙන් ගණන් කළ හැක්කේ ඉතා සුළු පිරිසක්.

එයට ප්‍රධානම හේතුව බුදුරජාණන් වහන්සේ වදාල ශ්‍රීසද්ධර්මය, සුවිශේෂී පණිවිඩය, වන චතුරාර්ය සත්‍යය ධර්මය අසන්නට නොලැබීම මිසක් වෙන හේතුවක් නම් අපට නොපෙනේ.

චතුරාර්ය සත්‍ය ධර්මය පවසද්දී යම් කෙනෙක් ඒ උතුම් ශ්‍රී සද්ධර්මය ට ද්වේෂ කරයි නම්, ගරහයි නම් ,හෙළා දකී නම්, ඒ කෙනා ගිහියෙක් හෝ වේවා පැවිදි හෝ වේවා ඔහු කෙලින්ම බුදු සසුන විනාශ කිරීමට දායකත්වයක් සපයයි. අධර්මය වාදින්ගේ අවිනය වාදින්ගේ එබඳු බණ ඇසූ පිරිස ඒ මතය පිළිගනිද්දී පවා චතුරාර්ය සත්‍ය ධර්මයට ගරහන හෙළා දකින ඔවුන් දුර්ලභ වූ ක්ෂණ සම්පත්තිය අහිමි කරගනිති

“තමන්ගේ හිසට ගින්නක් ඇවිලෙද්දි පවා එය නොසලකා හැර චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමට හදිසි වන්න” යි බුදුරජාණන් වහන්සේ වදාළේ, එහි ඇති සුවිශේෂී වටිනාකම උන් වනන්සේ විසින් මනාකොට දුටු නිසාමයි. එම නිසා තෙරුවන් සරණ ගිය ආර්ය ශ්‍රාවකයකුට නිතර නිතර අසන්නට ලැබිය යුත්තේ චතුරාර්ය සත්‍ය ධර්මය යි බුද්ධිමත් මිනිසකුට ක්ෂණ සම්පත්තිය මතු වන්නේ ඒ තුළින් මිස වෙන කිසි දෙයක් තුළින් නොවේ.

බුදුරජාණන් වහන්සේ අවිවාදයෙන්ම පෙන්වා වදාළා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත හැකි මිනිසුන් මේ සමාජය තුළ සිටින බවට. ඔවුන් හට එම උතුම් ධර්මය අසන්නට නොලැබුණොත් ඔවුන් ලද ඒ බුද්ධියන් පවා පිරිහී යා හැකි බව.එවිට ක්ෂණ සම්පත්තිය අහිමි වූ උදවිය නිරයේ ඉපිද තමන් ලද දුර්ලභ භාග්‍යය අහිමි වීම නිසා ශෝක කරමින් කල් ගෙවන බව බුදුරජාණන් වහන්සේ වදාළ සේක.

පෘථග්ජන භාවය නැමැති මඩ වගුරෙන් නිදහස් වෙලා ආර්ය ශ්‍රාවක භාවයට පැමිණිය හැක්කේ ක්ෂණ සම්පත්තිය ලබා ගැනීමෙන්. අප කවුරුත් දුෂ්ට ක්ශනයට පැමිණෙන අවාසනාවන්ත මිනිසුන් ගැන උපේක්ෂා සහගත වීම හැර වෙන කළ යුතු දෙයක් නැහැ.

ඒ නිසා මේ දුර්ලභ මොහොතේ වටිනාකම ඔබ බුද්ධිමත් නම් ඔබට අවබෝධ කරගත හැකියි.

දේශනා විලාශය ආකර්ෂණීය වීම නිසා නොවෙයි බුද්ධිමත් ඔබ සවන් දිය යුත්තේ…

දහම් දෙසන කෙනා ලස්සන නිසා නොවේ බුද්ධිමත් ඔබ සවන් දිය යුත්තේ…

දහම් දෙසන කෙනාට මිහිරි හඬක් තිබීම නිසා නොවේ ඔබ සවන් දිය යුත්තේ…

ධර්මය තුළ ඉතා පැහැදිලි ලෙසඉතා පිරිසිදු ලෙස චතුරාර්ය සත්‍යය ධර්මය තිබේදැයි නුවණින් විමසා බැලිය යුතුයි. ඒ චතුරාර්ය සත්‍ය ධර්මය කරා ඔබ නොයයි නම්, ඔබ කොතෙක් වාර ගණන් බණ ඇසුවත් ඔබ අසා තිබෙන්නේ එකිනෙකාගේ පෞද්ගලික අදහස් සමූහයක් විනා බුදුරජාණන් වහන්සේ වදාල ශ්‍රීසද්ධර්මය නොවේ. දහම් පද උපුටා දක්වමින් මේ වසර හැට හැත්තෑවක ජීවිතේ පමණක් ලෞකික වශයෙන් සරු කිරීමට කතා කරයි නම් ඔහු මේ සාධක ටික හා සසර ගමනේ ස්වභාවය කෙසේ නම් දැනගන්න ද ..

එනිසා දැන් ඔබ ක්ෂණ සම්පත්තිය කුමක්දැයි නිවැරදිව ම තේරුම් ගත යුතුයි. අප ජීවිතය තේරුම් ගැනීමට හැකියාව තිබෙන බුද්ධිමත් මිනිසකු නම්, එක සුදුසුකමක් දැන් ඔබ තුළ සම්පූර්ණ වී ඇත. එබඳු ඔබට චතුරාර්ය සත්‍ය ධර්මය ඉතා පිරිසිදු ලෙස ශ්‍රවණය කරන්නට ලැබෙයි නම්, කියවන්නට ලැබේ නම්, පරම දුර්ලභ වූ ධර්මය ඔබට මුණ ගැසී ඇත.

ඒ තුළින් තෙරුවන් කෙරෙහි අවංක ශ්‍රද්ධාවක් ඔබට ඇතිවී මේ බුදු සසුනේ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කිරීමේ අවශ්‍යතාවයක් ඔබේ හදවතේ පැන නගින්නේ නම්, ඔබ ඉතාම දුර්ලභ වූ ක්ෂණ සම්පත්තිය ලබා ගත් කෙනෙක් .

ඔබට ඒ ක්ෂණ සම්පත්තිය අහිමි නොවේවා!!! එයින් උපරිම ප්‍රතිඵල ලබා ගැනීමට ඔබට හැකි වේවා!!! යනු අපගේ සෙනෙහෙබර ප්‍රාර්ථනාවයි .

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood

You might also like
en English
X
X